ක්ලේශයෝ
සත්ත්වයන් කිලුටු කරන, තැවීම කරන, පෙලන කෙලෙසන ධර්මයෝ ක්ලේශයෝ යි. මොවුන් කරණ කොට ගෙන සිත කිලුටු වෙයි, තැවෙයි, පීඩා කරණු ලැබෙයි හෝ තුමූම කිලුටු වෙත්නුයි හෝ සම්ප්‍රයුක්ත ධර්මයන් කිලුටු කෙරෙත්නුයි හෝ ක්ලේශ නම්. දැඩි ගින්නෙන් දර සහ භාජන දවනු ලබන්නේ යම්සේද, එමෙන්ම දිලිසෙන ගිනි අඟුරු වැනි මේ ක්ලේශ ධර්මයන් විසින් දර වැනි එස්සාදි සම්ප්‍රයුක්ත ධර්මයන් සහ බඳුන් වැනි කෙලෙස් සහිතවූ පුද්ගලයාද හාත්පසින්ම දවනු ලබන්නේය.
මෙසේ ක්ලේශ සඞ්ඛ්‍යාවට ගණිනු ලබන අකුසල ධර්මයෝ දස දෙනෙකි. එනම්:-
- ලෝභ
- දෝස
- මෝහ
- මාන
- දිට්ඨි
- විචිකිච්ඡා
- ථීන
- උද්ධච්ච
- අහිරික
- අනොත්තප්ප යන අකුසල චෛතසිකයෝ යි.
ප්‍රකෘති භවඞ්ග චිත්තය ඉතා පිරිසිදුය. යම් භවයක උපදනා පුද්ගලයෙකුහට ප්රතිසන්ධික්ෂණයේදී උපදනා ප්රතිසන්ධි විපාක චිත්තය කාමසෝභන විපාක සිත් අටය, අහේතුක ප්රතිසන්ධිය ගෙන දෙන්නාවූ උපෙක්ඛා සන්තීරණ ද්වය මහග්ගත විපාක නවය යන එකුන්විසි විපාක චිත්ත යන්ගෙන් එකක්ම විය යුතුය භවඞ්ග කෘත්‍ය සිද්ධ කර මින් චුතිය දක්වාත් සන්තතිය නොබිඳී පවතින්නේත් ඒ සිත්මය. එයින් එකම සිතෙක්හිවත් අකුසල චෛතසිකයෝ නූපදී. එහෙයින් ඒ සිත් අකුසල ධර්මයන්ගෙන් මිදුන හෙයින් පිරිසිදුය. රූප ශබ්දාදි කාම අරමුණෙක් හමුවූ කල්හි එය නුණුවනින් ගැනීමෙන් මෝහය කරණ කොට ගෙන ලොභ ද්වේෂාදි පාපචේතනා පහළවන්නේය. එකල්හි පිරිසිදුවූ භවාඞ්ග චිත්තය බිඳී අකුසල ජවන් වීථි උපදී. එම අකුසල් සිත්හි යෙදෙන්නාවූ මේ ක්ලේශ ධර්මයෝ එම සන්තානය කිලුටු කරමින් නොයෙක් පීඩා පමුණුවන්නාහ. එබැවින් තුදුස් අකුසල චෛතසිකයන් අතුරෙන් මේ ලොභ ද්වේෂාදී දසදෙනා ඒකාන්ත වශයෙන්ම සත්ත්ව සන්තානය කෙලෙසන බැවින් ක්ලේශයෝ ය යි දක්වන ලදී.
මේ දසවිධ ක්ලේශ ධර්මයන් අතුරෙන් දිට්ඨි විචිකිච්ඡා යන දෙදෙන සෝවාන් මාර්ග ඥානයෙන්ද, ද්වේෂය අනාගාමි මාර්ග ඥානයෙන්ද, ලොභ, මොහ, මාන, ථින, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන සත අර්හත් මාර්ගඥානයෙන්ද සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කටයුතු වේ.
