7. ප්‍ර‍ඥප්තිය

star_outline

11 වන පාඩම

පරමාර්ථය මහජනයාට එතරම් ප්‍ර‍කට නැත. ඔවුන්ට ලොව ඇති දේවල් සැටියට විශාල ලෙසට පෙනෙන්නේ ප්‍ර‍ඥප්තීන් ය. එබැවින් අභිධර්මය උගන්නා තැනැත්තා විසින් ප්‍ර‍ඥප්තිය ගැන ද අවබෝධයක් ඇති කර ගත යුතු ය. ප්‍ර‍ඥප්තිය ගැන අවබෝධයක් ඇති කර ගැනීම ප්‍ර‍ඥප්තියෙන් වෙන් කොට පිරිසිදු ලෙස පරමාර්ථය හැඳින ගැනීමට ද උපකාර වේ. එබැවින් මෙහි ප්‍ර‍ඥප්තිය ගැන ද තරමක විස්තරයක් කරනු ලැබේ.

සැබෑවට ම ඇති සැටියට සිතට නැඟෙන, හොඳින් විමසුව හොත් නැති බව දැනෙන, සත්‍යය වශයෙන් නැති දේවලට ප්‍ර‍ඥප්තිය යි කියනු ලැබේ. ඇත ය කියා හැඟෙන දෙයක් සත්‍ය වශයෙන් ම ඇත ද නැත ද කියා දැන ගැනීමට කළ යුත්තේ ඒ දෙය බෙදා බැලීම ය. බෙදා බලන කල්හි මුලින් ඇති සැටියට පෙනුණු දෙය නැති වේ නම්, එය සත්‍ය වශයෙන් ඇතියක් නො වේ. වස්ත්‍ර‍ය කියා දෙයක් ඇති සැටියට සලකනු ලැබේ. එය බෙදා බැලුව හොත් නූල් සමූහයක් ලැබෙනු ඇත. නූල් සමූහය මිස වස්ත්‍ර‍යක් නො වේ. කලින් ඇති සැටියට පෙනුණු වස්ත්‍ර‍ය ඒ නූල් සමූහයෙහි නැත. නූල් ටික වෙන් කොට ගත් කල්හි වස්ත්‍ර‍ය නො පෙනී යන්නේ නූල් හැර වස්ත්‍ර‍යක් නැති බැවිනි. වස්ත්‍ර‍ය සේ බෙදා බලන කල්හි නැති වන සියල්ල ම ප්‍ර‍ඥප්තීහු ය.

අර්ථ ප්‍ර‍ඥප්තිය - නාම ප්‍ර‍ඥප්තිය කියා ප්‍ර‍ඥප්ති දෙවර්ගයක් ඇත්තේ ය. අර්ථ ප්‍ර‍ඥප්තිය යනු කථා කරන වචනානුසාරයෙන් සිතට නැඟෙන පරමාර්ථ වශයෙන් නැත්තා වූ දේවල් ය. මේසය යන වචනය ඇසුණු කල්හි ඒ වචනය නිසා ඇසූ තැනැත්තා ගේ සිතට යම් කිසිවක් දැනෙන්නේ ය. එයට වචනයේ අර්ථ ය යයි කියනු ලැබේ. එය අර්ථ ප්‍ර‍ඥප්තිය ය. වචනානුසාරයෙන් හැඟෙන ඒ අර්ථ ප්‍ර‍ඥප්තිය වචනානුසාරයෙන් මිස අන් ක්‍ර‍මයකින් නො දැනෙන්නේ යයි නො ගත යුතු ය. ඇසට පෙනීම් ආදි කරුණුවලින් ද අර්ථ ප්‍ර‍ඥප්තිය දැනෙන්නේ ය. ඒවා බොහෝ සෙයින් වචනානුසාරයෙන් ම දැනෙන නිසා ඒවාට අර්ථ ප්‍ර‍ඥප්තිය යන නම තබා තිබේ.

සංස්ථාන ප්‍ර‍ඥප්තිය - සමූහ ප්‍ර‍ඥප්තිය - සත්ත්ව ප්‍ර‍ඥප්තිය - දිශා ප්‍ර‍ඥප්තිය - කාල ප්‍ර‍ඥප්තිය යනාදීන් බොහෝ අර්ථ ප්‍ර‍ඥප්ති ඇත්තේ ය.

පළල් බව උස් බව මිටි බව වට බව සතරැස් බව යනාදි මහාභූතයන් පිහිටි සටහන් අනුව සිතට දැනෙන පොළොව කන්ද ගස වැල මල කොළය ගෙඩිය යනාදිය සංස්ථාන ප්‍ර‍ඥප්තීහු ය.

නොයෙක් ද්‍ර‍ව්‍ය ඒ ඒ ආකාරයෙන් එකතු වී එකිනෙකට සම්බන්ධ වී තිබීම නිමිත්ත කොට ඇති සැටියට සිතට දැනෙන මේසය පුටුව ඇඳ පැදුර කොට්ටය රථය යනාදිය සමූහ ප්‍ර‍ඥප්තීහු ය.

ස්කන්ධ පඤ්චකය ම නිමිත්ත කොට ඇති සේ සිතට හැඟෙන දෙවියා මිනිසා ගැහැනිය පිරිමියා ඇතා අශ්වයා ගොනා යනාදි ප්‍ර‍ඥප්තීහු සත්ත්ව ප්‍ර‍ඥප්තීහු ය. චන්ද්‍ර‍ සූර්‍ය්‍යයන්ගේ භ්‍ර‍මණය නිමිත්ත කොට හැඟෙන, නැගෙනහිර - බස්නාහිර - උතුර - දකුණ යන මේවා දිශා ප්‍ර‍ඥප්තීහු ය.

