11. නිර්‍වාණය

star_outline

සැම කල්හි ඇත්තා වූ, දිරීමක් නැත්තා වූ, බිඳීමක් නැත්තා වූ, ලෝකෝත්තර මාර්ග ඥානයෙන් ම ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැකිය යුතු වූ ලෝකෝත්තර වූ පරම සුඛ ස්වභාවය නිර්‍වාණ නම් වේ.

සැපය වනාහි වේදයිත සුඛය - විමුක්ති සුඛය කියා දෙපරිදි වේ. චක්ෂුරාදි ඉන්ද්‍රියයන් කරණකොට ගෙන විඳින්නා වූ සැපය වේදයිත සුඛ නම් වේ. හොඳ දේවල් හොඳ පුද්ගලයන් දැකීමෙන් ද, හොඳ ශබ්ද ඇසීමෙන් ද, හොඳ ගන්ධ ආඝ්‍රාණය කිරීමෙන් ද, හොඳ රසයන් වැළඳීමෙන් ද, ඇඟට හොඳ දේවල් ඇඟේ සැපීමෙන් ද, යාන වාහන ගෙවල් වතු කුඹුරු වස්ත්‍රාභරණ මිළ මුදල් ආදි කාම වස්තූන් ලැබීමෙන් ද, තනතුරු ගරු බුහුමන් ලැබීමෙන් ද, තවත් කැමති වන දේවල් ලැබීමෙන් ද සිතට - කයට ඇති වන සැප සියල්ල ම වේදයිත සුඛයෝ ය.

පැමිණ ඇත්තා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් කරදරවලින් විපත්වලින් මිදීම විමුක්ති සුඛය ය. නිවන් සුඛය වේදයිත සුඛයක් නො වේ. එය විමුක්ති සුඛයෙකි. පැමිණියා වූ ඇතැම් දුක්වලින් මිදීම සඳහා මනුෂ්‍යයන් බොහෝ වෙහෙසෙන්නේ, බොහෝ ධනය වියදම් කරන්නේ, මුදල් නැති කල්හි ඉඩ-කඩම් පවා විකුණා වියදම් කරන්නේ, වාසය කරන ගෙය පවා උකස් කොට මුදල් ගෙන වියදම් කරන්නේ ඒ දුකින් මිදීම වූ විමුක්ති සුඛය ඉතා හොඳ දෙයක් - වටිනා දෙයක් නිසා ය. විමුක්ති සුඛය පලක් නැති නො වටිනා දෙයක් නම්, මනුෂ්‍යයෝ එය සඳහා වියදම් නො කරන්නා හ. බලවත් දුකකින් පෙළෙන්නහුට කොතෙක් ධනය ඇතත් - නෑ මිතුරන් ඇතත් සුවයක් නොලැබිය හැකි ය. ධනාදියෙන් ලබන වේදයිත සුඛයන් විඳිය හැකිවීමටත් විමුක්ති සුඛය තිබිය යුතුම ය. එබැවින් විමුක්ති සුඛය ලෝකයේ උසස් සුඛය බව කිය යුතුය.

සසර සැරිසරන්නා වූ මේ සත්ත්වයනට නැවත නැවත ඉපදීමේ දුක ද ඇත්තේ ය. උපන් පසු දිරීමේ දුක ද ඇත්තේ ය. මැරීමේ දුක ද ඇත්තේ ය. ආහාර පානාදිය සැපයීමේ දුක ද ඇත්තේ ය. සතුරන්ගෙන් ආරක්ෂා වීමේ දුක ද ඇත්තේය. වරින් වර නොයෙක් රෝග හට ගැනීමේ දුක ද ඇත්තේ ය. සොර සතුරු ආදීන් ගෙන් විටින් විට වන බොහෝ දුක් ද ඇත්තේ ය. ස්වභාව ධර්මයෙන් ම වන දුක් ද ඇත්තේ ය. පව්කම් කොට තිරිසන් බවට ප්‍රේත බවට පැමිණෙන්නට වීමේ දුක් ද ඇත්තේ ය. සඤ්ජීව කාලසූත්‍රාදි නරකයන්ට පැමිණෙන්නට වීමේ දුක් ද ඇත්තේ ය. නිවනට නො පැමිණිය හොත් එක් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට ඇත්තා වූ දුඃඛස්කන්ධය ඉතා මහත් ය. ප්‍ර‍මාණ කළ නො හෙන තරමට ජාති ජරා මරණාදි දුක් එයට ඇතුළත් ය. නිවනට පැමිණීමෙන් ඒ සියල්ලෙන් ම මිදෙන්නේ ය. නිවන ඒ සියල්ලෙන් ම මිදීම වූ මහා විමුක්ති සුඛය ය.

