ආයතන දොළොස

9 වන පාඩම

චක්ඛායතනය සෝතායතනය ඝානායතනය ජිව්හායතනය කායායතනය මනායතනය රූපායතනය සද්දායතනය ගන්ධායතනය රසායතනය ඵොට්ඨබ්බායතනය ධම්මායතනය කියා ආයතන දොළොසෙකි.

චක්ඛායතනය යනු චක්ෂුඃ ප්‍ර‍සාදය ය. සෝත - ඝාන - ජිව්හා - කායාතනයෝ ද ඒ ඒ ප්‍ර‍සාද රූපයෝ ය. මනායතනය යනු එකුන් අනූ චිත්තය ය. රූපායතනය යනු වර්ණරූපය ය. සද්දායතනය යනු ශබ්ද රූපය ය. ගන්ධායතනය යනු ගන්ධ රූපය ය. රසායතනය යනු රස රූපය ය. ඵොට්ඨබ්බායතනය යනු පඨවි තේජෝ වායෝ යන භූතරූප තුන ය. ධම්මායතනය යනු චෛතසික දෙපනස ය, සූක්ෂ්ම රූප සොළොසය ය, නිර්වාණය යන මේවා ය.

මේ ආයතන දොළොසෙන් චක්ඛායතනාදි සය ආධ්‍යාත්මිකායතන නම් වේ. රූපායතනාදි සය බාහිරායතන නම් වේ.

ආයතන නාමයෙන් දක්වා ඇත්තේ ද ස්කන්ධ නාමයෙන් දැක්වුණු පරමාර්ථ ධර්මයන් ම ය. වෙනස ආයතන විභාගයට නිර්වාණයත් ඇතුළු කර තිබීම පමණෙකි. පරමාර්ථ ධර්ම සමූහය ආයතන නාමයෙන් දොළොසකට බෙදා තිබෙන්නේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියා කිරීම අනුව ය. චක්ඛායතන රූපායතන දෙක්හි චක්ෂුද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. සෝතායතන සද්දායතන දෙක්හි සෝතද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. ඝානායතන ගන්ධායතන දෙක්හි ඝ්‍රාණද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. ජිව්හායතන රසායතන දෙක්හි ජිව්හාද්වාරික චිත්ත චෛතසිකයේ ක්‍රියා කරති. කායායතන ඵොට්ඨබ්බායතන දෙක්හි කායද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. මනායතන ධම්මායතන දෙක්හි මනෝද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. චක්ෂුඃ ප්‍ර‍සාදාදියට ආයතනය යි කියනුයේ චිත්ත චෛතසිකයන් ක්‍රියා කරන ස්ථානයෝ ය යන අර්ථයෙනි. චිත්ත චෛතසිකයන් ඉපද තම තමා අයත් කෘත්‍යයන් සිදු කරන ස්ථාන ආයතන නම් වේ.

ඇතැමෙක් දැනීම් - රසවිඳීම් - හැඳිනීම් - සතුටුවීම් - විරුද්ධවීම් ආදි ක්‍රියා සිදුකරන නාම ධර්මයන් ආත්මය වශයෙන් තදින් ගෙන සිටිති. ස්කන්ධ ක්‍ර‍මයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සත්කාය - දෘෂ්ටිය දුරු නො වේ. ආයතන ක්‍ර‍මයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සත්කාය දෘෂ්ටිය දුරු වේ. එබැවින් ඔවුන් සඳහා මෙසේ පරමාර්ථ ධර්ම සමූහය ආයතන වශයෙන් දොළොස් කොටසකට බෙදා තිබේ.