3. ගෝචර රූප පස

රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්ප්‍ර‍ෂ්ටව්‍ය ය කියා ගෝචර රූප පසෙකි. මේ රූප පස චක්ෂුරාදි ප්‍ර‍සාද පසෙහි ගොදුරු ය. එබැවින් ඒවාට ගෝචර රූපයයි කියනු ලැබේ. චක්ෂුරාදි ප්‍ර‍සාද පසට හසුවන බැවින් විෂය රූපය යි ද කියනු ලැබේ.

රූපය

මෙහි රූපය යි කියනුයේ චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි සැපෙන එයට හසු වන පැහැයට ය. එයට වර්ණ රූපය යි ද කියනු ලැබේ. චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටෙන්නේ එයට හසු වන්නේ මේ වර්ණ රූපය පමණෙකි. වර්ණය හැර අතට හසු වන වස්තූන් ඇසට නො පෙනේ. “රූපස්කන්ධය” යි කියන තැන රූප යන වචනයෙන් කියැවෙන්නේ රූප විසි අට ය. මේ වර්ණ රූපයත් ඒ විසි අටට අයත් එක් රූපයෙකි. ගෝචර රූප කියන තැන දී රූප යන වචනයෙන් කියැවෙන්නේ වර්ණ ධාතුව පමණෙකි. රූප සියල්ලට ම රූප යන නම කියනුයේ ශීතෝෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන දෙයය යන අර්ථයෙනි. වර්ණ ධාතුවට රූප යන නම කියන්නේ පෙනෙන දෙය ය යන අර්ථයෙනි. රූප විසි අටෙන් ඇසට පෙනෙන්නේ මේ වර්ණ රූපය පමණෙකි. අනික් රූප ඇසට නො පෙනේ.

ශබ්දය

ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය කරණ කොට ගෙන දැනෙන දෙය ශබ්දය ය. එය ගැටීම් පිපිරීම්වලින් හටගෙන ඉක්මනින් නැති වන රූපයකි. ඉක්මනින් නැති වීමය යි කියනුයේ අනික් රූපවලට වඩා ආයුෂ අඩු බවක් නොව, පරම්පරාව කල් නො පැවතීමය.

ගන්ධය

ඝ්‍රාණ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ඝ්‍රාණ ප්‍ර‍සාදය කරණකොට ගෙන දැනෙන රූපය ගන්ධය ය. එය සමහර වස්තුවල අධිකවත් සමහර වස්තුවල මඳවත් ඇත්තේ ය. ධාතු සතර පවතින සැම වස්තුවක ම යම්කිසි ප්‍ර‍මාණයකින් ගන්ධය ඇත ද සමහර වස්තුවල ඇති ගන්ධය ඉතා සියුම් බැවින් නො දැනේ.

රසය

ජිහ්වා ප්‍ර‍සාදයෙහි ගැටෙන, දිව කරණ කොට ගෙන දැනෙන රූපය රසය ය. එය මහාභූත ධාතූන්ගේ වෙනස්කම් අනුව අනේකාකාර වේ. රසය සැම වස්තුවක ම ඇතත් දිය වී නොයන නිසාත් ඉතා සියුම් නිසාත් ඇතැම් වස්තුවල රසය නො දැනේ. රසය දත හැකිවීමට දිය වී ජිහ්වා ප්‍ර‍සාදයෙහි සැපිය යුතු ය.

ස්ප්‍ර‍ෂ්ටව්‍යය

කාය ප්‍ර‍සාදයෙහි ගැටෙන - කාය ප්‍ර‍සාදය කරණකොට දැනෙන රූපයට ස්ප්‍ර‍ෂ්ටව්‍යයි කියනු ලැබේ. එය රූප ශබ්දාදිය වැනි අමුතු රූපයක් නො වේ. කාය ප්‍ර‍සාදයේ ගැටෙන්නේ පඨවි තේජෝ වායෝ යන මහාභූත තුන ය. කයට තද සැටියට දැනෙන්නේ පඨවි ධාතුව ය. කයට දැනෙන ශීත ස්වභාවය හා උෂ්ණ ස්වභාවය තේජෝ ධාතුව ය. කයට දැනෙන සෙලවෙන තල්ලුවන ස්වභාවය වායෝ ධාතුව ය. ආපෝ ධාතුව ස්පර්ශ වන්නක් නො වේ. ගෝචර රූප දැක්වීමේ දී ප්‍ර‍සාද පසට ම ගොදුරු වන රූප දැක්විය යුතු බැවින් කාය ප්‍ර‍සාදයට ගොදුරු වන භූතරූප තුන ස්ප්‍ර‍ෂ්ටව්‍යය නාමයෙන් දක්වා තිබේ. රූප ගණන් ගැනීමේ දී ස්ප්‍ර‍ෂ්ටව්‍ය රූපය ය කියා රූපයක් ගණන් ගනු නො ලැබේ.

