4. අනිෂ්පන්න රූප දශය

star_outline

ආකාශ ධාතුව

අජටාකාශය - රූප පරිච්ඡේදාකාශය කියා ආකාශධාතුව දෙපරිද්දෙකින් කියනු ලැබේ. සියලු ම වස්තූන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය අජටාකාශ නම් වේ. ඝනබද්ධ වස්තූන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය පරිච්ඡේද ආකාශ නමි. අටවිසි රූපයෙන් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශය ය. මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ. එහෙත් රූප කලාපවල අමිශ්‍ර‍ පැවැත්මට ඒවා අතරට ආකාශයත් වුවමනා බැවින් එය එක් රූපයක් සැටියට ගණන් ගනු ලැබේ.

විකාර රූප

කාය විඤ්ඤත්තිය

ශරීරාවයව ක්‍රියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤත්තිය නම් වේ. යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්ත වන චිත්තය උපදනා කල්හි, ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනිකූරක් ගැසූ කල්හි, ඒ කාමරය පුරා ආලෝකයක් ඇති වන්නාක් මෙන්, සොලව්නනට වුවමනා ශරීරාවයව පුරා වායුවක් ඇති වේ. ශරීරාවයව සෙලවෙන්නේ ඒ වායු වේගයෙනි. විඤ්ඤත්ති රූපයත් ඒ වායුව සමගම ඇති වන්නකි. එයින් වුවමනා අතට වායු වේගය මෙහෙයවනු ලැබේ. ශරීරාවයවවල ඉහළ යෑම් පහළට යෑම් ආදිය ක්‍රියාවට වුවමනා පරිදි සිදු වන්නේ ඒ මෙහෙයීම නිසා ය.

වචී විඤ්ඤත්තිය

කථා කිරීමට උත්සාහ කිරීමේදී වුවමනා අකුරු වුවමනා වචන සෑදෙන පරිදි ශබ්දය මෙහෙයවන බල විශේෂය වචී විඤ්ඤත්ති නම් වේ. චිත්තජ වායුව එ ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හට ගනී. ඒ ශබ්දය කාරණයට වුවමනා පරිදි ඇති වන්නේ මේ වචී විඤ්ඤත්ති රූපය නිසා ය. මේවාට විඤ්ඤත්ති යන නම දී ඇත්තේ ඒවායින් පුද්ගලයා ගේ අදහස අඟවන නිසා ය.

ලහුතාදි රූප තුන

ශාරීරික රූපයන් ගේ සැහැල්ලු බව ලහුතා නම් වේ. මෘදු බව - තද නැති බව මුදුතා නම් වේ. ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ. මේ රූප තුන අන්‍ය රූපයන්ගේ ගුණ තුනෙකි. කාල ගුණය නරක් වීම, සිත නරක් වීම, ආයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නො ලැබීම, නොයෙක් රෝග ඇති වීම යනාදි කරුණුවලින් ශරීරයෙහි ඉක්මනින් වැඩ කළ නො හෙන බර ගතියක් ද, නැවීම් දිග හැරීම්වලදී වේදනා උපදවන තද ගතියක් ද, වුවමනා පරිදි ශරීරය ක්‍රියා කරවන්නට අසමත් ගතියක් ද ඇති වේ. කාල ගුණය හොඳ වීම, සිත හොඳ වීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදිය සිදු වන කල්හි ශරීරයෙහි ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන මේ රූප ඇති වේ.

විඤ්ඤත්ති රූප දෙකය - ලහුතාදි රූප තුනය යන මේ රූප පස විකාර රූප නම් වේ. ඒවා වරින් වර රූප කයෙහි ඇති වන ආකාර විශේෂයෝ ය. විකාර රූප යන නම දී තිබෙන්නේ එහෙයිනි.

ලක්ෂණ රූප සතර

උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන මේ සතර ලක්ෂණ රූපයෝ ය. උපචය - සන්තති යන වචන දෙකෙන් ම කියැවෙන්නේ රූපයන් ගේ උත්පාදය ය. සත්ත්වයකුට ඇති විය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇති වන රූපයන් ගේ උත්පාදය උපචය නම් වේ. රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත පහළ වන රූපයන් ගේ උත්පාදය සන්තති නම් වේ. රූපයන් ගේ දිරීම ජරතා නම් වේ. බිඳීම අනිච්චතා නම් වේ. මේවා අන්‍ය රූපයන් ගේ ලක්ෂණ වන බැවින් ලක්ෂණ රූප නම් වේ.

පරිච්ඡේද රූපයය, විකාර රූප පසය, ලක්ෂණ රූප සතරය යන මේ රූප දශය කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් කෙළින් ම හට ගන්නා රූප නොවන බැවින් ඒවාට අනිෂ්පන්න රූපය යි කියනු ලැබේ.

මේ රූපයන් අතුරෙන් විඤ්ඤත්ති රූප දෙක්හි ආයුෂය එක් චිත්තක්ෂණයෙකි. උපචය - සන්තති රූපවල ආයුෂය කුඩා ක්ෂණ එකකි. ජරතා රූපයා ගේ ආයුෂය කුඩා ක්ෂණ සතළිස් නවයෙකි. අනිච්චතා රූපයේ ආයුෂය කුඩා ක්ෂණ එකකි. ඉතිරි රූප දෙවිස්සෙහි ආයුෂය චිත්තක්ෂණ සතොළොසකි.