2. පරමාර්ථ ධර්මයන්ගේ ආයුෂ

චිත්තවීථි උගන්නා තැනැත්තා විසින් මුලින් ම කළ යුත්තේ, සිත්වල හා රූපවල ආයුෂය දැන ගැනීම ය. උපදනා කාලය ය, පවත්නා කාලය ය, නැසෙන කාලය ය කියා සිත්වලට හා රූපවලට අවස්ථා තුනක් ඇත්තේ ය. ඉතා කෙටි බැවින් ඒ කාලවලට ක්ෂණ යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. උපදනා කාලයට උත්පාදක්ෂණය කියා ද, පවත්නා කාලයට ස්ථිතික්ෂණය කියා ද, නැසෙන කාලයට භඞ්ගක්ෂණය කියා ද ව්‍යවහාර කරනු ලැබේ. සිතට අයත් උත්පාද - ස්ථිති - භඞ්ග යන කාල තුන එකතු කොට එයට චිත්තක්ෂණය යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චිත්තක්ෂණය යන්නෙහි තේරුම, සිතක කාලය යනු යි. සිත යම් පමණ කාලයකින් උපදී නම් එපමණ ම කාලයක් පැවතී, එපමණ ම කාලයකින් නිරුද්ධ වේ. ඒ කාල තුනෙහි ප්‍ර‍මාණයන් එකිනෙකට අඩු වැඩි කමක් නැත්තේ ය. ඒ චිත්තක්ෂණය ඉතා කෙටි කාලයෙකි. එය ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණවත් නොවන කාලයෙකි. මෙය තේරුම් ගැනීමට ඔබට කලක් ගතවිය හැකි ය.

රූපයකට චිත්තක්ෂණ දාහතක් ආයු ඇත්තේ ය. එය කුඩා ක්ෂණ පනස් එකකි. එහි පළමු වන ක්ෂණය රූපයේ උත්පාදක්ෂණය ය. පනස් එක් වන ක්ෂණය රූපයේ භඞ්ගක්ෂණය ය. මැද ක්ෂණ සතළිස් නවය රූපයාගේ ස්ථිතික්ෂණය ය. සිතෙහි මෙන් රූපයාගේ උත්පාදාදි ක්ෂණ තුන සමාන නැත. රූපයාගේ ස්ථිතික්ෂණය දිග ය. චිත්තක්ෂණ සතළොසක් ආයුෂ නැති රූප කීපයක් ද ඇත්තේ ය. ඒවා අප්‍ර‍ධාන රූපයෝ ය.

මාස ගණන් - අවුරුදු ගණන් පවත්වා වස්තූන් අප ඉදිරියේ පිරී ඇති බව දක්නා ඔබට, “රූපයක ආයුෂ චිත්තක්ෂණ සතළොසකැයි” කීම පිළිගත නො හෙන කරුණක් විය හැකිය. එය තේරුම් ගත හැකි වනු පිණිස රූප ගැන විස්තරයක් කරනු ලැබේ.

දුර සිට බලන කල්හි අපට එක් දෙයක් සේ පෙනෙන වැලි ගොඩක් එක් දෙයක් නොව, වැලි කැට සමූහයකි. අපට එක් එක් දෙයක් සේ පෙනෙන වස්තු සියල්ලම වැලි ගොඩ සේ ම කුඩා වස්තු සමූහයෝ ය. ඉතා කුඩා දෙය සැටියට සැලකෙන අබ ඇටය වුව ද එක් දෙයක් නොව කුඩා ද්‍ර‍ව්‍ය සමූහයකි. අපට පෙනෙන සියලු ම වස්තූන් සෑදී තිබෙන්නේ රූප කලාපවලිනි. රූප කලාපය ඔබට රූප පරිච්ඡේදයේ දී දත හැකි වනු ඇත. රූප කලාපය සියලු ම වස්තූන්ගේ මූලය ය. එය දික් කලක් පවත්නා දෙයක් නොවේ. එහි පරමායුෂය චිත්තක්ෂණ දාහතය. ඇසිපිය හෙළන්නට ගත වන කාලය එකිනෙකට පසු ව රූප කලාප දහස් ගණනක් ඉපිද බිඳී යෑමට ප්‍ර‍මාණවත් ය. අබ ඇටයක් පමණ වස්තුවක රුප කලාප කෝටි ගණනක් ඇත්තේ ය. අබ ඇටය එක් දෙයක් නොව, රූප කලාප කෝටි ගණනක සමූහයක් බව දත යුතු ය. අපට පෙනෙන වස්තූන්හි ඇති රූප කලාප චිත්තක්ෂණ සතළොසකින් නැති වී යන නමුත් ඒ වස්තුවල අමුත්තක් නොපෙනෙන්නේ කරුණු දෙකක් නිසාය. එනම්: එක වස්තුවක රූප කලාප සියල්ල ම එකවර නො බිඳීම එක් කරුණකි. බිඳෙන රූප කලාප වෙනුවට ඒ ඒ තැන්වල ම අලුත් රූප කලාප පහළ වීම එක් කරුණකි.

අබ ඇටයක් පමණ වස්තුවක ද, රූපයක සම්පූර්ණ ආයුෂය වූ කුඩා ක්ෂණ එක් පනසින් දෙවන ක්ෂණයට පැමිණි රූප කලාප ලක්ෂණ ගණනක් ඇත්තේ ය. එසේ ම තුන්වන ක්ෂණයට පැමිණි රූප කලාප ද ලක්ෂ ගණනක් ඇත්තේ ය. එසේ ම පනස් වන ක්ෂණය දක්වා ඇති සියලු ම ක්ෂණවලට පැමිණ ඇති රූප කලාප ලක්ෂ ගණන් ඇත්තේ ය. සෑම රූප කලාපයක් ම බිඳෙන්නේ පනස් එක් වන ක්ෂණයේ දී ය. පනස් එක් වන ක්ෂණයට පැමිණ රූප බිඳෙන විට දෙවන ක්ෂණයේ පටන් සතළිස් නව වැනි ක්ෂණය දක්වා ඇති ක්ෂණවලට පැමිණ ඇති රූප කලාප සියල්ල ම ඉතිරි වී ඇත්තේ ය. එබැවින් චිත්තක්ෂණ සතළොසකින් රූප බිඳි බිඳී යාම නිසා වස්තුවල අපට පෙනෙන වෙනසක් ඇති නො වේ. මේ කාරණය හොඳින් තේරුම් ගත යුතු ය.

එක වස්තුවක ඇති වයසින් නොයෙක් ප්‍ර‍මාණ වන රූප සියල්ල ම ගැන එකවර චිත්ත වීථි ඇති වන්නේ නො වේ. චිත්ත වීථි ඇති වන්නේ එක වස්තුවක ඇත්තා වූ වයසින් සමාන වූ රූපසමූහයක් අරමුණු කර ගෙන ය.