3. පරමාර්ථ සතර

star_outline

සත්ත්වයන් සහිත වූ මේ ලෝකය ඉතා සියුම් ලෙස විභාග කළා ම අන්තිමට ම ලැබෙන ඉතා ම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්මයෝ ය. ලෝකයට අයත් සියල්ලේ ම මූලික ධර්මයෝ පරමාර්ථයෝ ය. ඒවා ගල් කැට මැටි කැට ආදිය බඳු ද්‍ර‍ව්‍යයන් නොව, බල වේගයෝ ය. එබැවින් දික් බව, කෙටි බව, කුඩා බව, මහත් බව, වට බව, සතරැස් බව, ආදි සටහන් ඒවාට නැත්තේ ය.

චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කොටින් කියන කල්හි පරමාර්ථ සතරෙකි.

චිත්තය

පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීම ය. සිතය කියනුයේ ද එයට ය. ඇස, කන, නාසය, දිව, කය යන මේ ඉන්ද්‍රිය පස නිසාත්, ශුද්ධ මනෝද්වාරය නිසාත් ඒ දැනීම ඇති වේ. ඇස නිසා ඇති වන දැනීමට දැකීමය යි ද, කන නිසා ඇති වන දැනීමට ඇසීම යයි ද කියති. දැකීම පෙනීම කල්පනා වීම අදහස් පහළ වීම යන මේ වචනවලින් කියැවෙන්නේ චිත්තය හෙවත් සිත ය. දැනෙන දේවලට අරමුණ යයි කියනු ලැබේ. අරමුණක සම්බන්ධයක් නැතිව කිසි කලෙක සිතක් ඇති නොවේ. බෙරයකට ගසන කල්හි වදින පහරින් වෙන වෙන ම බෙර හඬ ඇති වන්නාක් මෙන් ඉන්ද්‍රියයන්හි අරමුණු ගැටෙන කල්හි ඒවා සම්බන්ධයෙන් වෙන වෙන ම සිත් ඇති වේ. ඒ දැනීම් සියල්ල ම ක්‍රියාවෝ ය. එබැවින් ඇති වන සිත් සියල්ල ම එකෙණෙහි ම නැති වේ. දැනීම් මාත්‍ර‍ය ම චිත්තය හෙවත් සිත බව මතක තබා ගත යුතුය.

චෛතසිකය

සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර‍ ව ඇති වන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය. චෛතසික දෙපනසක් ඇත්තේ ය. සිත සමඟ එකට ඉපදීම ය, එකට නැති වීම ය, සිතින් ගන්නා අරමුණ ගැනීම ය, සිතට නිඃශ්‍ර‍ය වූ වස්තුව ම නිඃශ්‍ර‍ය කර ගැනීම ය යන මේ කරුණු සතර චෛතසිකයන් ගේ සාමාන්‍ය ලක්ෂණයෝ ය. සිතින් වෙන්ව කිසි කලෙක චෛතසිකයෝ නූපදිති. සිතක් නැති ව ඉපදිය හැකි ශක්තියක් ඒවාට ඇත්තේ ද නැත. සම්පූර්ණයෙන් ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතට ද නැත. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරව ද උපදී. එක් සිතක් සියලු ම චෛතසිකයන් සමග උපදින්නේ ද නැත.

රූපය

සත්ත්ව ශරීර හා බාහිර වස්තූන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝ ය. රූප විසි අටක් ඇත්තේය. එයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමති එක් රූපයක් පමණෙකි. ඉතිරි සත්විස්ස ඇසට පෙනෙන රූප නො වේ. රූප යන වචනයේ තේරුම ශීතෝෂ්ණාදි විරුද්ධ දෙය හා එක් වීමෙන් විකාරයට පැමිණෙන දෙය ය යනුයි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් ශීතෝෂ්ණාදිය හා ඒවායේ ගැටීමක් සිදු නොවේ.

නිර්වාණය

රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණය ය. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ ඒ ඒ ධර්මය ඇති කිරීමට නිසි හේතූන් එක් රැස් වීමෙන් ම ඇති වන ධර්මයෝ ය. ප්‍ර‍ත්‍යයෙන් ඇති කරන බැවින් ඒවාට සඞ්ඛත ධර්මයෝ ය යි කියනු ලැබේ. සඞ්ඛත ධර්මයෝ ඇති වීමෙන් පසු මොහොතකුදු නො පැවතී බිඳෙන්නෝ ය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝ ය. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හටගැන්වීමක් නැති ව ම ඇති ධර්මයෙකි. එබැවින් එයට අසඞ්ඛත ධාතුව යයි කියනු ලැබේ. එය කවදාවත් නැති නො වන සෑම කල්හි ම පවත්නා ධර්මයෙකි. එය ඉතා ගැඹුරු ධර්මයෙකි. මහත් වූ වීර්‍ය්‍යයකින් ම ප්‍ර‍ත්‍යක්ෂ කරගත හැකි ධර්මයෙකි. ලොකොත්තර මාර්ගය වඩා එය ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්‍ය්‍යයෝ සසර දුකින් මිදෙති. බුද්ධාගමට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු විය යුතු උසස් ම දෙය ඒ නිර්වාණය ය.