අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ධ්‍යානාඞ්ග

ධ්‍යානාඞ්ගයෝ සත් දෙනෙකි. එනම්

  1. විතක්කය
  2. විචාරය
  3. ප්‍රීතිය
  4. එකග්ගතාය
  5. සොමනස්සය
  6. දොමනස්සය
  7. උපෙක්‍ෂාය යන ධර්‍මයෝ සත්දෙනය.

“ඣාන” ශබ්දයාගේ විග්‍රහ අර්‍ත්‍ථ දෙකෙකි. පච්චනීක ධර්‍ම හෙවත් ප්‍රතිපක්‍ෂවූ පංචනීවරණාදි ධර්‍මයන් දවන අර්‍ත්‍ථ යෙන්ද ධ්‍යාන නම් වේ. එසේම ආරම්මණ උපනිජ්ඣායන හෙවත් අරමුණ ලංකොට බලන අර්‍ත්‍ථයෙන්ද ධ්‍යාන නම් වේ. ධ්‍යානයාගේ අඞ්ග ධ්‍යානාඞ්ග නම්.

මේ ධර්‍මයෝ සත්දෙනා කුසලා කුසල අව්‍යාකෘත යන සිත්හි යෙදෙත්. එහෙත් ඒ හැම සිත්හිම යෙදෙන මේ ධර්‍මයන්ට ධ්‍යානාඞ්ග යයි නොකියත්, “විතක්ක පච්ඡිමකං ඣානාඞ්ගං” යයි දක්වා ඇති හෙයින් මේ ධර්‍මයෝ විතර්කය පශ්චිම කොට ඇති කල්හිම ධ්‍යානාඞ්ගයෝ යයි ව්‍යවහාර කෙරෙත්. එබැවින් දෙපස් විඤ්ඤාණාදි සිත්හි හෙවත් විතර්‍කය රහිත සිත්හි යෙදුනාවූ එකග්ගතා උපෙක්‍ෂාදි ධර්‍ම යන්ට ධ්‍යානාඞ්ගයෝ යයි නොකියත්.

මේ ධ්‍යානාඞ්ගයන් අතුරෙන් සොමනස්ස, දොමනස්ස, උපෙක්‍ෂා යන තුන්දෙනා එකම වෙදනා චෛතසිකය බව දත යුතු. මෙයින් දොමනස්සය එකාන්ත අකුසල ධ්‍යානාඞ්ග යකි. ඉතිරි ධ්‍යානාඞ්ග සය කුසලා කුසල අව්‍යාකෘත ධ්‍යානාඞ්ගයෝ වෙත්.

මහග්ගත ලොකොත්තර සිත්හි යෙදුනාවූ ධ්‍යානාඞ්ගයෝ නීවරණ ධර්‍මයන් දවන අර්‍ත්‍ථයෙන් හා අරමුණ ලංකොට බලන අර්‍ත්‍ථයෙන්ද ධ්‍යානාඞ්ගයෝ නම් වෙත්.

රූපාවචර ප්‍රථම ධ්‍යාන කුසල චිත්තයෙහි යෙදුනාවූ ධ්‍යානාඞ්ගයෝ පස්දෙනා පංචනීවරණ ධර්‍මයන් විෂ්කම්භන ප්‍රහාණ වශයෙන් නසන හෙයින්ද, ධ්‍යානාලම්බණ නම්වූ කසිණ ප්‍රතිභාග නිමිත්තාලම්බණය ලංකොට බලනාර්‍ත්‍ථයෙන්ද ධ්‍යානාඞ්ග නම් වෙත්. මහග්ගත ලොකොත්තර සිත්හි මේ කෘත්‍ය දෙකම එකක්‍ෂණයෙහිම සිද්ධවන බව දතයුතු.

අකුසල් සිත් අතුරෙන් සොමනස්ස දිට්ඨිගත සම්ප්‍රයුක්ත හා විප්‍රයුක්ත සිත් සතරෙහි යෙදුනාවූ විචාර, පීති, එකග්ගතා සොමනස්ස යන ධර්‍මයෝ විතර්‍කය පශ්චිම කොට ඇති බැවින්, එසේ උපදනා ඒ ධර්‍මයන්ට අකුසල ධ්‍යානාඞ්ගයෝ යයි කියති.

දොසමූල දොමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත දෙසිත්හි යෙදුනාවූ විචාර, ඒකග්ගතා, දොමනස්ස යන ධර්‍මයෝ විතර්‍කය පශ්චිම කොට ඇති බැවින් අකුසල ධ්‍යානාඞ්ග නම් වෙත්.

උපෙක්‍ෂා සහගත අකුසල් සිත් සයෙහි යෙදුනාවූ විචාර එකග්ගතා, උපෙක්ඛා යන ධර්‍මයෝද විතර්‍කය පශ්චිම කොට ඇති හෙයින් අකුසල ධ්‍යානාඞ්ග නම් වෙත්.

මෙසේ අකුසල් සිත්හි උපදනා විතර්‍ක, විචාර, පීති, එකග්ගතා, සොමනස්ස දොමනස්ස, උපෙක්ඛා යන ධ්‍යානාඞ්ගයෝ ආරම්මණුපනිජ්ඣානාර්‍ත්‍ථයෙන් හෙවත් අරමුණු ලංකොට බලනාර්‍ත්‍ථයෙන්ම පමණක් ධ්‍යානාඞ්ග නම් වෙත්. එහි ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් දවන අර්‍ත්‍ථයක් නොලැබේ.

ඒ ඒ කාමාවචර කුසල් සිත්හි යෙදුනාවූ විචාර පීති එකග්ගතා, සොමනස්ස, උපෙක්ඛා යන ධර්‍මයෝ විතර්‍කය පශ්චිම කොට ඇති බැවින් කුසල ධ්‍යානාඞ්ග නම් වෙත්.

එමෙන්ම විපාක ක්‍රියා සිත්හි යෙදුනාවූ මේ ධර්‍මයෝද විතර්‍කය පශ්චිම කොට ඇති කල්හි අව්‍යාකෘත ධ්‍යානාඞ්ග නම් වෙත්.