9. කායගතාසතිය හෙවත් පිළිකුල් භාවනාව

10 වන පාඩම

කේශාදි කාය කොට්ඨාසයන් අරමුණු කොට කරන භාවනාව කායගතාසති භාවනා නම් වේ. එයට “ද්වත්තිංසාකාර භාවනාවය” යි ද “පිළිකුල් භාවනාව ය” යි ද කියනු ලැබේ. මේ බුදු සස්නෙහි බොහෝ දෙනකුන් රහත් වී ඇත්තේ මේ භාවනාවෙනි. බුදු සස්නෙහි පැවිදි වන කුල පුත්‍ර‍යන්ට පළමුවෙන් ම දෙන කමටහනත් මෙ ය ම ය.

කෙස් - ලොම් - නිය - දත් - සම: මස් - නහර - ඇට - ඇට මිදුලු - වකුගඩුව: හෘදය - අක්මාව - දලඹුව - බඩදිව - පෙණපපුව: අතුනු - අතුනුබහන් - නො පැසුණු අහර - අසූචි - හිස්මොල: පිත - සෙම - සැරව - ලේ - ඩහදිය - මේදතෙල: කඳුලු - වුරුණුතෙල - කෙළ - සොටු - සඳ මිදුලු - මුත්‍ර‍.

මේ ශරීරයෙහි ඇති කොටස් දෙතිස ය. මේ භාවනාව කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තේරුම් ගත යුත ුය. සැම කොටසක ම පැහැය දැන ගත යුතු ය. සටහන දැන ගත යුතු ය. පිහිටි ස්ථානය දැන ගත යුතු ය. පිහිටි දිශාව දත යුතු ය. උඩ යට සරස යන සෑම පැත්තෙන් ම කොටස්වල පරිච්ඡේදය දත යුතු ය. මේ භාවනාව ශබ්ද නගා කියමින් කළ යුතු ය. කොටස් දෙතිස ම ගෙන එකවරට ම භාවනා නො කළ යුතු ය. කොටස් දෙතිස වර්ග සයකට බෙදා ගෙන අනුලෝම ප්‍ර‍තිලෝ ම වශයෙන් සජ්ඣායනා කළ යුතු ය.

“කෙස් ලොම් නිය දත් සම, සම දත් නිය ලොම් කෙස්” කියා පළමුවන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“මස් නහර ඇට ඇටමිදුලු වකුගඩුව, වකුගඩුව ඇටමිදුලු ඇට නහර මස්” කියා දෙවන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“හෘදය අක්මාව දලඹුව බඩදිව පෙණපපුව, පෙණ පපුව බඩදිව දලඹුව අක්මාව හෘදය” කියා තුන් වන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“අතුනු අතුනුබහන් නො පැසුණු අහර අසූචි හිස්මොල, හිස්මොල අසූචි නො පැසුණු අහර අතුනු බහන් අතුනු” කියා සතර වන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“පිත සෙම සැරව ලේ ඩහදිය මේදතෙල, මේද තෙල ඩහදිය ලේ සැරව සෙම පිත” කියා පස් වන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

“කඳුලු වුරුණුතෙල කෙළ සොටු සඳමිඳුලු මුත්‍ර‍, මුත්‍ර‍ සඳමිඳුලු සොටු කෙළ වුරුණුතෙළ කඳුලු” කියා සවන වර්ගය සජ්ඣායනා කළ යුතු ය.

එක් එක් වර්ගයක් දින ගණනක් සජ්ඣායනා කොට වචනය කියනවාත් සමග ඒ ඒ කොටස් සිතට පෙනෙන්නට වූවා ම ඊළඟ වර්ගය සජ්ඣායනා කරනු. සියල්ල ම හොඳින් ප්‍ර‍ගුණ වූ පසු කොටස් දෙතිස ම අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් සජ්ඣායනා කරන්නට පටන් ගත යුතු ය. සියල්ල ම සජ්ඣායනා කරන්නේ මෙසේ ය.

“කෙස් ලොම් නිය දත් සම, මස් නහර ඇට ඇටමිදුලු වකුගඩුව, හෘදය අක්මාව දලඹුව බඩදිව පෙණපපුව, අතුනු අතුනුබහන් නො පැසුණු අහර අසූචි හිස්මොල, පිත සෙම සැරව ලේ ඩහදිය මේද තෙල, කඳුලු වුරුණුතෙල කෙළ සොටු සඳමිඳුලු මුත්‍ර‍.

මුත්‍ර‍ සඳමිඳුලු සොටු කෙළ වුරුණුතෙල කඳුලු, මේදතෙල ඩහදිය ලේ සැරව සෙම් පිත, හිස්මොල අසූචි නො පැසුණු අහර අතුනුබහන් අතුනු පෙණපපුව, බඩදිව දලඹුව අක්මාව හෘදය, වකුගඩුව ඇටමිදුලු ඇට නහර මස්, සම දත් නිය ලොම් කෙස්.”

මේ භාවනාවෙන් ප්‍ර‍ථමධ්‍යානය ලැබිය හැකි ය. විදර්ශනාවට හරවා ගැනීමෙන් ලෝකෝත්තර මඟපල ද ලැබිය හැකිය.