මහග්ගත සිත්වල යෙදෙන්නේ අන්‍යසමාන චෛතසික දහතුනත්, විරති තුන හැර ශෝභන චෛතසික දෙවිස්සත් ය. එහි චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යාන අනුව ය.
රූපාවචර කුශල - විපාක ක්‍රියා ප්‍රථම ධ්‍යාන සිත් තුනෙහි අන්‍යසමාන දහතුනය, විරති හැර ශෝභන චෛතසික දෙවිස්සය යන චෛතසික පන්තිස යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් තුනෙහි ඒ චෛතසිකවලින් විතර්කය හැර, ඉතිරි තිස්හතර යෙදේ. තෘතීය ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර දෙක ම හැර චෛතසික තිස් තුනක් යෙදේ. චතුර්ථ ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර - ප්‍රීති තුන ම හැර, දෙතිසක් චෛතසික යෙදේ. පඤ්චම ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර - ප්‍රීති - අප්‍රමාණ්‍ය හැර තිසක් චෛතසික යෙදේ.
අරූපාවචර සිත් ද පඤ්චම ධ්‍යාන සිත් ම වන බැවින් ඒවායේ යෙදෙනේනේ ද රූපාවචර පඤ්චම ධ්‍යාන සිත්වල යෙදෙන චෛතසික තිස ම ය.
ලෝකෝත්තර සිත්වල චෛතසික සංග්‍රහය
අන්‍යසමාන දහතුන ය, අප්‍රමාණ්‍ය හැර ශෝභන චෛතසික තෙවිස්ස ය යන මේවා ලෝකෝත්තර සිත් වල යෙදෙන චෛතසිකයෝ ය. එහි ද චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යානයන්ගේ වශයෙනි.
ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත් අටෙහි අන්‍ය සමාන තෙළෙස ය, අප්‍රමාණ්‍ය හැර ශෝභන චෛතසික තෙවිස්ස ය යන චෛතසික තිස් හය යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් අටෙහි විතර්කය හැර ඉතිරි චෛතසික තිස් පහ යෙදේ. තෘතීය ධ්‍යාන සිත් අටෙහි විතර්ක, විචාර දෙක ම හැර චෛතසික තිස්හතරක් යෙදේ. චතුර්ථ ධ්‍යාන, පඤ්චම ධ්‍යාන සිත් දහසයෙහි විතර්ක, විචාර, ප්‍රීති හැර චෛතසික තෙතිසක් යෙදේ.
ලෝකෝත්තර සිත් උපදින්නේ නිවන අරමුණු කොට ය. අප්‍රමාණ්‍ය චෛතසික උපදින්නේ සත්ත්වයන් අරමුණු කොට ය. අරමුණුවල වෙනස්කම නිසා ලෝකෝත්තර චිත්තයෙහි අප්‍රමාණ්‍ය නූපදී. මහද්ගත සිත්වල විරති නො යෙදෙන්නේ ඒ සිත් කසිණාදිය අරමුණු කොට ම උපදනා බැවිනි.
ඉතා ම වැඩි ගණනක් චෛතසික එකවර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත්වල ය. කාමාවචර කුශලයෙහි සාමාන්‍යයෙන් චෛතසික තිස් අටක් යෙදෙන බව කියන නමුත් එහි එක වරකට යෙදිය හැකි වැඩි ම චෛතසික ගණන තිස් හතරකි. ඉතා ම අඩු ගණනක් චෛතසික යෙදෙන්නේ දෙපස් විඤ්ඤාණයෙහි ය.
මෙතෙකින් ද්විතීය පරිච්ඡේදය නිමියේ ය.