6. රූප සමුට්ඨාන

කර්මය - චිත්තය - සෘතුව - ආහාරය කියා රූප උපදවන හේතු සතරෙකි.

කාමාවචර කුසල් සිත් අටය, රූපාවචර කුසල් සිත් පසය, අකුසල් සිත් දොළොස ය යන සිත් පස් විස්ස හා උපන් අතීත කුශලාකුශල චේතනාව නමැති කර්මය සත්ත්ව සන්තානයෙහි ප්‍ර‍තිසන්ධියේ පටන් ඒ සත්ත්වයා කෙරෙහි ක්ෂණයක් පාසා ම රූප උපදවන්නේ ය. කර්මයෙන් උපදවන ඒ රූපයන්ට කර්මජ රූප යයි කියනු ලැබේ. මෙහි ක්ෂණය යයි කීයේ සිත්වල උත්පාද-ස්ථිති-භඞ්ග යන ක්ෂණයන්ට ය. ප්‍ර‍තිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද රූප උපදවයි. ස්ථිති - භඞ්ග ක්ෂණවලදී ද රූප උපදවයි. ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් පසු ඇති වන සිත්වල ක්ෂණත්‍රයේ දී ද එසේ ම උපදවයි. කර්මජ රූප ඉපදීම නවතින්නේ මරණයට ඉතා ළං වන විට ය. සත්ත්ව ශරීරයෙහි මිස ඉන් පිටත කර්මජ රූප නූපදී. දෙවියන්ට ඔවුන්ගේ පිනින් පහළ වන විමාන ආදිය කර්මය ද ප්‍ර‍ත්‍යය වී ඇති වන සෘතුජ රූපයෝ ය. අරූප භූමිය රූපවලට ස්ථානයක් නො වන බැවින් අරූපාවචර කුශලය රූප නූපදවයි.

අරූප විපාක සතරය, ද්විපඤ්ච විඤ්ඤාණය ය යන මේ සිත් හැර, ඉතිරි සිත් පන්සැත්තෑව රූප උපදවන සිත් ය. මේ සිත් උපදින්නේ තම තමන් විසින් උපදවන රූපත් උපදවමින් ය. සිත රූප උපදවන්නේ උත්පාදක්ෂණයේ දී ම ය. ස්ථිති - භඞ්ග ක්ෂණවලදී සිත දුබල බැවින් රූප නූපදවයි. සිතින් උපදවන රූපවලට චිත්තජ රූපය යි කියනු ලැබේ.

අරූප භූමිය රූප ඉපදීමට තැනක් නො වන බැවින් අරූප විපාක සිත් රූප නූපදවයි. අරූප භූමියේ ඇති වන අන් සිත්වලින් ද රූප නූපදවනු ලැබේ. පඤ්චවිඤ්ඤාණයන් විසින් රූප නූපදවන්නේ ද ඒ සිත් දුබල බැවිනි.

තව ද ප්‍ර‍තිසන්ධි චිත්තය හා රහතුන්ගේ ච්‍යුති චිත්තය ද රූප නූපදවයි. “සකල සත්ත්වයන්ගේ ම ච්‍යුති සිත් රූප නූපදවන්නේ ය” කියා ආචාර්‍ය්‍යවාදයක් ද ඇත්තේ ය. චිත්තජ රූප උපදින්නට පටන් ගන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයට අනතුරු ව ඇති වන ප්‍ර‍ථම භවාඞ්ග චිත්තයාගේ උත්පාදයෙහි පටන් ය. අරූප විපාක සතරය, ද්විපඤ්ච විඥානය ය, ප්‍ර‍තිසන්ධි චිත්තය ය, රහතුන් ගේ ච්‍යුති චිත්තය ය යන මේවා රූප නූපදවන සිත් ය.

මේ ශරීරය ඉබේ සෙලවෙන්නේ නැත. අරූපී වූ සිත ද ශරීරය සෙලවීමට සමත් නො වේ. යාම් - ඊම් අත්පාදිය එසවීම් - පහත් කිරීම් ආදි ශරීරයෙන් කෙරෙන සියලුම ක්‍රියා සිදු වන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙනි. සිට ගෙන සිටින තැනැත්තා ගේ ශරීරය නො වැටී කෙළින් සිටින්නේත් වාඩි වී ඉන්නා තැනැත්තාගේ ශරීරය නො වැටී එසේ තිබෙන්නේත් චිත්තජ රූපයන්ගේ බලයෙනි.

