සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධි යන මේ ධර්මයෝ අට දෙන මාර්ගාඞ්ග නම් වෙති.
ලෝකෝත්තර භාවයෙන් එක වර එක සිතක් හා බැඳී උපදනා වූ සම්මාදිට්ඨි ආදි මේ ධර්ම අටෙන් කෙලෙස් නැසීම හා නිවන් දැකීම සිදු කරනු ලැබේ. මාර්ගාඞ්ග යන මෙහි මාර්ග යනුවෙන් කියැවෙන්නේ, “උපාය” යන අර්ථය ය. එය කෙලෙස් නැසීමේත් නිවන් දැකීමේත් උපාය ය. අඞ්ග යනුවෙන් කියැවෙන්නේ “අවයවය” යන අර්ථය ය. කෙලෙස් නසන, නිවන් දකින උපායේ අවයව (කොටස්) මාර්ගාඞ්ග නම් වේ. මේ ලෝකෝත්තර මාර්ගයෙහි තත්ත්ව සතරක් ඇත්තේ ය. ඒ තත්ත්වයන්ට පිළිවෙළින් සෝතාපත්ති මග්ග, සකදාගාමිමග්ග, අනාගාමිමග්ග, අරහත්තමග්ග යන නම් කියනු ලැබේ. මාර්ගාඞ්ග අට මිශ්‍රක සංග්‍රහයෙහි කී පරිදි දත යුතු.
ප්‍රභේද වශයෙන් සත් තිසක් වන මේ බෝධිපාක්ෂික ධර්මයෝ පරමාර්ථ ධර්ම වශයෙන් ස්මෘතිය, වීර්‍ය්‍යය, ඡන්දය, චිත්තය, ප්‍රඥාවය, ශ්‍රද්ධාවය, ඒකාග්‍රතාවය, ප්‍රීතිය, ප්‍රශ්‍රබ්ධිය, තත්‍රමජ්ඣත්තතාවය, විතර්කය, සම්මා වාචාවය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය කියා තුදුසක් වන්නාහ.
මේ තුදුස් ධර්මයන් අතුරෙන් විතක්කය, පස්සද්ධිය, පීතිය, තත්‍රමජ්ඣත්තතාවය, ඡන්දය, චිත්තය, විරති තුනය යන මේ ධර්ම නවය එක් එක් තැනක ම ආයේ ය. එක් ධර්මයක් වූ වීර්යය-සම්‍යක් ප්‍රධාන සතරය, විරියිද්ධිපාදය, විරියින්ද්‍රිය, විරිය බලය, විරියසම්බොජ්ඣඞ්ගය, සම්මාවායාමය යි ස්ථාන නවයක එන්නේ ය. එක් ධර්මයක් වන සතිය - සතිපට්ඨාන සතරය, සතින්ද්‍රියය, සති බලය, සති සම්බොජ්ඣඞ්ගය, සම්මා සතිය යි ස්ථාන අටක එන්නේ ය. ඒකග්ගතාව - සමාධින්ද්‍රියය, සමාධි බලයය, සමාධි සම්බොජ්ඣඞ්ගය, සම්මා සමාධිය යි ස්ථාන සතරක එන්නේ ය. ප්‍රඥා චෛතසිකය - වීමංසිද්ධිපාදය, පඤ්ඤින්ද්‍රියය, පඤ්ඤාබලය ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, සම්මා දිට්ඨිය යි ස්ථාන පසක එන්නේ ය. සද්ධින්ද්‍රිය, සද්ධාබලය, යන ස්ථාන දෙක්හි ශ්‍රද්ධා චෛතසිකය එන්නේ ය.
මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල සියලු ම ලෝකෝත්තර සිත්වල සාමාන්‍යයෙන් ලැබෙන්නේ ය. ද්විතීයධ්‍යානාදි ලෝකෝත්තර සිත්වල ස්මමා සඞ්කප්පය ද චතුර්ථධ්‍යාන පඤ්චමධ්‍යාන ලෝකෝත්තර සිත්වල සම්මා සඞ්කප්ප, පීති සම්බොජ්ඣඞ්ග යන දෙක ම ද නො ලැබෙන්නේ ය. ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විශුද්ධීන් සම්පාදනය කිරීමේ දී ලෞකික සිත්වල ද සුදුසු පරිදි බෝධිපාක්ෂික ධර්මයෝ ලැබෙත්. ලෝකෝත්තර චිත්තයෙහි මෙන් ලෞකික චිත්තයන්හි බෝධිපාක්ෂික ධර්ම සියල්ල එකවර නො ලැබේ.