චන්ද්‍ර‍ සූර්‍ය්‍යයන්ගෙ භ්‍ර‍මණය නිසා හැඟෙන උදය සවස දවාල රාත්‍රිය වර්ෂය මාසය දිනය යනාදිය කාල ප්‍ර‍ඥප්තීහු ය.

අසන තැනැත්තාගේ සිතට යම් කිසි අර්ථයක් මතු කර දෙන වස්ත්‍ර‍ය මේසය පුටුව ගස ගල ආදි නාමයෝ නාම ප්‍ර‍ඥප්තීහු ය. ශබ්දයේත් නාමයේත් වෙනස දත යුතු ය. ශබ්දය පරමාර්ථ ධර්මයකි. නාමය ප්‍ර‍ඥප්තියකි. ඒ නිසා ශබ්දය නාමය නො වන බව දත යුතු ය. නූල් සමූහය නිසා සත්‍යය වශයෙන් නැති වස්ත්‍ර‍ය කියා දයෙක් දක්නා තැනැත්තාගේ සිතට හැඟෙන්නාක් මෙන් ශබ්ද සමූහය නිසා අනේකප්‍ර‍කාර නාම ප්‍ර‍ඥප්ති අසන තැනැත්තාගේ සිත හැඟෙන්නේ ය. මේසය යන මෙහි “මේ-ස-ය” කියා ශබ්ද තුනක් ඇත්තේ ය. ඒ ශබ්දවලින් එක එකක් හෝ සියල්ල හෝ නාමය නො වේ. “මේ-ස-ය” යන ශබ්ද පිළිවෙළින් ඇසුණු කල්හි ඒ ශබ්ද තුන නිසා අසන්නාගේ සිතට හැඟෙන දෙයකි, මේසය යන නාම ප්‍ර‍ඥප්තිය. ඒ නාමය නිසා ඔහුට මේසය නමැති අර්ථ ප්‍ර‍ඥප්තිය සිතට නැඟී එන්නේ ය. මේසය යන නාම ප්‍ර‍ඥප්තිය එක් දෙයකි. එය මේ-ස-ය යන ශබ්ද තුන නිසා සිතට දැනෙන දෙයකි. කියන ලද කරුණු නුවණින් සලකා, ශබ්දයේත් නාම ප්‍ර‍ඥප්තියේත් වෙනස තේරුම් ගත යුතු ය. මෙය සමහරුන්ට අවුල් විය හැකි තැනකි.

විද්‍යමාන ප්‍ර‍ඥප්තිය, අවිද්‍යමාන ප්‍ර‍ඥප්තිය, විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තිය, අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තිය, විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තිය, අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තිය කියා නාම ප්‍ර‍ඥප්තිය සයාකාර වේ.

පරමාර්ථ වශයෙන් ඇත්තා වූ රූප වේදනාදිය පවසන නාමය විද්‍යමාන ප්‍ර‍ඥප්ති නම් වේ. චිත්ත - ඵස්ස - වේදනා - සඤ්ඤා - චේතනා - පඨවි - ආපෝ - යනාදි නාමයෝ විද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

පරමාර්ථ වශයෙන් නැත්තා වූ මේස - පුටු - වස්ත්‍ර‍ ආදිය කියැවෙන නාමයෝ අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය. මේසය පුටුව වස්ත්‍ර‍ය පොළොව පර්වතය දෙවියා මිනිසා ළමයා යනාදි ප්‍ර‍ඥප්තීහු අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

නුවණැත්තා සැදැහැවතා ඊර්‍ෂ්‍යාකාරයා ලෝභියා සුදු මිනිසා යනාදි පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක් නිමිත්ත කොට ගෙන අවිද්‍යමාන දෙයක් අඟවන නාමයෝ විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය. නුවණ පරමාර්ථ ධර්මයකි. පුද්ගලයා පරමාර්ථ වශයෙන් නැත. එබැවින් නුවණැත්තා යනු විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තියකි. ශ්‍ර‍ද්ධාව පරමාර්ථ ධර්මයකි. පුද්ගලයා පරමාර්ථයෙන් අවිද්‍යමාන ය. එබැවින් සැදැහැවතා යනු විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තියකි. සුද පරමාර්ථ ධර්මයකි. එය වර්ණ රූපය ය. මිනිසා අවිද්‍යමාන ය. එබැවින් සුදු මිනිහා යනු විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තියකි.

ගැහැනු නුවණ - වීණා හඬ - ළමා සිත යනාදි අවිද්‍යමාන දෙයක් නිමිත්ත කොට විද්‍යමාන දෙයක් හඟවන නාමයෝ අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණ යනාදි නාමයෝ පරමාර්ථ වශයෙන් ඇතියක් නිමිත්ත කොට පරමාර්ථ වශයෙන් ඇතියක් අඟවන බැවින් විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය. චක්ඛු විඤ්ඤාණ යන මෙහි චක්ඛු යන නාමයෙන් කියැවෙන චක්ඛු ප්‍ර‍සාදය විඤ්ඤාණ යන නාමයෙන් කියැවෙන සිතය යන දෙක ම පරමාර්ථ වශයෙන් ඇති ඒවා ය.

ගැහැණු ළමයා - පිරිමි පුතා යනාදි නාමයෝ අවිද්‍යමාන දෙයක් නිමිත්ත කොට අවිද්‍යමාන දෙයක් ම අඟවන බැවින් අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍ර‍ඥප්තීහු ය.

මෙතෙකින් අටවන පරිච්ඡේදය නිමියේ ය.