4. චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථිය

star_outline

ඉපද එක් චිත්තක්ෂණයක් ගත වූ රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටුණ හොත්, එකෙණෙහි ම එය හෘදය වස්තුවෙහි පවත්නා භවාඞ්ග චිත්තයෙහි ද ගැටේ. එයින් භවාඞ්ග චිත්තයෙහි යම් කිසි අමුත්තක් සිදු වේ.

එය සෙලවීමක් වැනි ය. එබැවින් එයට “භවාඞ්ග සෙලවීමය” යි කියනු ලැබේ. ඒ භවාඞ්ග චිත්තය නිරුද්ධ වීමෙන් පසු එයට අනතුරු ව ඇති වන භවාඞ්ග චිත්තය ද, රූපාරම්මණයාගේ ගැටීම ලබමින් සෙලවෙන්නා වූ ආකාරයෙන් ම ඉපිද නිරුද්ධ වේ. ඉන් පසු භවාඞ්ග සිත් ඇති වීම නැවතී, ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පඤ්චද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරු ව ඒ රූපය දක්නා චක්ෂුර් විඥානය ඉපිද නිරුද්ධ වේ. අනතුරු ව ඒ රූපාරම්මණය පිළිගන්නා සම්පටිච්ඡන චිත්තය ද, රූපාරම්මණයේ සැටි විමසන සන්තීරණ චිත්තය ද, රූපාරම්මණයේ සැටි විනිශ්චය කරන්නා වූ ව්‍යවස්ථාපන චිත්තය ද, පිළිවෙළින් ඉපිද නිරුද්ධ වේ.

එයට අනතුරු ව ඒ රූපාරම්මණය ව්‍යවස්ථාපන චිත්තයෙන් විනිශ්චය කර ගත් පරිදි අරමුණු කරමින් එකුන් තිස් කාම ජවනයන් අතුරෙන් යම් කිසි එක් සිතක් පිළිවෙළින් සත් වරක් ජවන කෘත්‍යයෙන් ඉපද නිරුද්ධ වේ. අනතුරු ව එකොළොස් තදාලම්බන චිත්තයන් අතුරෙන් යම් කිසි එක් සිතක් ජවන චිත්තයෙන් ගත් පරිදි ම ඒ රූපාරම්මණය අරමුණු කරමින් දෙවරක් ඉපද නිරුද්ධ වේ. දෙවන තදාරම්මණ චිත්තය නිරුද්ධ වන කල්හි චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු රූපාරම්මණය ද චිත්තක්ෂණ සතළොස වූ ආයුෂය ගෙවී යෑමෙන් නිරුද්ධ වේ. ඉන් පසු සිරිත් පරිදි නැවත භවාඞ්ග සිත් ඇතිවන්නට පටන් ගනී. පඤ්චද්වාරාවජ්ජන චිත්තයෙහි පටන් දෙවන තදාරම්මණ චිත්තය දක්වා පිළිවෙළින් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු රූපය අරමුණු කොට උපන්නා වූ සිත් දාහතර චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථිය ය.

පඤ්චද්වාර වීථි හා වර්තමාන රූපයන් අරමුණු කොට උපදනා මනෝද්වාර වීථීන් ද දැක්වීමේ දී ඒ රූපයන් උපන් තැන පටන් ඇති වූ සිත් පිළිවෙළ දැක්විය යුතු ය. කියන ලද අතිමහන්තාරම්මණ වීථිය ඇති වන්නේ ඉපිද එක් චිත්තක්ෂණ කාලයක් ඉක්ම ගිය රූපය ප්‍ර‍සාදයේ ගැටීමෙනි. රූපාරම්මණය ඉපද ප්‍ර‍සාදයෙහි ගැටීමට මත්තෙන් ඉකුත් වූ සුළු කාලයේ දී මේ වීථිය ඇති වූ පුද්ගලයා ගේ සන්තානයෙහි භවාඞ්ග චිත්තයක් ඇති විය. එහෙත් එහි කියන ලද රූපාරම්මණය නො ගැටිණ. රූපාරම්මණයේ ගැටීම නො ලබා ඉක්ම ගිය ඒ භවාඞ්ග චිත්තය අතීත භවාඞ්ග යන නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාරම්මණය ගැටීම නිසා සෙලවෙන්නාක් මෙන් ඇති වූ භවාඞ්ග චිත්තය භවාඞ්ග චලන යන නාමයෙන් හඳුන්වනු ලැබේ. එයට අනතුරු ව රූපාරම්මණයා ගේ ගැටීම ලබමින් උපදනා භවාඞ්ග චිත්තයෙන් භවාඞ්ග පරම්පරාව සිඳී යන බැවින් ඒ සිතට භවාඞ්ගුපච්ඡේදය යි නම් කර තිබේ. ඒවා ද සමග වීථිය කිය යුත්තේ මෙසේ ය. ඔබට වීථිය ඉගෙනීම පහසු වනු පිණිස මෙය කට පාඩම් කර ගන්න.

අතීත භවඞ්ගය, භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛු විඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය, වොත්ථපනය, ජවන සතය, තදාරම්මණ දෙකය යන මේ සිත් පිළිවෙළ චක්ෂුර්ද්වාරික අතිමහන්තාරම්මණ වීථි නම් වේ.