රූපයන් අතර කර්මාදි එක් ප්‍රත්‍යයකින් ම හට ගන්නා රූප ද ඇත්තේ ය. ප්‍රත්‍යය දෙකකින් හට ගන්නා රූප ද ඇත්තේ ය. ප්‍රත්‍යය තුනකින් හතරකින් හට ගන්නා රූප ද ඇත්තේ ය. කිසි ම ප්‍රත්‍යයකින් නො හටගන්නා රූප ද ඇත්තේ ය.
හෘදය රූපය - ඉන්ද්‍රිය රූප අට ය යන මේ රූප නවය කර්මයෙන් ම හටගන්නා රූපයෝ ය.
විඤ්ඤත්ති රූප දෙක සිතින් ම හටගන්නේ ය.
ශබ්දය, චිත්ත - සෘතු දෙකින් ම හටගන්නේ ය. කථා කරන ශබ්දය චිත්තජ ශබ්දය ය. සුළං හැමීම් ආදියෙන් හට ගන්නා ශබ්දය සෘතුජ ශබ්දය ය.
ලහුතා - මුදුතා - කම්මඤ්ඤතා යන විකාර රූප තුන සෘතු - චිත්ත - ආහාර යන හේතු තුනෙන් ම හට ගන්නේ ය. ලහුතාදි රූප හටගන්නේ හොඳ චිත්ත - සෘතු - ආහාරවලිනි. සෘතුව නරක් වූ කල්හි හටගන්නා චිත්තජ රූපයන්හි ද, සිත නරක් වූ කල්හි හට ගන්නා චිත්තජ රූපවල ද නො මනා ආහාරයෙන් හටගන්නා රූප කලාපවල ද ලහුතාදි තුන නො ලැබේ. ලහුතාදියෙන් යුක්ත රූප කලාප නැති කල්හි ශරීරය බර ව තද ව ක්‍රියා කිරීමට හොඳ නැති තත්ත්වයකින් පවතී.
අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුවය යන මේ රූප නවය ප්‍රත්‍යය සතරෙන් ම හටගන්නේ ය. ඉතා ම කුඩා දෙය හැටියට සලකන පරමානුවෙහි ද රූප කලාප බොහෝ ගණනක් ඇත්තේ ය. ඒ රූප කලාප එකිනෙකට වෙන් කරන ආකාශයක් ද ඒවා අතර ඇත්තේ ය. ආකාශ ධාතුව කිසිම ප්‍රත්‍යයකින් නො හට ගන්නා දෙයක් බව කිය යුතු වුව ද, කර්මාදි ප්‍රත්‍යයන් ගෙන් හටගෙන එකට බැඳී පවත්නා වූ රූප කලාප ඔවුනොවුන් ගෙන් වෙන් කරමින් ඒවා අතර පවත්නා වූ ආකාශයත් ඒ ඒ ප්‍රත්‍යයන් ගෙන් ම හටගන්නා රූපයක් හැටියට ගණන් ගැනීමෙන් ආකාශ ධාතුව කර්මාදි ප්‍රත්‍යය සතරෙන් ම හටගන්නා රූපයක් ලෙස කියනු ලැබේ.
ලක්ෂණ රූප සතර කිසි ම ප්‍රත්‍යයකින් නො හට ගන්නේ ය. ඒවා ප්‍රත්‍යයෙන් නො හටගන්නා රූප සැටියට කියනුයේ ඒවා කර්මාදි ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා රූපයන් ගේ ඉපදීමය -දිරීමය - බිඳීමය යන ලක්ෂණ මාත්‍රයක් ම වන බැවිනි. උපචය - සන්තති රූප දෙක කර්මාදි ප්‍රත්‍යයෙන් හට ගන්නා රූප ලෙස අටුවාවල දක්වා තිබේ.
අවිනිබ්භෝග රූප අටය, ආකාශ ධාතුව ය, හෘදය රූපය ය, ඉන්ද්‍රිය රූප අට ය යන මේ රූප අටළොස කර්මජ රූපයෝ ය.
අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුව ය, ශබ්දය ය, විඤ්ඤත්ති රූප දෙක ය, ලහුතාදි රූප තුන ය යන මේ පසළොස චිත්තජ රූපයෝ ය.
අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුව ය, ශබ්දය ය, ලහුතාදි තුන ය යන මේ රූප තෙළෙස සෘතුජ රූපයෝ ය.
අවිනිබ්භෝග රූප අට ය, ආකාශ ධාතුව ය, ලහුතා දි තුන ය යන රූප දොළොස ආහාරජ රූපයෝ ය.