2. මහාභූත රූප සතර

පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය කියා මහාභූත සතරෙකි. මහ පොළොව කඳු මුහුදු ගංගා ආදි වශයෙන් මහත් මහත් ව පහළ වන නිසා ඒවාට මහාභූත යන නම කියනු ලැබේ.

පඨවි ධාතුව

යම් කිසි වස්තුවක් අත ගා බැලුවා ම ඔබා බැලුවා ම දැනෙන තද ගතිය පඨවි ධාතුව ය. සමහර වස්තූන් අත ගා බැලුවා ම ඔබා බැලුවා ම මොළොක් බව දැනෙන්නේ ය. ඒ මොළොක් බවත් අනිකක් නො ව මඳ වූ තද ගතිය ම ය. තදය මොළොක් ය යන මේ වචන කුඩා ය - මහත්ය යන වචන මෙන් එක් දෙයක් නිසා අනිකට කියන නම් ය. කුඩාය කියන දෙය එකට වඩා කුඩා දෙයක් හා සසඳන කල්හි මහත් දෙය වේ. එසේ ම මහත්ය කියන දෙය ද එයට වඩා මහත් දෙයක් හා සසඳන කල්හි කුඩා දෙය වේ. මෙසේ මොළොක්ය කියන දෙය එයට වඩා මොළොක් දෙයක් හා සසඳන කල්හි තද දෙය වේ. තදය කියන දෙය ද එයට වඩා තද දෙයක් හා සසඳන කල්හි මොළොක් දෙය වේ. කරුණු මෙසේ හෙයින් තද ගතිය ය කියන්නේත් මොළොක් ගතිය ය කියන්නේත් එක ම පඨවි ධාතුවට බව දත යුතු ය. අතට දැනෙන්නේ ඉතා සියුම් නො වූ තද ගතිය ය. සමහර දෙයක ඇති ඉතා සියුම් තද ගතිය අතට දැනෙන්නේ ද නැත. ධාතු යන වචනයේ තේරුම සත්ත්ව නො වන ස්වභාවය යනුයි.

ආපෝ ධාතුව

ඇලෙන ගතිය ආපෝ ධාතුව ය. එක් ව ඇති වන රූපයන්හි ඇතුළත පිටත දෙක්හි ම පැතිර සිටීම ආපෝ ධාතුවේ ස්වභාවය ය. තමා හැ ගැටී ඇති දෙය තමා වෙත ඇද ගැනීම, උරා ගැනීම තමාගෙන් ඉවත් වන්නට නො දී අල්ලා ගැනීම ආපෝ ධාතුවේ ස්වභාවය ය. ලොව ඇති වස්තූන් ධූලි මෙන් විසිරී නොගොස්, එකට බැඳී ඝන වී පවත්නේ ආපෝ ධාතුවේ බලයෙනි. පඨවි ධාතුව අධික ව ආපෝ ධාතුව මඳ වී ඇති වස්තු කැටි වී ඝනවී පවතී. ශරීරවල ඇට නහර මස් ආදියත් පස් ගල් යකඩ කොළ පොතු මුල් ලී ආදියත් ආපෝ ධාතුව අඩු පඨවි ධාතුව වැඩි දේවල් ය. පඨවි ධාතුව මඳ වී ආපෝ ධාතුව අධික වුවහොත් දියාරු දෙයක් වැගිරෙන දෙයක් ඇති වේ. තෙල් වතුර ආදිය පඨවි ධාතුව මඳ, ආපෝ ධාතුව අධික දේ ය.

තේජෝ ධාතුව

උණුසුම් බව හා සිසිල් බව තේජෝ ධාතුව ය. එක් ව පවත්නා රූප පැසවීම, මේරවීම තේජෝ ධාතුවෙන් සිදු කරන දෙය ය. ළපටි කාලයේ දී ඒ පැසවීමෙන් රූප මෝරා ශක්තිමත් වේ. වර්ධනය වේ. මේරීම අවසන් වූ පසු නැවත නැවත වන්නා වූ පැසවීමෙන් සත්ත්ව ශරීර හා බාහිර වස්තු දිරා පිරිහී යන්නේ ය. එක ම තේජෝ ධාතුවෙන් ඒ ඒ වස්තුවල දියුණුව ය, පිරිහීමය යන දෙක ම සිදු කරනු ලැබේ. ගින්නෙහි තේජෝ ධාතුව අධික ව ඇත්තේ ය.

වායෝ ධාතුව

පුම්බවන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුව ය. එය අධික වස්තුව, පිම්බීමෙන් මහත් වී බරින් අඩු වී පවතී. වායෝ ධාතුව ඉතා අධික දෙය සුළඟ ය. තල්ලු කරන ස්වභාවය අධික බැවින් එය නිතර සෙලවේ.

මේ ධාතු සතරෙන් එකකටවත් අනික් ධාතු තුනෙන් වෙන් ව ඇති විය නො හැකිය. පැවතිය නො හැකි ය. පඨවි ධාතුව උත්සන්න ව පවතින යකඩයෙහි ද ගලෙහි ද අනික් ධාතු ධාතුව උත්සන්න ගින්නෙහි ද, වායෝ ධාතුව උත්සන්න සුළඟෙහි ද ධාතු සතර ම ඇත්තේ ය.

ප්‍ර‍සාදරූප පස.

