2. පරමාර්ථය හා ප්‍ර‍ඥප්තිය

star_outline

අභිධර්මය තථාගතයන් වහන්සේ ගේ පරමාර්ථ දේශනාව ය. එබැවින් අභිධර්මය උගන්නා වූ තැනැත්තා විසින් පරමාර්ථය කුමක් ද යන බව පළමුවෙන් ම උගත යුතුය.

කියන වචන ඇසීම, ලියා තිබෙන - මුද්‍ර‍ණය කර තිබෙන දේ හා තවත් නොයෙක් දේ දැකීම, කල්පනා කිරීම යනාදි කරුණුවලින් සිතට දැනෙන සිතට හසුවන දෙයට “අර්ථය” යි කියනු ලැබේ. අර්ථ යන මේ වචනය සියල්ල යන වචනයට සමාන වචනයකි. අර්ථ නොවන කිසිවක් ලොව නැත්තේ ය. ලෝකයෙහි අර්ථ බොහෝ ගණනක් ඇත්තේ ය. කවද ආකාරයකින්වත් ඒවායේ ප්‍ර‍මාණයක් නො දැක්විය හැකි ය.

ඇති සැටියට සිතට දැනෙන දේවල් අතර හැබෑවට ඇත්තා වූ දේවල් ද ඇත්තේ ය. සැබෑවටම නැති දේවල් ද ඇත්තේ ය. ලෝකයාහට ඇති සේ පෙනෙන ඇති සේ දැනෙන දේවලින් ඉතා වැඩි හරියක් ම සත්‍ය වශයෙන් නැති දේ ය.

අඳුරෙහි සිටින කෙනකු ගිනි පෙණෙල්ලක් ගෙන වේගයෙන් කර කැවුව හොත් දුරින් බලා ඉන්න අයට එහි ගිනි වළල්ලක් පෙනේ. එහෙත් එතැන ගිනි පෙණෙල්ල ම මිස, ඇති සැටියට පෙනෙන ගිනි වළල්ල නැත. ඒ ගිනි වළල්ල ගිනි පෙණෙල්ලේ වේගවත් ගමන නිසා ඇතුවා වගේ පෙනෙන දෙයකි.

ලෝකයා විසින් ඇති සැටියට සලකන මේසය, පුටුව, ඇඳ, වස්ත්‍ර‍ය, ගෙය, පිඟාන, කෝප්පය, මිනිසා, ගවයා, බල්ලා, ඇතා යනාදි සියල්ලත් ගිනි වළල්ල සේම සැබෑවට ම නැති ඒවා ය.

ඇතය යි සලකන දෙයක සත්‍ය වශයෙන් ඇති නැති බව දැන ගත හැක්කේ ඒ දෙය විභාග කර බැලීමෙනි. මේසය ඇතය යි සලකන එක් දෙයකි. එය විභාග කරතහොත් පා සතරක් ද, පා සතර ඒකාබද්ද කරන ලෑලි සතරක් ද, තට්ටුවෙහි ලෑලි දෙක තුනක් ද ඇති බව පෙනේ. ඒ එක් දෙයක් වත් මේසය නො වේ. ඒ ද්‍ර‍ව්‍ය සමූහය හැර මේසය කියා දෙයක් ද නැත. ඒ ද්‍ර‍ව්‍ය සියල්ල ම මේසය යයි කිව හැකි ය. සියල්ල මේසයත් නොවේ. සියල්ල මේසය නම් කෙසේ තුබුණත් ඒ ලී කැබෙලි ටික මේසය විය යුතු ය. ලී කැබෙලි ටික එකිනෙකින් වෙන් ව හෝ අන් අයුරකින් එක් වී තිබෙත හොත් එකල්හි මේසයක් දක්නට නැත. එබැවින් ඒ ලී කැබෙලි සියල්ල ද මේසය නො වන බව දත යුතු ය. ලී කැබලි ටික, ලී කැබෙලි රැසක් මිස, මේසය නො වන බැවින් මේසය කියා දෙයක් සත්‍ය වශයෙන් නැති බව දත යුතු ය. මේසය යනු ලී කැබලි වන පිහිටි ආකාරය අනුව ඇති වන හැඟීම් මාත්‍රයෙකි.

ලෝකයා විසින් ඇති සැටියට සලකන ඇඳ, පුටු, මේස, පිඟන්, කෝප්ප, රෙදි, ගස්, වැල් ආදි අවිඤ්ඤාණක වස්තූන් ද; දෙවි, මිනිස්, ඇත්, අස්, ගවාදි සවිඤ්ඤාණක වස්තු ද යන මේ සියල්ල ම මේසය සේ ම සත්‍ය වශයෙන් නැති ඒවා ය. සත්‍ය වශයෙන් නැති ව ඇතය යන හැඟීම් මාත්‍රයෙන් ඇතයයි සලකන දේවලට කියන නම ප්‍ර‍ඥප්තිය යනු යි.

සත්‍ය වශයෙන් නැත්තා වූ අර්ථය ය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයය යන මේ දෙකින් සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය උසස් බැවින් එයට පරමාර්ථය යි කියනු ලැබේ. පරමාර්ථ යන වචනයෙහි තේරුම උසස් අර්ථයය, උසස් දෙයය යනුයි.

ඇතය යි හැඟෙන යම් කිසිවක් පරමාර්ථයක් ද ප්‍ර‍ඥප්තියක් දැ යි දැන ගැනීමට ඒ දෙය කොටස්වලට වෙන් කර බැලිය යුතුය. යමක් මේසය සේ කොටස් කළ කල්හි නැති වන්නේ නම්, ඒ දෙය පරමාර්ථයක් හෙවත් සත්‍ය වශයෙන් ඇතියක් නො වේ. වස්තූන් බෙද බෙදා බැලුවා ම අන්තිමට ඉතිරි වන නො බෙදිය හැකි දෙය පරමාර්‍ථය ය.

මේසය බෙදා ලී කැබෙලි ටික හැර මේසයක් ඇත්ත වශයෙන් නැති බව කී කල්හි, මේසයේ කොටස් වූ ලී කැබෙලි ටික සත්‍ය වශයෙන් ඇති ඒවා යයි ඔබට සිතෙන්නට පිළිවන. ඒ ලී කැබෙලිත් තවත් බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවාත් පරමාර්ථ ධර්ම සැටියට නො සැලකිය යුතුය.

ලී කැබෙල්ලක් වැලි කරදාසියකින් මදින කල්හි දක්නට ලැබෙන ලී කුඩු ලීයේ කුඩා කොටස් ය. එකක් වෙන් කොට ගතහොත් ඇසට නො පෙනෙන තරමට කුඩා වූ ඒ ලී කොටසක් ද තවත් බෙදිය හැකි ය. එබැවින් ඒ ලී කුඩු ද පරමාර්ථයෝය යි නො ගත යුතු ය. පරමාර්ථය වනුයේ බෙදීමේදී අන්තිමට ලැබෙන නො බෙදිය හැකි අර්ථය ය.