රූප උපදවන සිත් පන් සැත්තෑව අතුරෙන් අර්පණා ජවන නම් වූ මහග්ගත ලෝකෝත්තර ජවන් සවිස්ස සාමාන්‍යයෙන් රූප ඉපදවීම පමණක් නොව, සිටීම හිඳීම ශයනය යන ඉරියව් නො බිඳ පැවැත්වීම ද සිදු කරන්නේ ය. අර්පණා ජවනයන් ගෙන් උපදවන රූප ශරීරය සෙලවීමට සමත් නො වේ. එබැවින් නිදා සිටින ශරීරය නැගිටුවා හිඳ වීම, හිඳිනා ශරීරය නැගිටුවා සිට වීම, අර්පණා ජවනයෙන් උපදවන චිත්තජ රූපවලින් සිදු කරනු නො ලැබේ. ඒවායින් සිදු කරන්නේ අන් සිතකින් ඉපද වූ චිත්තජ රූපවලින් මුලින් ඇති කළ ඉරියව්ව ඒ සැටියට පැවැත්වීම ය. ඇද වැටෙන්නට නො දීමය. භවාඞ්ග සිත්වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්‍ය්‍යය සිදු කිරීමට ද සමත් නො වේ. සිට ගෙන සිටින තැනැත්තාට හෝ වාඩි වී සිටින තැනැත්තාට හෝ නින්ද ගියහොත් වැටෙන්නේ එහෙයිනි.

ව්‍යවස්ථාපනය ය, කාමාවචර ජවන් එකුන් තිසය, අභිඥා දෙසිතය යන මේ සිත් දෙතිස, රූප ඉපදවීම ය, ඉරියව් දැරීමය යන මේ දෙතිස හා කාය වාක් විඥප්තීන් ඉපදවීම ද කරන්නේ ය. ගමනාදි ක්‍රියා සිදු වන්නේ විඥප්ති උපදවන සිත්වලිනි.

ලෝභ මූල සෝමනස්ස සහගත සිත් සතර ය, හසිතුප්පාදයය, මහා කුශල මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් අටය යන මේ සෝමනස්ස දහතුනෙන් ඉහත කී දෑ පමණක් නොව, සිනාවත් ඇති කරනු ලැබේ.

මේ සිත් තෙළෙසින් ලෝභමූල සෝමනස්ස සහගත සිත් සතරය, මහා කුශල සෝමනස්ස සහගත සිත් සතරය යන අටෙන් පෘථග්ජනයෝ සිනාසෙති. දිට්ඨි විප්පයුත්ත සෝමනස්ස සහගත සිත් දෙකින් හා මහාකුසල සෝමනස්ස සහගත සිත් සතරෙන් ශෛක්ෂයෝ සිනාසෙති. හසිතුප්පාද චිත්තයෙන් හා මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් සතරෙන් රහත්හු සිනාසෙති.

ස්ථිතියට පැමිණි රූප කලාපයන්හි ඇති තේජෝ ධාතුව තවත් රූප කොට්ඨාසයක් උපදවන්නේ ය. තේජෝ ධාතුවට සෘතුව යි ද කියනු ලැබේ. එබැවින් රූප කලාපයන්හි ඇති තේජෝ ධාතුවෙන් උපදවන රූපවලට සෘතුජ රූපය යි කියනු ලැබේ. තේජෝ ධාතුව සෘතුජ කලාපවල ද ඇත්තේ ය. එබැවින් කර්ම-චිත්ත-සෘතු-ආහාර යන සතරෙන් ම උපදවන රූප කලාප ස්ථිතියට පැමිණි කල්හි ඒවායින් සෘතුජ රූප උපදවන බව දත යුතු ය. රූප ස්ථිතික්ෂණයෙහි දී මිස, උත්පාදක්ෂණයෙහි බලවත් නැත. සෘතුව උත්පාදක්ෂණයෙහි රූප නූපදවන්නේ එහෙයිනි.

කෑම්-පීම් ආදියෙහි ඇත්තා වූ ඕජා සඞ්ඛ්‍යාත ආහාරය ශරීරගත ව ස්ථිතියට පැමිණි කල්හි එයින් ද රූප කොටසක් උපදවනු ලැබේ. ඒවාට ආහාරජ රූපය යි කියනු ලැබේ. ඕජාවය යි කියනු ලබන ආහාර රූපය ශරීරයේ ලේ මස් ආදියට අයත් සියලු ම රූප කලාපවල ඇත්තේ ය. ආහාරජ රූප උපදවන්නේ පිටතින් ගත් ඕජාවය, ශරීරයේ ම ඇති ඒජාවය යන දෙ වර්ගය එකතු වීමෙනි. පිටතින් ගන්නා ඕජාවන් ශාරීරික ඕජාවේ උපකාරය නො ලැබ රූප උපදවන්නට සමත් නො වේ. ශාරීරික ඕජාවත් පිටතින් ගන්නා ඕජාවේ උපකාරය නො ලැබ රූප ඉපදවීමට සමත් නො වේ.

පිටතින් ගන්නා ආහාරය රූප ඉපදවීම සඳහා ශාරීරික ඕජාවට උපකාර වෙනවා මිස, එයින් රූප ඉපදවීමක් සිදු කරන්නේ නැතය යන ආචාර්‍ය්‍ය වාදයක් ද ඇත්තේ ය.

අනුභව කළ ආහාරයෙන් පමණක් නො ව, ඇඟ ගැල්වූ ආහාරයෙන් ද රූප උපදවන බව ද, මව අනුභව කළ ආහාරයෙන් ම කුස තුළ ඉන්නා දරුවාගේ ශරීරයෙහිත් රූප උපදවන බව ද කියා තිබේ.