13. භූමිවල සිත් ලැබෙන සැටි

මේ වීථි සිත් අසූව ම ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි කාමාවචර භූමියේ ලැබේ.

රූපාවචර භූමියෙහි ද්වේෂ මූල සිත් දෙකය, ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණ සයය, මහා විපාක අටය යන මේ සිත් දහසය හැර ඉතිරි වීථි සිත් හැට හතර ලැබේ.

අරූපාවචර භූමියෙහි ලෝභ මූල සිත් අටය, මෝහ මූල දෙකය, මනෝද්වාරාවජ්ජනය ය, මහා කුසල් අටය, මහා ක්‍රියා අටය, අරූපාවචර කුසල ක්‍රියා අටය, ප්‍ර‍ථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් සතය යන සිත් සතළිස් දෙක ලැබේ.

අසංඥ භූමියේ එක් සිතකුදු නො ලැබේ.

කොටින් ගණන්

  1. කාම භූමියේ - 80
  2. රූප භූමියේ - 64
  3. අරූප භූමියේ - 42

කාමාවචර භූමියෙහි වීථි සිත් සියල්ල ම ලැබෙන්නේ එහි ෂට් ද්වාරය හා පුද්ගලයන් සැම දෙනාමත් ලැබෙන බැවිනි. රූපාරූප භූමිවල ඇතැම් සිත් නො ලැබෙන්නේ ඒ සිත් උපදනා ද්වාර ඒවායේ නැති බැවිනි. ඒවායේ ද්වේෂ මූල සිත් නො ලැබෙන්නේ නීවරණයක් වන ද්වේෂය ධ්‍යානවලට බාධක හෙයිනි. ලෝභයත් ධ්‍යානවලට බාධකයෙකි. එහෙත් හැම ලෝභයක් ම නීවරණ වී ධ්‍යානවලට බාධා කරන්නේ නො වේ. එබැවින් ලෝභ මූල සිත් රූපාවචර අරූපාවචර භූමිවල ලැබේ. නීවරණ නො වන ද්වේෂයක් නැත්තේය. එබැවින් ද්වේෂ මූල සිත් සම්පූර්ණයෙන් රූපාවචර අරූපාවචර භූමිවල නො ලැබේ.

තදාලම්බනත් කාම සත්ත්වයන්ට පමණක් ලැබෙන සිත් කොටසකි. රූපාරූප ලෝකවල ඒවා නැත්තේ ය. එබැවින් ඒ භූමිවල ඇති වන අතිමහන්තාරම්මණ වීථිවල හා මනෝද්වාර විභූතාරම්මණ වීථිවල තදාලම්බන නො ලැබේ.

මෙතෙකින් සතර වන වීථි පරිච්ඡේදය නිමියේ ය.