ආසව, ඔඝ, යෝග, ග්රන්ථ, උපාදාන, නීවරණ, අනුසය, සංයෝජන, කිලෙස වශයෙන් නවවිධ වූ මේ අකුසල සංග්‍රහ යෙහි, ඒකාන්ත අකුසල වශයෙන් සමානවූ ධර්මයන්ගේ සංග්‍රහය දක්වනලද බැව් සැළකිය යුතුයි.
එයින්ද, ආසව, ඔඝ, යෝග, ග්රන්ථ වශයෙන් අකුසල චෛතසික තුන බැගින්ද, උපාදාන වශයෙන් චෛතසික දෙකක්ද, නීවරණ වශයෙන් චෛතසික අටක්ද, අනුසය වශයෙන් සයක්ද, සංයෝජන වශයෙන් නවයක්ද, කිලෙස වශයෙන් දසයක්ද ඇතුළත් වේ.
අකුසල චෛතසික ධර්මයන්ගේ වශයෙන් සළකන කල්හි
මෝහය - ආසව, ඔඝ, යෝග, නීවරණ, අනුසය, සංයෝජන සහ කිලෙස වශයෙන්ද, අහිරිකය - කිලෙසයක් වශයෙන්ද, අනොත්තප්පය - කිලෙසයක් වශයෙන් ද,
උද්ධච්චය - නීවරණ, සංයොජන, කිලෙස වශයෙන් ද,
ලොභය - ආසව, ඔඝ, යොග, ග්රන්ථ, උපාදාන, නීවරණ, අනුසය, සංයොජන සහ කිලෙස වශයෙන් ද,
දිට්ඨිය - ආසව, ඔඝ, යොග, ග්රන්ථ, උපාදාන, අනුසය, සංයොජන, කිලෙස වශයෙන් ද,
මානය - අනුසය, සංයොජන, කිලෙස වශයෙන් ද,
දොසය - ග්රන්ථ, නීවරණ, අනුසය, සංයොජන, කිලෙස වශයෙන් ද,
ඉස්සා - සංයොජන වශයෙන් ද,
මච්ඡරිය - සංයොජන වශයෙන් ද,
කුක්කුච්චය - නීවරණ වශයෙන් ද,
ථිනය - නීවරණ, කිලෙස වශයෙන් ද,
මිද්ධය - නීවරණ වශයෙන් ද,
විචිකිච්ඡාව - නීවරණ, අනුසය, සංයොජන, කිලෙස වශයෙන් ද දක්වන ලදි.
| අකුසල චෛතසික | ආශ්‍රව | ඔඝ | යෝග | ග්රන්ථ | උපාදාන | නීවරණ | අනුසය | සංයෝජන | ක්ලේශ | එකතුව |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1. මෝහ | + | + | + | — | — | + | + | + | + | 7 |
| 2. අහිරික | — | — | — | — | — | — | — | — | + | 1 |
| 3. අනොත්තප්ප | — | — | — | — | — | — | — | — | + | 1 |
| 4. උද්ධච්ච | — | — | — | — | — | + | — | + | + | 3 |
| 5. ලෝභ | + | + | + | + | + | + | + | + | + | 9 |
| 6. දිට්ඨි | + | + | + | + | + | — | + | + | + | 8 |
| 7. මාන | — | — | — | — | — | — | + | + | + | 3 |
| 8. දෝස | — | — | — | + | — | + | + | + | + | 5 |
| 9. ඉස්සා | — | — | — | — | — | — | — | + | — | 1 |
| 10. මච්ඡරිය | — | — | — | — | — | — | — | + | — | 1 |
| 11. කුක්කුච්ච | — | — | — | — | — | + | — | — | — | 1 |
| 12. ථීන | — | — | — | — | — | + | — | — | + | 2 |
| 13. මිද්ධ | — | — | — | — | — | + | — | — | — | 1 |
| 14. විචිකිච්ඡා | — | — | — | — | — | + | + | + | + | 4 |
| එකතුව | 3 | 3 | 3 | 3 | 2 | 8 | 6 | 6 | 10 |