5. රූප විභාගය

රූප සියල්ල ම ලෝභාදි හේතු රහිත බැවින් අහේතුකය. කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා බැවින් සප්‍ර‍ත්‍යය නම් වේ. ආශ්‍ර‍වයන්ට විෂය බැවින් සාශ්‍ර‍ව නම් වේ. කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් උපදවනු ලබන බැවින් සඞ්ඛත නම් වේ. ලෝකයට අයත් බැවින් ලෞකික නම් වේ. කාම තෘෂ්ණාවට විෂය බැවින් කාමාවචර නම් වේ. අරමුණු නො ගන්නා බැවින් අකාරම්මණ නම් වේ. ක්ලේශයන් මෙන් ප්‍ර‍හාණය කළ යුතු ඒවා නො වන බැවින් අප්‍ර‍හාතව්‍ය නම් වේ.

ප්‍ර‍සාද රූප පස ආධ්‍යාත්මික රූප නම් වේ. අවශේෂ රූප තෙවිස්ස බාභ්‍ය රූප නම් වේ.

මමය මමය කියා ආත්ම වශයෙන් සලකන බැවින් සත්ත්ව ශරීරයට අයත් රූප සියල්ල ම සාමාන්‍යයෙන් අධ්‍යාත්ම රූප නම් වේ. ආත්ම භාවයට අයත් වන රූප සමූහය අතුරෙන් ද ප්‍ර‍සාද රූපයන් කෙරෙහි ආත්ම වශයෙන් සැලකීම හා තෘෂ්ණාවත් අධික ව පවත්නා බැවින් ඒවාට විශේෂයෙන් ආධ්‍යාත්මික යන නම දී තිබේ.

ප්‍ර‍සාද රූප පසය, හෘදය රූපයය යන මේ සය වස්තු රූප නම් වේ. ඉතිරි රූප දෙවිස්ස අවත්ථු රූප නම් වේ. රූප සයකට වස්තු රූප යන නම දී ඇත්තේ විඥානයන්ට වස්තු වන බැවිනි.

ප්‍ර‍සාදරූප පසය විඥප්ති රූප දෙකය යන මේ රූප සත ද්වාර රූප නම් වේ. ඉතිරි රූප එක් විස්ස අද්වාර රූප නම් වේ. ප්‍ර‍සාදරූප පස පඤ්චවිඤ්ඤාණයන්ට ද්වාර වේ. විඥප්තිරූප දෙක කාය වාක් කර්මයන්ට ද්වාර වේ.

ප්‍ර‍සාද රූප පසය, භාවරූප දෙකය, ජීවිත රූපයය යන මේ අට ඉන්ද්‍රිය රූප නම් වේ. ඉතිරි රූප විස්ස අනින්ද්‍රිය රූප නම් වේ. ඉන්ද්‍රියය යි කියනුයේ යම් කිසිවක් කෙරෙහි අධිපත් කම් කරන ධර්මයන්ට ය. ප්‍ර‍සාදරූප පස පඤ්ච විඤ්ඤාණයන්ට අධිපති කම කෙරේ. පඤ්ච විඤ්ඤාණයෝ ප්‍ර‍සාදයන්ට අනුකූල ව උපදිති. භාව රූප දෙක ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් ගැන්වීම් වශයෙන් අන්‍ය රූපයන් කෙරෙහි අධිපති කම පවත්වයි.

ප්‍ර‍සාදරූප පසය, ගෝචර රූප සතය යන මේ රූප දොළොස ඖදාරික රූප නමුදු වේ. සන්තිකේ රූප නමුදු වේ. සප්‍ර‍තිඝ රූප නමුදු වේ. ආපෝ ධාතුව ස්ත්‍රී භාවය පුරුෂ භාවය හෘදය රූපය ජීවිත රූපය ආහාර රූපය පරිච්ඡේද රූපය විකාර රූප පසය ලක්ෂණ රූප සතරය යන මේ රූප සොළොස සූක්ෂ්ම රූප නමුදු වේ. දූරේ රූප නමුදු වේ. අප්‍ර‍තිඝ රූප නමුදු වේ.