චක්ෂුඃ ප්‍ර‍සාදය - ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය - ඝ්‍රාණ ප්‍ර‍සාදය - ජිහ්වා ප්‍ර‍සාදය - කාය ප්‍ර‍සාදය කියා ප්‍ර‍සාදරූප පසෙකි.

දැකීමේ ආශාව - ඇසීමේ ආශාව - හොඳ ගන්ධයන් ආඝ්‍රාණය කිරීමේ ආශාව - හොඳ රසයන් ආස්වාදනය කිරීමේ ආශාව - හොඳ පහස් විඳීමේ ආශාව යන මේ ආශාවල් සත්ත්වයන් කෙරෙහි ඉතා තදින් පවත්නේ ය. සත්ත්වයා හට භවයෙහි ඉපදීමට හේතු වන කර්ම ඒ ආශාවල් හා සම්බන්ධ වී ඇත්තේ ය. එබැවින් සත්ත්වයා භවයෙහි උපදින කල්හි ආශාවල් හා සම්බන්ධකම් ඇති කර්මය ඒ ආශා කරන දේවල් ගැනීමට විඳීමට උපකරණ වන ඉන්ද්‍රියයන් ද ඒ සත්ත්වයා ගේ ශරීරයෙහි උපදවන්නේ ය. ප්‍ර‍සාදරූපය යි කියනුයේ රූපාදිය ගැනීමට උපකාර වන ඒ ඉන්ද්‍රියයන්ට ය. ප්‍ර‍සාද යන වචනයේ තේරුම ඔපය යනු යි. චක්ෂුඃ ප්‍ර‍සාදාදි නම් වලින් කියන්නේ එකිනෙකට වෙනස් වන රූප - ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් ගැනීමට උපකාර වන එකිනෙකට වෙනස් වූ ඔප පසෙකි.

චක්ෂුඃ ප්‍ර‍සාදය

ඇසෙහි පිහිටියා වූ රූප දැකීමට උපකාර වන ඔපය චක්ෂුඃ ප්‍ර‍සාදය ය. එය ඇසෙහි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් පමණ වන, තවත් මතයකින් මුං පියැල්ලෑවක් පමණ වන තැනක සියුම් සිවි තට්ටු හතක පුළුන්වල පැතිර ඇති තෙලක් සේ පිහිටා තිබේ. ඇස ඉදිරියට පැමිණෙන වස්තූන්ගේ ඡායා එතැනට වැටුණා ම එහි චක්ඛුවිඤ්ඤාණ චිත්තය උපදී. පෙනීමය කියනුයේ ඒ චක්ඛුවිඤ්ඤාණය පහළ වීමට ය. චක්ෂුඃ ප්‍ර‍සාදය කියන මේ ඔපය වෙන් කර ගත හැකි අමුතු දෙයක් නොව, මහාභූතයන්ගේම ඔපයෙකි. එය මහාභූතයන්හි ම පිහිටියෙකි. අනික් ප්‍ර‍සාදයෝ ද එසේ ම මහාභූතයන්ගේ ම ඔපයෝ ය.

ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය

ශබ්දය දැන ගැනීමට හෙවත් ඇසීමට උපකාර වන කනෙහි පිහිටි ඔපය ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය ය. එය කන් අඩියේ සියුම් තඹ වන් ලොම් සහිත මුද්දකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ශබ්දයේ ඡායාව එහි වැදුණු කල්හි එහි ම සෝත විඤ්ඤාණය උපදී. ඇසීම යයි කියනුයේ සෝත විඤ්ඤාණය ඉපදීමට ය. ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය අමුතු ආකාරයක ඔපයක් වන බැවින් ශබ්ද ඡායාව මිස රූප ඡායාව එහි පිළිබිඹු නො වේ.

ඝ්‍රාණ ප්‍ර‍සාදය

සුගඳ - දුගඳ දැනගැනීමට උපකාර වන නාසයෙහි පිහිටි ඔපය ඝ්‍රාණ ප්‍ර‍සාදය ය. එය නාසය ඇතුළෙහි එළු කුරයකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ගන්ධය දැනගන්නා වූ ඝාන විඤ්ඤාණය එහි උපදී.

ජිහ්වා ප්‍ර‍සාදය‍

ආහාර පානාදියේ රසය දැන ගැනීමට උපකාර වන දිවෙහි පිහිටි ඔපය ජිහ්වා ප්‍ර‍සාදය ය. එය දිව මතුයෙහි මානෙල් මල් පෙත්තක අග කොටසට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ආහාර පානාදිය එහි ගැටුණු කල්හි රසය දැන ගන්නා වූ ජිව්හා විඤ්ඤාණය එහි උපදී.

කාය ප්‍ර‍සාදය

ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් දැන ගැනීමට උපකාර වන කයෙහි පැතිර පිහිටි ඔපය කාය ප්‍ර‍සාදය ය. එය පාචකාග්නිය පිහිටි ප්‍රදේශයත් කෙස් ලොම් නිය වියළි සම් හැර, සකල ශරීරයේ ම පැතිර ඇත්තේ ය. ඒ ඒ දේවල් කයෙහි සැපීම දැනගන්නා වූ කාය විඤ්ඤාණය ඒ ඔපය ඇසුරු කර ගෙන සැපුණු සැපුණු තැන්වල උපදී. ශරීරය ඇතුළත වේදනා හට ගන්නේ ශරීරය තුළ ඇති දේවල් ම එකිනෙකට ගැටීමෙනි.