6. ප්‍ර‍ත්‍ය වන ආකාරය කොටින් දැක්වීම

10 වන පාඩම

නාමය නාමයට සයාකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. නාමය නාම-රූප දෙකට පස් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. නාමය රූපයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. රූපය නාමයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. ප්‍ර‍ඥප්ති නාමරූපයෝ නාමයට දෙයාකාරයකින් ප්‍ර‍ත්‍ය වේ. නාම රූප දෙක නාම රූප දෙකට නවාකාරයකින් ප්‍ර‍ත්‍යය වේ. මෙසේ ප්‍ර‍ත්‍යය වීම සයාකාර වේ.

නාමය නාමයට ප්‍ර‍ත්‍යය වන සයාකාරය

ළඟින් ම නිරුද්ධ වන චිත්ත චෛතසිකයෝ ඒවා ළඟින් ම උපදනා චිත්ත චෛතසිකයන්ට අනන්තර - සමනන්තර - නාස්ති - විගත ශක්තීන්ගෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. ඒ ඒ වීථිවල පළමු පළමු ජවනයෝ පසුපසු ජවනයන්ට ආසේවන ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. එක්ව උපදනා චිත්ත චෛතසක ධර්මයෝ ඔවුනොවුන්ට සම්ප්‍ර‍යුක්ත ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. මෙසේ නාමය නාමයට සයාකාරයකින් ප්‍ර‍ත්‍ය වේ.

නාමය නාම - රූප දෙකට ප්‍ර‍ත්‍යය වන පස් ආකාරය

හේතු ධ්‍යානාඞ්ග මාර්ගාඞ්ග යන මේවා සහජාත නාම-රූපයන්ට හේතු ධ්‍යාන මාර්ග ශක්තිවලින් ප්‍ර‍ත්‍යය වේ. සහජාත චේතනාව සහජාත නාමරූපයන්ට ද, නානාක්ෂණික චේතනාව කර්මයෙන් උපදනා නාම - රූපයන්ට ද ප්‍ර‍ත්‍යය වන්නේ ය. විපාක චිත්ත චෛතසිකයෝ ඔවුනොවුන්ට හා සහජාත රූපයන්ට විපාක ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. මෙසේ නාමය නාම-රූප දෙකට පස් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

නාමය රූපයට ප්‍ර‍ත්‍යය වන එක් ආකාරය

පසුව උපදනා චිත්ත චෛතසිකයෝ කලින් ඇති වූ මේ රූප - කයට පශ්චාජ්ජාත ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වන්නාහ. මෙසේ නාමය රූපයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍ය වේ.

රූපය නාමයට ප්‍ර‍ත්‍යය වන එක් ආකාරය.

ප්‍ර‍වෘත්ති කාලයේදී චක්ෂුරාදි වස්තු රූප සය විඥාන ධාතු සතට ද, රූපාදි අරමුණු පස පඤ්චද්වාර වීථි සිත් වලට ද පුරේජාත ශක්තියෙන් ප්‍ර‍ත්‍යය වේ. මෙසේ රූපය නාමයට එක් ආකාරයකින් ප්‍ර‍ත්‍යය වේ.

ප්‍ර‍ඥප්ති - නාම - රූප නාමයට ප්‍ර‍ත්‍යය වන දෙයාකාරය.

ආරම්මණ ශක්තියෙන් ද, උපනිශ්‍ර‍ය ශක්තියෙන් ද ප්‍ර‍ඥප්ති නාම රූප යන තුන ම නාමයට ප්‍ර‍ත්‍යය වේ. මෙසේ ප්‍ර‍ඥප්ති නාම රූපයෝ නාමයට දෙපරිද්දකින් ප්‍ර‍ත්‍යය වන්නාහ.

නාම - රූප දෙක, නාම-රූප දෙකට ප්‍ර‍ත්‍යය වීම

අධිපති - සහජාත - අන්‍යොන්‍ය - නිශ්ශ්‍ර‍ය - ආහාර - ඉන්ද්‍රිය - විප්‍ර‍යුක්ත - අස්ති - අවිගත යන ප්‍ර‍ත්‍යය ශක්ති නවයෙන් නාම - රූප දෙක, නාම - රූප දෙකට සුදුසු පරිදි ප්‍ර‍ත්‍යය වන්නාහ.

අතීත අනාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලත්‍ර‍යට අයත් නො වූ ද, ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද ප්‍ර‍ඥප්ති නාම රූප වශයෙන් ත්‍රිප්‍ර‍කාර වූ සකල ධර්ම සමූහය ම සුදුසු පරිදි සූවිසි ප්‍ර‍ත්‍යයට අයත් වන්නාහ. යම් කිසි ප්‍ර‍ත්‍යයක් නො වන ධර්මයක් නැත්තේ ය. මේ ධර්ම සමූහයෙන් නිර්වාණයත් ප්‍ර‍ඥප්තියත් හැර ඉතිරි ධර්මයෝ ඒ ඒ ප්‍ර‍ත්‍යයන්ගේ ප්‍ර‍ත්‍යයෝත්පන්න ද වන්නේ ය.

නාමය හා රූපය

නාම-රූප යන වචන දෙක මේ ධර්මයෙහි නිතර ව්‍යවහාර වන වචන දෙකකි. එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, නිර්වාණය ය යන මේ ධර්මයන් නාම යන නමින් හඳුන්වනු ලැබේ. ඒ ධර්මයන්ගේ රූ සටහන් නැත. ඒවා දැන ගන්නේ, සිත ය - ඵස්ස ය - වේදනාව ය යනාදි නම් අසා ඒ නම්වලිනි. ඒවාට නාම යන නම දී ඇත්තේ ඒ නිසා ය. රූපස්කන්ධය යි කියන රූප විසි අට රූප නම් වේ. නාම-රූප යන වචනවල තවත් අර්ථ ඇත්තේ ය. දක්වන ලදුයේ මෙතැනට ඕනෑ කරන අර්ථය ය. නාමයන්ට අරූපයයි ද කියනු ලැබේ. පඤ්චස්කන්ධයෙන් පළමු වැන්න රූපස්කන්ධය ය. වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන ස්කන්ධ සතරට නාමස්කන්ධ යයි කියනු ලැබේ.