නිවනට පැමිණෙන පුද්ගලයාට නිවී යන දුඃඛස්කන්ධය අනුව කියත හොත් නිවන ඉතා මහත් බව කිය යුතුය. එහෙත් එය පරම සූක්ෂ්ම දෙයකි. එබැවින් එය සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් වෙන් ව කාමයන්හි ඇලී ගැලී වෙසෙන ජනයා විසින් නො දැකිය හැකිය. එය දැකිය හැකි වන්නේ සම්‍යක් ප්‍ර‍තිපත්තියෙහි පිහිටා, භාවනාවෙහි යෙදී, සිත පිරිසිදු කොට ලෝකෝත්තර ඥානය ලබා ගත් අයට ය. ලෝකෝත්තර ඥානයට මිස ලෞකික ඥානයට එය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් පෙනෙන්නේ නො වේ. සාමාන්‍ය ජනයාට කළ හැක්කේ නිවන් දුටු ආර්‍ය්‍යයන්ගේ කීම් අනුව නිවනය කියා හොඳ දෙයක් ඇති බව අනුමානයෙන් සිතා ගැනීම පමණෙකි.

නිවන ළඟම ඇතියකි. එය වැසී තිබෙන්නේ පඤ්චස්කන්ධයෙනි. නැවත නැවත පඤ්චස්කන්ධයන් ලැබීම නැවතුන හොත් නිවන ලැබුණේ වේ. නැවත නැවත ඉපදීම් වශයෙන් නැවත නැවත පඤ්චස්කන්ධයන් ලැබෙන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය.

කලට වැසි නො ලබන ආහාර පාන දුර්ලභ, රෝග බහුල, මැසි මදුරුවන් බහුල, සර්පයන් බහුල, මනා පාලනයක් නැති බැවින් සොර සතුරන් බහුල පෙදෙසක මහ සටනක් කරමින් ඉතා අමාරුවෙන් ජීවත් වූවකුට හොඳ දේශගුණය ඇති, හොඳ වාසස්ථාන ඇති, ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන සුලභ, ලෙඩදුක් අඩු, සොර සතුරු බිය නැති, යහපත් පෙදෙසකට පැමිණ වාසය කරන්නට ලැබුණ හොත්, ඔහුට පළමු විසූ පෙදෙස හොඳය කියා තුබූ සම්මෝහයත් ඒ පෙදෙස ගැන පැවති ආලයත් දුරු වන්නේ ය. ක්ලේශප්‍ර‍හාණය යි කියනුයේ ඒ දුරු වීමට ය. නැවත නැවත උත්පත්තියට හේතු වන අවිද්‍යාවත් තණ්හාවත් දුරු වීමෙන් පසු ඒ පුද්ගලයා නැවත නූපදින්නේ ය. නිවන වසා ගෙන සිටින පඤ්චස්කන්ධය ඉන් පසු ඔහුට නැති බැවින් ඔහු නිවන් සුවයට හිමියෙක් වේ.