ගෝචර රූප සතය යි කියන ලදුයේ ස්ප්‍ර‍ෂ්ටව්‍යය, පඨවි තේජෝ වායෝ කියා රූප තුනක් වන බැවිනි.

ප්‍ර‍සාදරූප හා විෂයරූප ඔවුනොවුන් ගැටෙන බැවින් ඖදාරික ය. ඖදාරික යයි කියනුයේ සියුම් නො වන බැවිනි. සන්තිකේ රූප යන වචනයෙහි තේරුම ළඟ ඇති රූපයෝය යනු යි. ප්‍ර‍සාද රූප හා ගෝචර රූප ඖදාරික බැවින් පහසුවෙන් දත හැකි ය. එබැවින් ඒවා දුර තිබුණේ ද ළඟ තිබෙනවා වැනි ය. ඒවාට සන්තිකේ රූප යන නම දෙන ලද්දේ එහෙයිනි. ඒවාට සප්‍ර‍තිඝ රූප යන නම දී ඇත්තේ ඔවුනොවුන් සැපෙන බැවිනි.

කර්මයෙන් හට ගන්නා රූප අටළොස උපාදින්න රූප නම් වේ. ඉතිරි රූප දශය අනුපාදින්න නම් වේ. කර්‍මයෙන් හට ගන්නා රූප කවරහුදැ යි මතු දත හැකි වනු ඇත. උපාදින්න යන වචනයේ තේරුම මාගේය කියා ද, මම ය කියා ද තෘෂ්ණා දෘෂ්ටීන් කරණ කොට ගදින් ගනු ලබන දෙය ය යනු යි. ශාරීරික රූප සියල්ල ම මාගේ ය මම ය කියා තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්ලා ගනු ලැබේ. කර්‍මජ රූප, රූප - කයේ ප්‍ර‍ධාන කොටස වන බැවින් ඒ ගැනීම කර්‍මජ රූපයන්හි වඩාත් බලවත් ව ඇත්තේ ය. එබැවින් ඒවාට විශේෂයෙන් උපාදින්න යන නම දී ඇත්තේ ය.

ගෝචර රූපයන්ගේ පළමු වැන්න වූ වර්ණ රූපය සනිදස්සන රූප නම් වේ. එහි තේරුම පෙනෙන රූපය යනු යි. රූප අට විස්සෙන් ඇසට පෙනෙන්නේ වර්ණ රූපය පමණෙකි. අන්‍ය රූප සත් විස්ස නො පෙනෙන බැවින් අනිදස්සන රූප නම් වේ.

රූපාදි අරමුණු ගන්නා බැවින් ප්‍ර‍සාද රූප පස ගෝචරග්ගාහික රූප නම් වේ. ඉතිරි රූප තෙවිස්ස අරමුණු නොගන්නා බැවින් අගෝචරග්ගාහික නම් වේ.

ප්‍ර‍සාද රූපයන්ගෙන් චක්ෂුඃ ශ්‍රෝත්‍ර‍ දෙක දුර තිබෙන අරමුණු පමණක් ගන්නා බැවින් අසම්ප්‍රාප්තග්‍රාහක නම් වේ. ඇසට පෙනෙන්නේ එහි සැපී දුර තිබෙන දෙයක් පමණෙකි. යමක් ඇසේ ම සැපී සිටිය හොත් එය ඇසට නො පෙනේ. ඇසි - පිය ඇසේ සැපී සිටින බැවින් නො පෙනේ. කනට ඇසෙන්නේ ද දුර ඇති ශබ්දය ය. අසන්නහුට ශබ්දය ඇති දිශාව දැනෙන්නේත් තැන දැනෙන්නේත් ඒ නිසා ය. ඝ්‍රාණ-ජිහ්වා-කාය ප්‍ර‍සාදයෝ දුර පිහිටි අරමුණු ගැනීමට සමත් නො වෙති.

වර්ණ-ගන්ධ-රස-ඕජා යන සතර ය, භූතරූප සතරය යන මේ රූප අට ඔවුනොවුන්ගෙන් වෙන් නො වන බැවින් අවිනිබ්භෝග රූප නම් වේ. ඉතිරි රූප විස්ස විනිබ්භෝග රූප නම් වේ.