එක් වස්තුවක රූප - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන සියල්ල ම ඇත්තේ ය. වස්තුවක් අතින් අල්ලන කල්හි අතට හසුවන්නේ දැනෙන්නේ එහි ඇති පඨවි ධාතුව ය. ඇසට පෙනෙන්නේ වර්ණ රූපය ය. ඇසට පෙනෙන කොටස අතට අසු නො වේ. අතට අසුවන කොටස ඇසට නො පෙනේ. එහි නාසයට දිවට දැනෙන කොටස් නාසයට දිවට ම මිස, අතට නො දැනේ. ඇසට නො පෙනේ. අතට හසුවන්නේත් ඇසට පෙනෙන්නේත් එක ම දෙය යයි සිතීම ධර්ම විභාග නො දැනීම නිසා වන වැරදි හැඟීමකි.

භාවරූප දෙක

ස්ත්‍රී භාවරූපය, පුරුෂ භාවරූපය කියා භාව රූප දෙකකි. සත්ත්ව ශරීරයට ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපය ස්ත්‍රී භාව රූපය ය. පුරුෂ ස්වභාවය ගන්වන රූපය පුරුෂභාව රූපය ය. මේ රූප දෙක ශාරීරික රූපයන් කෙරෙහි තමන්ගේ බලය පවත්වන රූප දෙකකි. එබැවින් ස්ත්‍රී භාව රූපයට “ඉත්ථින්ද්‍රිය” යි ද පුරුෂ භාවරූපයට “පුරුසින්ද්‍රිය” යි ද කියනු ලැබේ. භාවරූප සත්ත්වයනට ඇති වන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තය සමග ම ය. කාගේත් ශරීරය නිර්මිත වී ඇත්තේ සතර මහාභූතයන්ගෙනි. ඒවායේ ස්ත්‍රී - පුරුෂ භේදයක් නැත. මහාභූතයන්ගෙන් ශරීරය හැදෙන කල්හි ස්ත්‍රී භාවරූපය ඇති ශරීරය එහි ආනුභාවයෙන් ස්ත්‍රී ආකාරයෙන් සෑදේ. පුරුෂ භාවරූපය ඇති ශරීරය එහි ආනුභාවයෙන් පුරුෂාකාරයෙන් සෑදේ. භාවරූප ශරීරය සැම තැන ම පැතිර ඇත්තේ ය.

හෘදය වස්තු රූපය

චක්ඛු විඤ්ඤාණාදීන්ට ඇති වීමට ස්ථාන වන්නේ ප්‍ර‍සාදරූප පස ය. පඤ්ච-විඤ්ඤාණයන් හැර ඉතිරි සිත් ඇති වීමට ස්ථානය වන රූපය හෘදය වස්තු රූපය ය. එය පවත්නේ හෘදය කෝෂයේ ඇති ලේවල ය.

ජීවිතින්ද්‍රිය රූපය

තමා හා බැඳී උපදනා රූපයන් පරම්පරා වශයෙන් චිර කාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත්කරවන රූපය ජීවිතින්ද්‍රිය නම් වේ. ශරීරයක කර්මය - චිත්තය - සෘතුවය - ආහාරය යන හේතු සතරකින් හට ගන්නා රූප ඇත්තේ ය. ඒ හේතු සතරෙන් චිත්ත - සෘතු - ආහාර යන හේතු තුන, ඒවායින් උපදවන රූප ළඟ ම ඇත්තේ ය. එබැවින් චිත්තාදි හේතු තුනෙන් හට ගන්නා රූප පාලනය කරන්නට අමුතු දෙයක් වුවමනා නැත. සත්ත්ව සන්තානයේ කර්මජරූප හට ගන්නේ ඒ අවස්ථාවට නැති, අතීතයේ ඇති වී, නැති වී ගිය කර්මයකිනි. එබැවින් කර්මජ රූප පරම්පරාවන්ට චිර කාලයක් පැවැතිය හැකි වීමට ආරක්ෂා කරන තවත් දෙයක් තිබිය යුතු ය. කර්මජ රූප ආරක්ෂා කරන ඒවායේ පරම්පරාව බෝකල් පවත්වන බලය මේ ජිවිතින්ද්‍රිය රූපය ය. ජීවිතින්ද්‍රියේ ආනුභාවයෙන් කර්මජ රූප පරම්පරා වර්ෂ සිය ගණන් දහස් ගණන් මුළුල්ලෙහි නො සිඳී පවත්නේ ය.

ආහාර රූපය

ශරීරයෙහි අමුතු රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන චිර කාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපය ය. ඒ ඕජාව සාමාන්‍යයෙන් සියලු ම වස්තුවල ඇත්තේ ය. එහෙත් සියල්ලෙහිම ඇත්තා වූ ඕජාව සකල සත්ත්වයන්ට ම ගැලපෙන්නේ නොවේ. ඒ ඒ සත්ත්වයන්ගේ ශරීරවලට ගැලපෙන ආහාර ඒ ඒ සත්ත්වයෝ අනුභව කරති. ඒවායේ ඕජාවෙන් ඔවුන්ගේ ශරීර රැකේ.

පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා කියවුණු මේ රූප අටළොස කෙළින් ම කර්මාදි ප්‍ර‍ත්‍යයන් විසින් උපදවන රූපයෝ ය. එබැවින් ඒවාට නිෂ්පන්න රූපය යි කියනු ලැබේ. තව ද ඒවාට ස්වභාව රූප - ස්වලක්ෂණ රූප-රූප රූප යන නම් ද කියනු ලැබේ.