නිර්වාණයේ ප්‍රභේද

හට ගැනීමක් ඇති, බිඳීමක් ඇති, පවත්නා ස්ථාන ඇති, හැඩහුරු කම් ඇති සංස්කාරයන්; එකිනෙක වෙන් වශයෙන් ඇති බැවින් ඒවායේ බොහෝ ප්‍රභේද ඇත්තේ ය. හට ගැනීමක් නැති, බිඳීමක් නැති, පවත්නා තැනක් නැති, හැඩහුරු කමක් නැති, මේ නිවනය කියා දැක්වීමට - සිතා ගැනීමට කිසිම ලකුණක් නැති නිවනෙහි, එබඳු ප්‍රභේද නො තිබිය හැකි ය. අතීතයෙහි විසූ බුදු - පසේ බුදු - රහතුන් විසින් ලැබූ නිවනත්, අනාගතයෙහි ලොව පහළ වන බුදු පසේබුදුවරයන් විසින් බුද්ධශ්‍රාවකයන් විසින් පැමිණෙනු ලබන නිවනත් ශාන්ත ලක්ෂණයෙන් - නිවීම් ස්වභාවයෙන් එක ම ධර්මයෙකි. මෙය කියා දැක්විය හැකි - සිතා ගත හැකි යයි කිසි ලකුණක් නැත්තා වූ ඒ නිර්වාණ ධාතුව, දැක්විය හැක්කේ සිතා ගත හැක්කේ නිවී යන්නා වූ ස්කන්ධයන් අනුව ය. නිවී යන්නා වූ ස්කන්ධ ඒ නිවන දෙකක් කොට දැක්වීමට කරුණු වන බැවින් ඒ කාරණය අනුව, සෝපාදිශේෂ නිර්වාණ ධාතුවය - අනුපදිශේෂ නිර්වාණ ධාතුවය කියා නිර්වාණය දෙයාකාර වන බව දේශනය කොට තිබේ.

උපදි යනු තෘෂ්ණා දෘෂ්ටීන් විසින් මම ය මාගේ යයි අල්ලා ගන්නා ස්කන්ධයන්ට නමෙකි. ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නිවන ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දැකීමෙන් කෙලෙස් හා අනාගත ස්කන්ධ නිවී ගියා වූ, වර්තමාන පඤ්චස්කන්ධය පමණක් ඉතිරි ව ඇති තැනැත්තාගේ නිවන, උපදි නම් වූ ස්කන්ධ ශේෂ ව ඇති බැවින් සෝපදිශේෂ නිර්වාණ ධාතු නම් වේ.

සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට වර්තමාන පඤ්චස්කන්ධය පමණක් ඇති ව සිටි පුද්ගලයා විසින් පිරිනිවීමෙන් පසු ලබන නිර්‍වාණ ධාතුව ඔහුට උපදි සඞ්ඛ්‍යාත ස්කන්ධ ශේෂ ව නැති බැවින් අනුපදිශේෂ නිර්‍වාණ ධාතු නම් වේ.

සුඤ්ඤතය - අනිමිත්තය - අප්පණිහිතය කියා ආකාර භේදයෙන් නිර්‍වාණය ත්‍රිවිධ වේ.

රාගාදි කෙලෙසුන් ඇති කල්හි නොයෙක් පව්කම් කරන්නට සිදු වීමේ පළිබෝධය ද, පව්කම් කොට අපාගත වන්නට වීමේ පළිබෝධය ද, නුවණැතියන්ට පව්කම් වලින් වැළකී ආරක්ෂා වීමේ පළිබෝධය ද. කෙලෙස් මැඩ පැවැත්වීමට, කෙලෙස් ප්‍ර‍හාණය කිරීමට බොහෝ දුක් ගන්නට වීමේ පළිබෝධය ද ඇත්තේ ය. කෙලෙස් නිරෝධයෙන් ඒ පලිබෝධ සියල්ල ම නැති වන්නේ ය. කෙලෙසුන්ගේ හා ස්කන්ධයන් ගේ නිරෝධය වූ නිවන ඒ සියලු පළිබෝධයන් දුරු කරන - පළිබෝධයන් නැති තැන වන බැවින් සුඤ්ඤත නම් වේ. සුඤ්ඤත යන්නෙහි තේරුම කෙලෙස් නිසා වන පළිබෝධයන් නැති තැන ය යනු යි.

