1. රූප විසි අට

පඨවි ධාතුව - ආපෝ ධාතුව - තේජෝ ධාතුව - වායෝ ධාතුව යන භූතරූප සතර ය, චක්ෂුඃ ප්‍ර‍සාදය - ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය - ඝ්‍රාණ ප්‍ර‍සාදය - ජිහ්වා ප්‍ර‍සාදය - කාය ප්‍ර‍සාදය යන ප්‍ර‍සාදරූප පස ය, රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්ප්‍ර‍ෂ්ටව්‍යය යන ගෝචරරූප පසය, ස්ත්‍රී භාව රූපය - පුරුෂ භාව රූපය යන භාව රූප දෙකය, හෘදය රූපය ය, ජීවිත රූපය ය, ආහාර රූපය ය කියා නිෂ්පන්න රූප අටළොසකි.

ආකාශ ධාතුව ය, කාය විඤ්ඤත්තිය - වචී විඤ්ඤත්තිය - ලහුතාව - මුදුතාව - කම්මඤ්ඤතාව යන විකාර රූප පසය, උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන ලක්ෂණ රූප සතරය කියා අනිෂ්පන්න රූප දශයෙකි.

නිෂ්පන්න රූප අටළොසය, අනිෂ්පන්න රූප දසය ය යි රූප විසි අටෙකි.

(මේ රූප විසි අට කට පාඩම් කර ගන්න.)

ස්ප්‍ර‍ෂ්ටව්‍යය කියා අමුතු රූපයක් නැත්තේ ය. ගෝචර රූප කියන තැන ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන නමින් කියැවෙන්නේ පඨවි - තේජෝ - වායෝ යන භූත රූප තුන ය. එබැවින් නිෂ්පන්න රූප අටළොස ගණන් ගැනීමේදී ස්ප්‍ර‍ෂ්ටව්‍යය අත් හැර ගණන් ගත යුතු ය. එසේ නො කළ හොත් නිෂ්පන්න රූප දහනවයකට ගැනෙනවා ඇත.

රූපවලින් ප්‍ර‍ධාන වන්නේ භූත රූප සතර ය. ඉතිරි රූප විසි හතර භූත රූප නිසා ඇති වන ඒවා ය. එබැවින් ඒවාට උපාදාය රූප නාමය කියනු ලැබේ. භූතරූප සතරය, උපාදාය රූප විසි හතරය කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ.