පඤ්චස්කන්ධය

star_outline

8 වන පාඩම

රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්-කන්ධය විඥානස්කන්ධය යි ස්කන්ධ පසෙකි.

රූපස්කන්ධය යනු රූප පරිච්ඡේදයේ දැක්වුණු රූප විසි අටය. අතීතාදි වශයෙන් භේද වූ රූප සියල්ල රූපභාවයෙන් සිතින් එක් සමූහයක් වශයෙන් ගෙන සියල්ලට ම රූපස්කන්ධය යි කියනු ලැබේ. ස්කන්ධ යන වචනයේ තේරුම සමූහය යනුයි. රූප සමූහය රූපස්කන්ධය ය.

වේදනාස්කන්ධය යනු දෙපනස් චෛතසිකයන් ගෙන් එකක් වන වේදනා චෛතසිකය ය. අතීතාදි වශයෙන් අනේකාකාරයෙන් බෙදී ඇති වේදනා සියල්ල වේදනා භාවයෙන් සිතින් එක් කොට සියල්ල ම වේදනා ස්කන්ධය යි කියනු ලැබේ.

සංඥාස්කන්ධය යනු සංඥා චෛතසිකය ය. අතීතාදි වශයෙන් අනේකප්‍ර‍කාර වන සංඥා සියල්ල සංඥා භාවයෙන් සිතින් එක් කොට සියල්ලට සංඥාස්කන්ධ යයි කියනු ලැබේ.

සංස්කාරස්කන්ධ යනු වේදනා සංඥා දෙක හැර ඉතිරි චෛතසික පනස ය. අතීතාදි වශයෙන් අනේක ප්‍ර‍කාර වන ඒ චෛතසික රාශිය සංස්කාර භාවයෙන් එක් සමූහයක් වශයෙන් සිතින් සලකා සංස්කාරස්කන්ධ යයි කියනු ලැබේ.

විඥානස්කන්ධය යනු එකුන් අනූ චිත්තය ය. අතීතාදි වශයෙන් අනේකප්‍ර‍කාර වන විඤ්ඤාණ රාශිය විඥාන වශයෙන් එක් සමූහයක් කොට විඥානස්කන්ධ යයි කියනු ලැබේ.

සතර පරමාර්ථයෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පඤ්චස්කන්ධයට අයත් ය. අතීතාදි වශයෙන් ප්‍රභේදයක් නැතිව එක ම ධර්මයක් ම පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත. එබැවින් එය ස්කන්ධ සංග්‍ර‍හයට ඇතුළත් නො වේ.

සංස්කාර යන වචනය අර්ථ කීපයක යෙදේ. “අනිච්චා වත සංඛාරා” යන ගාථාවෙහි සංස්කාර යනුවෙන් කියැවෙන්නේ ප්‍ර‍ත්‍යයෙන් හටගත් දෙය ය. පඤ්චස්කන්ධයට අයත් සියල්ල ම ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා ධර්ම වන බැවින් “අනිච්චා වත සඞ්ඛාරා” යන්නෙහි එන “සඞ්ඛාර” ශබ්දයෙන් පඤ්චස්කන්ධය ම කියැවේ. සංස්කාරස්කන්ධය යි කියන තැන සංස්කාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥාවන් නේ අන්‍ය වූ චෛතසික පනස ය. කරුණු අවුල් නො වීම පිණිස සංස්කාර යන වචනයෙන් කියැවෙන මේ අර්ථ දෙක මතක තබා ගත යුතු ය.

නාම රූප ධර්ම සමූහය රූප වේදනාදි වශයෙන් මෙසේ පස් කොටසකට බෙදා තිබෙන්නේ ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වීම පිණිස ය. ආත්ම සංඥාව රූපාදි පස් කොටසෙහි වෙන් වෙන් වශයෙන් ඇති වේ. මම ලස්සනය, මම උසය, මිටිය, තරය යනාදීන් රූපයෙහි ආත්ම සංඥාව ඇති වේ. මම සැප විඳිමිය, දුක් විඳිමිය, සැප දුක් විඳින්නේ මාය යනාදීන් වේදනාව ආත්ම කොට ගනියි. මම අසවල් අසවල් දේ දනිමිය, දන්නේ මාය කියා සැලකීම් වශයෙන් සංඥාව ආත්ම කොට ගනියි. දෙන්නේත් මාය, ගන්නේත් මාය, යන්නේත් මාය, ඇලුම් කරන්නේත් මාය, කිපෙන්නේත් මාය යනාදීන් සංස්කාරයන් ආත්ම කොට ගනියි. මම දකිමිය, අසමිය යනාදීන් විඥානය ආත්ම කොට ගනියි. සාමාන්‍ය ජනයා එසේ ආත්ම වශයෙන් ගන්නා දේවල් රූපාදි ධර්මයන් බව තේරුම් ගත් කල්හි ආත්ම සංඥාව දුරු වේ. පඤ්චස්කන්ධය දැන ගැනීමේ ප්‍රයෝජනය ආත්ම සංඥාව දුරු කර ගත හැකි වීම ය.

උපාදානස්කන්ධ පස

රූපේපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඥෝ-පාදනස්කන්ධය, සංස්කාරෝපාදනස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය කියා උපාදානස්කන්ධ පසෙකි. රූපාදිය මගේ ය කියා ද මම ය කියා ද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වේ. සම්පූර්ණ පඤ්චස්කන්ධය ම උපාදානයන් ගේ ගැන්මට හසු නො වේ. උපාදානයන්ගේ ගැන්මට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන්නේ ලෞකික ධර්මයන්ය. ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට හසු නොවේ. සසර දුකින් මිදීමට උපාදාන නැති කළ යුතු ය. ඒවා නැති කළ හැක්කේ උපාදානයන් වැඩීමට ස්ථානවන රූපාරූප ධර්මයන් විදර්ශනා කිරීමෙනි. උපාදානයන්ට හසුවන නො වන ධර්ම දෙ කොටස ම පඤ්චස්කන්ධයට අයත් ය. විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන් කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ පස වදාරා තිබේ.

  1. රූපෝපාදානස්කන්ධය යනු අටවිසි රූපය ය. රූප ලෞකික බැවින් සියල්ල ම උපාදානයන්ට ස්ථාන වේ.
  2. වේදනෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් අසූ එකෙහි වේදනා චෛතසිකය ය.
  3. සංඥෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූවෙහි සංඥා චෛතසිකය ය.
  4. සංස්කාරෝපාදානස්කන්ධය යනු ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛතසික පනස ය.
  5. විඥානෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූව ය.