ඉපදීමක් ඇත්තා වූ, පරම්පරා වශයෙන් පැවැත්ම ඇත්තා වූ, බිඳීම ඇත්තා වූ, සංස්කාරයන් කෙරෙහි මේ එකකි, මේ අනිකකි, මෙය හොඳ ය, මෙය නරකය යනාදීන් එකිනෙක වෙන් කර ගැනීමට උපකාර වන ආකාර විශේෂයක් ඇත්තේ ය. එයට “නිමිත්තය” යි කියනු ලැබේ. නිමිති ඇත්තා වූ ඒ සංස්කාරයෝ රාගාදි කෙලෙසුන්ට ද, ජරා මරණාදි අනේකප්‍ර‍කාර දුඃඛයන්ට ද වස්තු වෙති. දුකය කියා යමක් ඇති නම් ඒ සියල්ල ම ඇත්තේ නිමිති සහිත ධර්‍මයන්හි ය.

මේ ලොව්තුරා බුදුවරයන්ගේ නිවනය, මේ පසේබුදුවරයන්ගේ නිවනය, මේ බුද්ධශ්‍රාවකයන්ගේ නිවනය, මේ මිනිසුන්ගේ නිවනය, මේ දෙවියන්ගේ නිවනය, මේ බ්‍ර‍හ්මයන්ගේ නිවනය, මේ අසවල් කල්පයේ බුදුවරුන්ගේ නිවනය යනාදීන් එකිනෙක වෙන් කිරීමට කරුණු වන නිමිත්තක් නිවනෙහි නැත්තේ ය. එය හැම කල්හි ම එක් ධර්‍මයක් වශයෙන් ම පවත්නේ ය. කෙලෙසුන්ට ස්ථාන වන නිමිති නැති බැවින් නිර්‍වාණ ධාතුව අනිමිත්ත නම් වේ.

“පණිහිත” යනු ආශාවට නමෙකි. නැති වීම සංස්කාරයන්ගේ ස්වභාවය ය. කොතෙක් ලබා ගත්තක් ලබන ලබන සංස්කාර නැති වී යන බැවින් සත්ත්වයා හට නැවත නැවත ලබා ගැනීමේ ආශාව ඇති වන්නේ ය. සංස්කාරයෝ නැවත නැවත ලැබීමේ ආශාව ඇති කරන්නෝ ය. ඒ ආශාව සකල දුඃඛයන්ට ම මුල ය. ආශා දුඃඛය ඇති කරන සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය වන නිර්‍වාණ ධාතුව දිරීමක් බිඳීමක් නැතිව, සැම කල්හි ම පවත්නා ධර්‍මයක් වන බැවින් නැවත නැවත ලැබීමේ ආශාව ඇති කරන්නක් නො වේ. ඒ ආශාව නිවනෙහි නැත. එබැවින් නිර්‍වාණ ධාතුව අප්පණිහිත නම් වේ.

සුඤ්ඤත - අනිමිත්ත - අප්පණිහිත යන මේවා ඒ ඒ ගුණ නිමිත්ත කොට නිවනට කියන නාමයෝ ය. නිවනට කියන තවත් බොහෝ නම් ඇත්තේ ය. ඒ නාමයන් අතුරෙන් අතිප්‍ර‍සිද්ධ නාමය නිබ්බාන (නිර්‍වාණ) යන්න ය. එහි තේරුම තණ්හාවෙන් බැහැර වූ ධර්‍මය යනු යි. නිවන තණ්හාවට අසුවන්නේ නැත. නිවනෙහි ද තණ්හාව නැත. මේ නිර්‍වාණ විභාගය ය.

මෙතෙකින් චිත්තය - චෛතසිකය - රූපය - නිර්‍වාණය යන පරමාර්ථ ධර්‍ම සතර ම එක්තරා ප්‍ර‍මාණයකින් විස්තර කරන ලද්දේ ය.

මෙතෙකින් රූපය හා නිර්‍වාණය විස්තර කළ

ෂෂ්ඨ පරිච්ඡේදය නිමියේ ය.