හේතු ධර්ම
තමා හා එක්ව හටගත්තාවූ හෙවත් සම්ප්‍රයුක්ත ධර්මයන් ගේ ස්ථිරව පිහිටන බව සිද්ධ කරන ධර්මයෝ මූලාර්‍ත්‍ථයෙන් හේතු ධර්ම නම් වෙත්. (මේ පිළිබඳ විස්තරය හේතු සංග්රහයෙහි දක්වන ලදී.)
හේතු ධර්ම සයකි. එනම්:-
- ලෝභය
- දෝසය
- මෝහය
- අලෝභය
- අදෝසය
- අමෝහය
මේ සවැදෑරුම් ධර්මයන් අතුරෙන් ලෝභ, දෝස මෝහ යන හේතූහු තිදෙන දොළොස් අකුසලයන්ගේ මුල සඞ්ඛ්‍යාත අකුසල හේතූහු නම් වෙත්. අලෝභ, අදෝස, අමෝහ යන හේතූහු තිදෙනා අතුරෙන් එක් විසි කුසල් සිත්හි සම්ප්‍රයුක්තවූ හේතූහු කුසල හේතූහු නම් වෙත්. විපාක ක්‍රියා සිත් සමඟ යෙදුනාවූ හේතූහු අව්‍යාකෘත හේතූහු නම් වෙත්.
සරු පොළොවෙහි රෝපණය කරනලද සරු බීජයක් කරණ කොටගෙන හටගත්තා වූ යහපත්ව මුල් බැසගත්තා වූ වෘක්ෂයක්හුගේ මූලයන්ගේ අනුසාරයෙන් පෘථිවි ඕජා රසය ඇදගනිමින් ශාඛාවන්හි මල් ඵලාදිය උපදවන්නේ යම්සේ ද, එමෙන්ම පූර්ව ජාතියෙහි කළා වූ ත්‍රිහේතුක ඥාන සම්ප්‍රයුක්ත කුසල කර්මය හේතුකොට ගෙන යහපත් වූ සෘතුවෙහි පහළ වූ බිජුවටින් කාම සුගතියෙහි උපදවනලද ත්‍රිහේතුක ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක නමැති වෘක්ෂයාගේ අලෝභ අදෝස අමෝහ නමැති මූලානුසාරයෙන් නොයෙක් උපභෝග පරිභෝග සම්පත් හා මහත් වූ ගුණ නුවණ නමැති මල් ඵල ආදිය උපදවනු ලැබේ. මේ හේතු ධර්මයන් නිසා ඒ පුද්ගල සන්තානයෙහි හටගන්නා වූ සහේතුක චිත්තය, සහේතුක චිත්තජ රූපය, සහේතුක ප්රතිසන්ධි කර්මජ රූපය යනාදි වූ ධර්මයෝ ඒ වෘක්ෂයාගේ ශාඛා ඵල මල් ආදියට සමාන වෙත්. මෙසේ විශේෂ ආනිශංසාදිය හෙවත් ගතිසම්පත්තිය උපදවනු ලබන්නේ පෙර භවයෙහි ඒ මහා කුසලය කරන්නා වූ කාලයෙහි හෙවත් ජවනක්ෂණයේදී, අලෝභ, අදෝස, අමෝහ නම් වූ හේතු තුන්දෙනෙක්ද, ඒ භවයෙහි චුතික්ෂණයේදී අලෝභ, අදෝස යන හේතු දෙකක්ද, මේ භවයෙහි ප්රතිසන්ධික්ෂණයේදී අලෝභ, අදෝස, අමෝහ යන හේතු තුනෙක්දැයි මෙසේ හේතු අටකින් සමන්විත වූ හෙයිනි.
බුදු, පසේ බුදු, මහරහත්, සක්විතිරජ ආදි වූ මහේශාක්‍ය මනුෂ්‍යයන්ගේ හා දෙවියන්ගේ ද ප්රතිසන්ධි නමැති වෘක්ෂයෙහි රසතලය දක්වා බැසගත්තා වූ මහත් වූ මූලයන් අටදෙනෙකුට බඳු වූ හේතු ධර්ම අටකින් යුක්ත වූ හෙයින් ඒ පුද්ගලයන්ගේ ප්රතිසන්ධි විපාකයෙන් නොයෙක් ආශ්චර්‍ය්‍ය අද්භූත විපාකානිශංස උපදවනු ලැබේ. සිදුහත් කුමරුගේ ප්රතිසන්ධි චිත්ත නමැති වෘක්ෂයාගේ රසතලය දක්වා බැසගත්තා වූ මූලයන් අටදෙනාගේ අනුසාරයෙන්, සර්වඥතාඥානයද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසීත්යානුබ්යඤ්ජනාදියෙන් යුක්ත වූ ධර්ම කාය, රූපකාය සඞ්ඛ්‍යාත වූ විපාකානිශංස හා පන්දහසක් හවුරුදු මුලුල්ලෙහි දෙව් බඹුන්ගෙන් ලබත අනන්තප්රමාණවූද පූජා සත්කාර නමැති විපාකාතිශංස යෝද ලැබෙත්.
දුහේතුක ලාමක කුසල කර්මයාගේ ආනුභාවයෙන් උපෙක්ඛා සහගත සන්තිරණ නමැති අහේතුක විපාකයෙන් ප්රතිසන්ධි ගත්තාවූ, පුද්ගල තෙමේ, හීනදීන මනුෂ්‍යයෙක්ව උපදී ඒ දුර්වල ප්රතිසන්ධිය නමැති වෘක්ෂයෙහි හේතු ධර්ම නැති හෙයින් තම තමන්ගේ සාපිපාසා සංසිඳවීමට පවා සුදුසු ප්‍රත්‍යයන් නැති හෙයින් අනුන්ගේ දාස බවට හෝ පැමිණ දුකසේ ජීවිකාව කෙරෙයි. දුර්වලවූ දුහේතුක කුසල කර්මයාගේ විපාකය වශයෙන් මෙසේ දුක් ගෙනදෙන්නාවූ කාමසුගතියෙහි, හීනවූ ආත්මභාවයක් උපදවන්නේ නම් අකුසල කර්මයා ගේ අනිෂ්ට විපාකය ගැන කියනුම කවරේද? කාම සුගතියක් නම් ඕහට කිසිකලෙකත් නොලැබෙන්නේය. ඔහුට ලැබෙන්නේ භයානක දුක් උපදවන්නාවූ දුගති අහේතුක ප්රතිසන්ධියෙක්මය.
අකුසල හේතු තුන අතුරෙන් මොහය දොළොස් අකුසල් සිත්හි ඒකාන්තයෙන්ම ලැබෙන්නේය. ලොභ මූල සිත් අටෙහි ලොභ මොහ යන හේතු දෙකද, දොස මූල දෙසිතෙහි දොස මොහ යන හේතු දෙකද, මොහ මූල දෙසිතෙහි මොහය පමණක්ද ලැබේ.
කුසල හේතු අතුරෙන් අලොභ, අදොස යන හේතු දෙදෙනා සෑම කුසල් සිතකම ලැබේ. අමොහය, ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල විපාක ක්‍රියාසිත් දොළොසෙහිද සියලුම මහග්ගත ලොකොත්තර සිත්වලද ලැබේ.
අටළොස් අහේතුක චිත්තයන්හි මේ හේතු කිසිවෙක් නැත. එහෙයින් එම සිත් වාතානුසාරයෙන් ඔබිමොබ යාහැකිවූ දිය සෙවෙල් බඳු උපමා ඇත්තේය.