12. පුද්ගල භේදය

පෘථග්ජන පුද්ගලයෝ ය. ආර්‍ය්‍ය පුද්ගලයෝ යයි පුද්ගලයෝ දොකොටසකි. පෘථග්ජන පුද්ගලයෝ සතර දෙනෙකි. ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. සියලු ම පුද්ගලයෝ දොළොස් දෙනෙකි.

පෘථග්ජන පුද්ගලයන් සතර දෙනා නම්: දුර්ගති අහේතුක පුද්ගලයා ය, සුගති අහේතුක පුද්ගලයා ය, ද්විහේතුක පුද්ගලයා ය, ත්‍රිහේතුක පුද්ගලයා ය යන මොවුහු ය.

මේ පුද්ගලයන් භේදයට පැමිණෙන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයෙනි. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝ ය. කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ සුගති අහේතුකයෝ ය. මහා විපාක ඤාණ විප්පයුත්ත සිත් සතරෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ද්විහේතුකයෝ ය. මහා විපාක ඥාන සම්ප්‍ර‍යුක්ත සතර ය, මහග්ගත විපාක නවය ය යන සිත් දහතුනෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ත්‍රිහේතුකයෝ ය. අසංඥ පුද්ගලයා ද අහේතුක පුද්ගලයෙකි.

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හන් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හන් ඵලස්ථ පුද්ගලයා ය යන මේ පුද්ගලයෝ අට දෙන ආර්‍ය්‍ය පුද්ගලයෝ ය.

අර්හත් ඵලස්ථ පුද්ගලයාට අශෛක්ෂ පුද්ගලයා ය යි ද ඉතිරි ආර්‍ය්‍ය පුද්ගලයන් සත් දෙනාට ශෛක්ෂ පුද්ගලයෝ යයි ද කියනු ලැබේ.

පුද්ගලයන්ට ලැබෙන සිත්

ද්විහේතුකයන්ට හා අහේතුකයන්ට ක්‍රියා ජවන හා අර්පණා ජවන නො ලැබේ. සුගති අහේතුකයාට හා ද්විහේතුකයාට ඥාන සම්ප්‍ර‍යුක්ත මහා විපාක ද නොලැබේ. දුර්ගති අහේතුකයාට ඥාන සම්ප්‍ර‍යුක්ත විප්‍ර‍යුක්ත මහා විපාක අට ම නො ලැබේ.

ත්‍රිහේතුකයන් ගෙන් රහතුන්ට කුශලාකුශල ජවනයෝ නො ලැබෙති. ශෛක්ෂයන්ට හා පෘථග්ජනයන්ට ක්‍රියා ජවනයෝ නො ලැබෙති. ශෛක්ෂයන්ට දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත් හා විචිකිච්ඡා සහගත සිත් ද නො ලැබේ. අනාගාමීන්ට ද්වේෂ මූල සිත් දෙක ද නො ලැබේ.

ලෝකෝත්තර ජවන ඒ ඒ මාර්ගස්ථ ඵලස්ථ පුද්ගලයන්ට පමණක් ලැබේ. කියන ලද කරුණු අනුව ඒ ඒ පුද්ගලයාට ලැබෙන සම්පූර්ණ සිත් ගණන සොයා ගත යුතු ය.

මහග්ගත විපාක නවය හැර ඉතිරි සිත් අසූව වීථි සිත් ය. මහග්ගත විපාක ද්වාර විමුක්ත බැවින් වීථි සිත් නො වේ. ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන වීථි සිත් ගණන මෙසේ ය. මෙහි දැක්වෙන්නේ ඒ ඒ පුද්ගලයන්ට ලැබිය හැකි වැඩි ම සිත් ගණන ය.

  1. දුර්ගති අහේතුකයාට - 37
  2. සුගති අහේතුකයාට - 41
  3. ද්විහේතුකයාට - 41
  4. ත්‍රිහේතුක පෘථග්ජනයාට - 54
  5. සෝවාන් මාර්ගස්ථයාට - 1
  6. සෝවාන් ඵලස්ථයාට - 50
  7. සකෘදාගාමි මාර්ගස්ථයාට - 1
  8. සකෘදාගාමි ඵලස්ථයාට - 50
  9. අනාගාමි මාර්ගස්ථයාට - 1
  10. අනාගාමි ඵලස්ථයාට - 48
  11. අර්හන් මාර්ගස්ථයාට - 1
  12. අර්හන් ඵලස්ථයාට - 44

දුර්ගති අහේතුක සිත් 37-

අකුසල් සිත් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8 යන මේවා ය.

සුගති අහේතුක සිත් 41-

අකුසල් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, ඤාණ විප්පයුත්ත මහා විපාක 4 යන මේවා ය. ද්විහේතුකයාගේ සිතුත් මේවාමය.

ත්‍රිහේතුක පෘථග්ජනයාගේ සිත් 54-

අකුසල් 12, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9 යන මේවා ය.

මාර්ගස්ථයන්ගේ සිත්, ඒ ඒ මාර්ග සිත ම ය.

සෝවාන් ඵලස්ථයාගේ සිත් 50-

ලෝභ මූල දිට්ඨි විප්පයුත්ත 4, ද්වේෂමූල 2, උද්ධච්ච සහගත සිත, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9, සෝවාන් ඵල සිත යන මේවා ය.

සකෘදාගාමි ඵලස්ථයාගේ සිත් 50-

සෝවාන් ඵලස්ථයාගේ සිත් පනසෙන් සෝවාන් ඵලය ඉවත් කොට එය වෙනුවට සකෘදාගාමි ඵලය ඇතුළු කොට ගත යුතුය.

අනාගාමි ඵලස්ථයාගේ සිත් 48-

දිට්ඨි විප්පයුත්ත සිත් 4, උද්ධච්ච සහගත සිත, හසිතුප්පාදය හැර අහේතුක 17, මහාකුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9, අනාගාමි ඵල සිත යන මේවා ය.

අර්හත් ඵලස්ථයාගේ සිත් 44-

අහේතුක 18, මහා විපාක 8, මහා ක්‍රියා 8, මහග්ගත ක්‍රියා 9, අර්හත් ඵල සිත යන මේවා ය.

ධ්‍යාන නො ලැබූ සාමාන්‍ය සත්ත්වයන් ගේ වශයෙන් සිත් ගණන් ගැනීමේ දී මහග්ගත සිත් හැර සිත් ගණන ගත යුතු ය.