10. ආනාපානසති භාවනාව

ආශ්වාස ප්‍ර‍ශ්වාස දෙක්හි සිත පිහිටුවා ගෙන එය සිහි කිරීම ආනාපානසති භාවනාව ය. මෙය බුදු සස්නෙහිත් බුදු සස්නෙන් පිටතත් බොහෝ යෝගාවචරයන් කරන භාවනාවෙකි.

එය කරන තැනැත්තා විසින් වාඩි වී ශරීරය කෙළින් තබා ගත යුතු ය. ඉක්බිති ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුව සැපෙන තැනක් අල්ලා ගත යුතු ය. ඒ වායුව සමහරුන්ගේ නාසයේ අග සැපී ගෙන පිට වන්නේ ය. සමහරුන්ගේ උඩු තොලේ අග සැපී ගෙන පිට වන්නේ ය. සැපෙන තැන මුල් කරගෙන ආශ්වාස ප්‍ර‍ශ්වාස වායුවෙහි මුල මැද අග යන සියල්ල ම පෙනෙන සැටියට සිහි කරන්නට උත්සාහ කළ යුතු ය. ආශ්වාසයේ මුල නාසයේ අග ය. මැද පපුව ය. අග නාභිය ය. නාසිකාග්‍රයේ පටන් නාභිය දක්වා වායු ධාරාව ගමන් කරනු දැකීමට උත්සාහ කරනු. ප්‍ර‍ශ්වාස වායුවේ මුල නාභිය ය. මැද පපුව ය. අග නාසිකාග්‍ර‍ය ය. ශරීරයෙන් පිටතට ගිය වායු කොට්ඨාස සෙවීමට උත්සාහ නො කළ යුතු ය.

මේ භාවනාව කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍ර‍ශ්වාස ප්‍ර‍කෘතියෙන් වන සැටියට ම පවත්වන්නට උත්සාහ කළ යුතු ය. උත්සාහ කොට ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට ගිය හොත් මඳ වේලාවකින් වෙහෙසට පත් වී භාවනාව නො කළ හැකි තැනට පත්විය හැකි ය. එසේ කිරීමෙන් සමහර විට බඩේ හා පපුවේ ආබාධ ද ඇතිවිය හැකි ය. කලක් යන තුරු ආශ්වාස ප්‍ර‍ශ්වාසයන් ගණන් කරමින් භාවනා කරනු. ගණන් කිරීමේ දී ද දිගට ම ගණන් නො කොට දහය දක්වා ගණන් කරනු. දහයට පැමිණි කල්හි ඉදිරියට ගණන් කිරීම නවත්වා නැවත එකේ පටන් ගණන් කරනු. තරමක් සමාධිය දියුණු වූ පසු ගණන් කිරීම නවත්වා මුල මැද අග යන සැම තැන ම පෙනෙන පරිදි වායුව ම සිහි කරනු. හරියට හොඳට කළ හොත් මේ භාවනාවෙන් ධ්‍යාන පස ම ලැබෙන්නේ ය. තරමක් දුරට කළත් මේ භාවනාවෙන් සිහි නුවණ දියුණු වේ. බොහෝ ප්‍රයෝජන ලැබේ.