3. ආරම්මණ භේදය

star_outline

අතිමහන්තාරම්මණය, මහන්තාරම්මණය, පරිත්තාරම්මණය, අතිපරිත්තාරම්මණය” යි පඤ්චද්වාරයට ගොදුරු වන අරමුණු සතර ආකාර වේ. විභූතාරම්මණය, අවිභූතාරම්මණය කියා මනෝද්වාරයට ගොදුරු වන අරමුණු දෙකොටසකි. මෙසේ ෂට් ද්වාරයට ගොදුරු වන අරමුණු සයාකාර වේ.

විශාලත්වය නිසා හෝ ආලෝකය හොඳින් ඇති බව නිසා හෝ සමීපයෙහි තිබීම නිසා හෝ ඉතා ම ප්‍ර‍කට අරමුණ අතිමහන්ත නම් වේ. අතිමහන්තාරම්මණය තරමට ප්‍ර‍කට නැති අරමුණ මහන්ත නම් වේ. මහන්තාරම්මණය තරමට ප්‍ර‍කට නැති අරමුණ පරිත්ත නම් වේ. අප්‍ර‍කට අරමුණ අතිපරිත්ත නම් වේ.

රූපය එහි උත්පාදක්ෂණයේ දී ද්වාරයන්හි නො ගැටෙන්නේ ය. ද්වාරයන්හි ගැටෙන්නේ ස්ථිතියට පැමිණි රූපය ය. ඉපිද එක් චිත්තක්ෂණයක් (කුඩා ක්ෂණ තුනක්) ඉක්ම දෙවන චිත්තක්ෂණයෙහි ද්වාරයන්හි ගැටෙන අරමුණ අතිමහන්තාරම්මණය ය. චිත්තක්ෂණ දෙක තුනක් ම ඉක්ම ද්වාරයන්හි ගැටෙන අරමුණ මහන්ත නම් වේ. චිත්තක්ෂණ සතර පහ සය සත අට නවය ඉක්ම ද්වාරයෙහි ගැටෙන අරමුණු පරිත්ත නම් වේ. චිත්තක්ෂණ දශයේ පටන් පසළොස දක්වා ඉක්ම ද්වාරයෙහි ගැටෙන ආරම්මණය අතිපරිත්ත නම් වේ.

අතිමහන්තාරම්මණයෙහි වීථි සිත් බොහෝ ගණනක් උපදී. මහන්තාරම්මණයෙහි එයට අඩු ගණනක් ද පරිත්තාරම්මණයෙහි ඊට අඩු ගණනක් ද, වීථි සිත් උපදී. අතිපරිත්තාරම්මණයෙහි භවාඞ්ග චලනය පමණක් වේ. වීථි සිත් නූපදී.

වීථි

වීථි වනාහි පඤ්චද්වාර වීථි - මනෝද්වාර වීථි වශයෙන් දෙකොටසක් වෙයි. පඤ්චද්වාර වීථීහු ද, චක්ෂුර්ද්වාර වීථි - ශ්‍රෝත්‍ර‍ද්වාර වීථි - ඝ්‍රාණද්වාර වීථි - ජිහ්වාද්වාර වීථි - කායද්වාර වීථි යි පස් කොටසක් වෙති. චක්ෂුර්ද්වාර වීථීහු ද, අතිමහන්තාරම්මණ වීථි - මහන්තාරම්මණ වීථි - පරිත්තාරම්මණ වීථි - අතිපරිත්තාරම්මණ වීථි යි සතර කොටසක් වෙති. චක්ෂුර්ද්වාරයෙහි අතිමහන්තාරම්මණ වීථි එකකි. මහන්තාරම්මණ වීථි දෙකකි. පරිත්තාරම්මණ වීථි සයකි. අතිපරිත්තාරම්මණ වීථි සයෙකි. සියල්ල පසළොසෙකි. ශ්‍රෝත්‍ර‍ - ඝ්‍රාණ - ජිහ්වා - කායද්වාර වීථිහු ද, එසේ ම පසළොස බැගින් වෙති. පඤ්චද්වාර වීථි සියල්ල පන් සැත්තෑවෙකි.

මූල චිත්තය.

සත්ත්වයාට මරණාසන්නයේ දී ඔහු කළ කර්මයක් හෝ සිහි වෙයි. කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙයි. මරණාසන්නයේ දී සිතට වැටහුණු දෙය අරමුණු කොට දෙවන ජාතියේ පළමු වන සිත පහළ වේ. එයට “ප්‍ර‍තිසන්ධි චිත්තය” යි කියනු ලැබේ. ස්වභාව ධර්මය පරිදි ඒ ප්‍ර‍තිසන්ධි චිත්තය නිරුද්ධ වූ පසුත් ඒ සන්තානයේ මරණාසන්න චිත්තයට අරමුණු වූ දෙය අරමුණු කරන ප්‍ර‍තිසන්ධි චිත්තයට සමාන සිතක් මරණය තෙක් ම නැවත නැවත ඇති වේ. සිත් පරම්පරාව නො සිඳී සත්ත්වයා ජීවත් වන්නේ ඒ සිත් පරම්පරාව නිසා ය. භවයාගේ පැවැත්මට කාරණය වන බැවින් ඒ සිත්වලට ‘භවාඞ්ග සිත්ය යි කියනු ලැබේ. භවාඞ්ග චිත්තය අන් සිතක් නැති සෑම වේලේ ම සත්ත්වයන් කෙරෙහි ඇති වන නමුත් එබඳු සිතක් ඇති වන බව අපට නොදැනේ. ඒ භවාඞ්ග චිත්තය සත්ත්වයාගේ මූල චිත්තය ය. අලුත් අලුත් අරමුණු ගන්නා වීථි පහළ වන්නේ භවාඞ්ග සිත් පරම්පරාවේ අගිනි.