1. චිත්ත වීථි

ඇසට හමුවන දෙය හරියට දැන ගැනීම ය, කනට එන ශබ්දයන් හරියට දැන ගැනීම ය, නාසයට - දිවට - කයට පැමිණෙන ගන්ධයන් - රසයන් - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් හරියට දැන ගැනීම ය, තමා විසින් වචනයක් කීම ය, අනුන් කියන වචනයේ තේරුම දැන ගැනීම ය, ශරීරාවයවයන් එසවීම ය, පහත් කිරීම ය, එහා මෙහා කිරීම ය, යෑම ය, ඊම ය, දීම ය, ගැනීම ය යනාදි කරුණුවලින් එකකුදු එක් සිතකින් සිදු නො වේ. ඒ එක් එක් කරුණක් සිදුවීමට ක්‍ර‍මානුකූල ව සිත් පෙළක් ඇති විය යුතු ය. ඒ ඒ කරුණු සිදු කිරීම් වශයෙන් ඇති වන්නා වූ චිත්ත පරම්පරාවලට, සිත් වැල්වලට “චිත්තවීථිය” යි කියනු ලැබේ. කොටින් කියතහොත් එක් එක් කරුණක් සම්බන්ධයෙන් ඇති වන සිත් වැල් චිත්තවීථිය යි කිය යුතු ය.

සිත ඉතා සියුම් ය. එය ඇසට පෙනෙන දෙයක් ද නොවේ. සුළඟ - සීතල - උෂ්ණය යන මේවා ඇසට නො පෙනෙතත් කයට දැනේ. සිත එසේ කයට දැනෙන - හසුවන දෙයක් ද නො වේ. ඉතා ඉක්මනින් ඉපිද බිඳී යන්නක් බැවින් සිත පරීක්ෂණයකට හසුකර ගත හැකියක් ද නො වේ. කරුණු මෙසේ හෙයින් සිතේ සැටි සොයා ගැනීම, ඉතා ම දුෂ්කර ය. සිතේ සැටි දැන ගැනීමට ඉතා ම දුෂ්කර වී ඇත්තේ එය දැන ගැනීමේ උපකරණයත් එයම වීම ය. කපන උපකරණය වූ පිහියෙන් අනිකක් කැපිය හැකි ය. ඒ පිහිය ම එයින් නො කැපිය හැකි ය. එමෙන් දැන ගැනීමේ උපකරණය වූ සිතට ඒ සිතේ සැටි නොදත හැකිය. එබැවින් සිත පිළිබඳ උගෙනීමක් කර නැති සාමාන්‍ය ජනයාට චිත්තවීථිය කියා දෙයක් ඇති බව පවා නො දැනේ. සිත ගැන ඉගෙනීම් කරන - විමසීම් කරන ජනයාට වුව ද මේවා මෙසේ විය යුතු ය කියා අනුමාන වශයෙන් සිත ගැන දැනුමක් ඇති වෙනවා මිස, ඇසට පෙනීම වැනි ප්‍ර‍ත්‍යක්ෂ දැනුමක් සිත ගැන ඇති නො වේ. සිත ගැන දැන ගැනීම ඉතා ප්‍රයෝජන බැවින් අනුමාන වශයෙන් වුව ද දැනීමක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න.