දෙවි, මිනිස්, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය යි.
දැනට ජීවත්ව ඉන්නා මේ මනුෂ්‍යාදි සත්ත්වයන් අතීතයෙහි ද විසූ බවත්, මරණින් මතු නැවත නැවතත් උපදනා බවත්, නැවත ඉපදීම සිදුවන සැටිත් හරියට දත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.
පින්ය කියා දෙයක් ඇති බවත්, පව්ය කියා දෙයක් ඇති බවත්, ඒ පින් පව්වල ඇති බලයත්, පින් පව්වලින් සත්ත්වයන්ට සැප දුක් දෙන සැටිත් හරියට තේරුම් ගත හැක්කේ අභිධර්මය උගෙනීමෙනි.
පින් මේවා ය, පව් මේවා ය කියා හරියට දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.
අප සමීපයෙහිත් අපට බොහෝ දුරිනුත් අපේ ඇස් වලින් දැකිය නො හෙන නොයෙක් රූ සටහන් ඇති නොයෙක් ආකාර සැප දුක් ඇති දිව්‍ය බ්‍රහ්මාදි නොයෙක් ජාතිවලට අයත් බොහෝ සත්ත්වයන් ඇති බව දත හැක්කේ ද අභිධර්මය උගෙනීමෙනි.
නිවන කුමක් ද? නිවන් මග කුමක් ද? කියා හරියට තේරුම් ගත හැකි වන්නේ ද අභිධර්මය උගෙනීමෙනි.
මතු ඉපදීමක් ඇති බව නො පිළිගන්නේ, කර්මානුරූප ව සත්ත්වයන් සුව දුක් ලබන බව නො පිළිගන්නේ, අපායවල් ඇති බව දෙවි බඹුන් ඇති බව නො පිළිගන්නේ මේ ධර්මය නො දන්නා බැවිනි.
බුදු පිළිමවලට වඳින්න ඕනෑ නැත, අජීවමාන බුදුනට මල් පහන් ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදි මිථ්‍යා අදහස් ඇති වන්නේ ද මේ ධර්මය නො දන්නා නිසා ය.
බෞද්ධයකු වුව ද මේ ධර්මය තරමක් දුරටවත් නො දත් තැනැත්තා අන්ධ පෘථග්ජනයෙකි. ඔහුට බණක් අසා හෝ බණ පොතක් කියවා හෝ හොඳින් තේරුම් ගත නො හැකිය. කියන බණක් හොඳින් තේරුම් ගත හැකි වීමටත්, බණ පොතක් කියවා හොඳින් තේරුම් ගත හැකි වීමටත් තරමක් දුරටවත් අභිධර්මය උගෙන තිබිය යුතු ය.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියා තුන් කොටසකට බෙදා තිබේ. අභිධර්ම පිටකය ප්‍රකරණ සතෙකි.
- ධම්මසඞ්ගනීපකරණ
- විහඞ්ගපකරණ
- ධාතුකථාපකරණ
- පුද්ගලපඤ්ඤත්තිපකරණ
- කථාවත්ථුපකරණ
- යමකපකරණ
- පට්ඨානපකරණ
යනු ඒ ප්‍රකරණ සතෙහි නම් ය.