බල ධර්ම
තමාගේ පක්ෂයට අයත් අන්‍ය ධර්මයන්ගේ අධිපති භාවය නොවළක්වා, තමන්ට විරුද්ධව නැග එන්නාවූ ප්රතිපක්ෂ ධර්මයන් මැඩලන්නාවූද, විරුද්ධ ධර්මයන් විසින් මැඩලිය නොහැකිවූද, සම්ප්‍රයුක්ත ධර්මයන් කෙරෙහි ස්ථිරත්වයෙන් පවත්නාවූද ධර්මයන්ට බල ධර්මයෝ යයි කියනු ලැබේ. එබඳු බල ධර්ම නවයකි. එනම්:-
- සද්ධා බලය
- විරිය බලය
- සති බලය
- සමාධි බලය
- පඤ්ඤා බලය
- හිරි බලය
- ඔත්තප්ප බලය
- අහිරික බලය
- අනෝත්තප්ප බලය
සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා, හිරි, ඔත්තප්ප, අහිරික, අනෝත්තප්ප යන මේ ධර්මයෝ නවදෙනා වීර්‍ය්‍යය පශ්චිමකොට ඇති කල්හිම බල ධර්ම බවට පැමිණෙත්. වීර්‍ය්‍ය චෛතසිකය නොයෙදෙන සිත්හි පහළවන මේ ධර්මයන්ට බල ධර්ම යයි නොකියති. එබැවින් විරිය නැති දෙපස් විඤ්ඤාණ, මනෝධාතු ත්‍රිකය සහ සන්තීරණ ත්‍රිකය යන සොළොස් චිත්තයන්හි යෙදෙන එකග්ගතාවට සමාධි බලය යයි නොකියනු ලැබේ.
- සද්ධා බලය - සෝභන සාධාරණ චෛතසිකයක්වූ හෙවත් සූවිසි කාමාවචර සෝභන සිත්ය, සත්විසි මහග්ගත සිත්ය, ලොකොත්තර සිත් අටය යන සෝභන සිත් හා සම්ප්‍රයුක්තවූ සද්ධා චෛතසිකය, ශක්තිසම්පන්නව යෙදුන කල්හි එයට ප්රතිපක්ෂවූ අශ්රද්ධාව නැසීමට හෙවත් මැඩලීමට ශක්තිය ඇති හෙයින් ශ්‍රද්ධා බලය නම් වන්නේය. මේ ශ්‍රද්ධා බලය ඒ සිතෙහිම යෙදුනාවූ විරිය, සති, සමාධි, පඤ්ඤා, හිරි, ඔත්තප්පාදි වූ අනිකුත් බල සමුදායගේ බලය නොවළක්වා තමාට සතුරුව නැග එන්නාවූ අශ්රද්ධාව පමණක් මැඩලීමෙහි යෙදෙන්නේ වේ මේ ශ්‍රද්ධාව කුසල පක්ෂයට අයත් බල ධර්මයකි.
- විරිය බලය - යනු දෙපනස් (52) චෛතසිකයන අතුරෙන් අඤ්ඤසමාන විරිය චෛතසික යයි. එබැවින් කුසලාකුසල අව්‍යාකෘත සිත්හි සුදුසු පරිද්දෙන් යෙදෙන්නේ-
- ය. ශක්ති සම්පන්නව බලවත් බවට පැමිණි මේ වීර්‍ය්‍යය, කුසීත බව නම්වූ ප්රතිපක්ෂ ධර්මය මැඩලීමට සමත් හෙයින් එයට වීර්‍ය්‍ය බලය යයි කියනු ලැබේ. දෙපස් විඤ්ඤාණ, මනෝධාතු ත්‍රිකය, සත්තීරණ ත්‍රිකය යන සොළොස් චිත්තයන්හි මේ වීර්‍ය්‍යය නොයෙදෙන බව සැළකිය යුතුයි.
- සති බලය - යනු සියලු සෝභන සිත්හි යෙදෙන සති චෛතසික යයි. මේ සති චෛතසිකය ශක්තිසම්පන්නව බලවත් බවට පැමිණි කල්හි සතියට ප්රතිපක්ෂවූ සිහි මුළාව හෙවත් මුට්ඨස්සතිය මැඩලීමට සමත් හෙයින් එයට සති බලය යයි කියනු ලැබේ.
- සමාධි බලය - යනු එකග්ගතා චෛතසික යයි. මේ එකග්ගතා චෛතසිකය බලවත් බවට පැමිණි කල්හි එයට ප්රතිපක්ෂවූ උද්ධච්චය නම් වූ නොසන්සුන් බව මැඩලීමට ශක්ති ඇති හෙයින් එයට සමාධි බලය යයි කියති. දෙපස් විඤ්ඤාණ, මනෝධාතු ත්‍රිකය, සත්තීරණ ත්‍රිකය යන සොළොස් අහේතුක චිත්තයන්හිද එකග්ගතාව යෙදෙන්නේවී නමුත් ඒ සොළොස් චිත්තයන්හි වීර්‍ය්‍ය චෛතසිකය නොයෙදෙන බැවින් ඒ එකග්ගතාවට සමාධි බලය යයි නො කියනු ලැබේ.
- පඤ්ඤා බලය - යනු අමෝහය හෙවත් පඤ්ඤින්ද්රිය නම් වූ සෝභන චෛතසිකයයි. ඤාණ සම්ප්‍රයුක්ත කාම සෝභන සිත්හිද, මහග්ගත ලෝකෝත්තර සිත්හිද, යෙදෙන්නාවූ මේ ප්‍රඥාව, බලවත් වූ කල්හි, අවිද්‍යාව නම් වූ ප්රතිපක්ෂ ධර්මය මැඩලීමට සමත් හෙයින් පඤ්ඤා බලය යයි කියනු ලැබේ.
- හිරි බලය - යනු සෝභන සාධාරණ හිරි චෛතසික යයි එය බලවත් වූ කල්හි අහිරිකය හෙවත් පාපයට පිළිකුල් නොකරණ බව නම් වූ ප්රතිපක්ෂ ධර්මය මැඩලීමට සමත් හෙයින් හිරි බලය යයි කියනු ලැබේ.
- ඔත්තප්ප බලය - සෝභන සාධාරණ චෛතසිකයක් වූ ඔත්තප්පයද බලවත් බවට පැමිණි කල්හි අනෝත්තප්පය හෙවත් පාපයට බිය නැති බව නම් වූ ප්රතිපක්ෂ ධර්මය මැඩලීමට සමත් හෙයින් ඔත්තප්ප බලය නම් වන්නේය
- අහිරික බලය - දොළොස් අකුසල් සිත්හි යෙදෙන අහිරිකය නම් වූ අකුසල චෛතසිකය බලවත් වූ කල්හි හිරිය නම් වූ ප්රතිපක්ෂ ධර්මය මැඩලීමට සමත් හෙයින් එයට අහිරික බලය යයි කියනු ලැබේ.
- අනෝත්තප්ප බලය - දොළොස් අකුසල් සිත්හි යෙදෙන අනෝත්තප්පය නම් වූ අකුසල සාධාරණ චෛතසිකය බලවත් වූ කල්හි ඔත්තප්පය නම් වූ ප්රතිපක්ෂ ධර්මය මැඩලීමට සමත් හෙයින් අනෝත්තප්ප බලය නම් වේ.