9 වන පාඩම
(මෙබඳු පොතක සියලු ම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාට ම ප්‍රයෝජන ගත හැකි ශමථ කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ.)
බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ ක්‍රම දෙකක් ඇත්තේ ය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේ ය:- පළමුවෙන් ම තමාට ප්‍රිය කරන, හොඳය කියා සිතෙන බුදු රුවක් වෙත ගොස්, බුදු - රුව හොඳින් සිතේ ඇඳෙන සැටියට එය දෙස බලා සිටිය යුතු ය. හිසේ පටන් දෙපතුල දක්වා බුදු - රුවේ සෑම අවයවයක් ම වෙන වෙනම ද බලා සිතට ගත යුතු ය. බුදු - රුව දෙස හැකිතාක් ඇසි පිය නො හෙලා බලා සිටිය යුතු ය. දින කීපයක් එසේ කළා ම බුදු - රුව සිතේ ඇඳෙන්නේ ය. ඊට පසු විවේක ස්ථානයක හිඳ නෙත් පියා ගෙන බුදුරජාණන් වහන්සේ තමාගේ ඉදිරියේ වැඩ සිටින්නා සේ සිතාගෙන ඒ බුදුන් වහන්සේ ගේ ශරීරය සිහි කරන්න. සිහි කරන කල්හි සම්පූර්ණ බුදු - රුව සිහි කළ හැකි නම්, සිතට වැටහෙනවා නම්, එසේ සිහි කරන්න. සම්පූර්ණ බුදු රුව නො වැටහෙනවා නම් හිස - නළල - දෙ බැම - නෙත් යුවල - නාසය - තොල් - කම්මුල් - නිකට - ග්‍රීවය - උරහිස් දෙක - අත් දෙක - පපුව - උදරය - උකුල - දෙදන - දෙපතුල යන මේවා පිළිවෙළින් වෙන වෙන ම ද සිහි කරනු. සම්පූර්ණ රූපය ද සිහි කරනු. මෙසේ පුරුදු කරන කල්හි සමහරුන්ට ටික කලක දී බුදු - රුව පැහැදිලි ලෙස සිහි කළ හැකි වන්නේ ය. තමාගේ ඉදිරියේ බුදුන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පෙනෙන්නට වන්නේ ය. ඒ බුදුරුව කෙරෙහි සිත පිහිටවා ගැනීමෙන් එක්තරා සමාධියක් ලැබිය හැකිය. බුදු-රුව අරමුණු කිරීමෙන් ඉමහත් බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති කර ගත හැකි ය.
බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ අනික් ක්‍රමය, බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම ය. බුදු ගුණ ඉතා බොහෝ ය. ඒ සියල්ල ම මෙනෙහි කිරීම නො කළ හැකි වැඩකි. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමැති තැනැත්තා විසින් තමාගේ සිතට හොඳින් වැටහෙන යම් කිසි එක් බුද්ධ ගුණයක් හේ තුන හතරක් හත අටක් හෝ තෝරා ගෙන ඒවා මෙනෙහි කිරීම් වශයෙන් භාවනා කළ යුතු ය. මේ භාවනාව කරනු කැමති තැනැත්තා විසින් විහාර ගෙයකට හෝ දාගැබක් සමීපයට හෝ බෝධියක් සමීපයට හෝ අන් විවේකස්ථානයකට හෝ එළඹ, වාඩි වී, ඇස් පියා ගෙන, ශරීරය නිශ්චලව තබා ගෙන, මතු දැක්වෙන පරිදි මෙනෙහි කරනු.
“මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සියල්ල ම වැරදීමක් නැතිව ඇති සැටියට ම දැන වදාළ සේක. උන් වහන්සේ නො දන්නා දෙයක් නැත්තේ ය.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහ්නසේ මේ මේ හේතුවෙන් මේ මේ දෙය ඇති වන්නේ ය, සිදු වන්නේ ය කියා සියල්ලෙහි ම හේතූන් ද තත් වූ පරිද්දෙන් දැන වදාළ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වූ සේක. උන් වහන්සේ සිය පුත් රහල් කුමරුන්ට මෙන් ම නො වෙනස්ව දේවදත්තාදි පරම සතුරන්ටත් කරුණාවත් වූ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්ත්ව සමූහය දුකින් මිදවීම පිණිස චතුරසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අපමණ දුක් ගත් සේක. මේ සත්ත්වයන් සසර දුකින් මුදවනු පිණිස උන් වහන්සේ නො කළ පරිත්‍යාගයක් නැත.
උන් වහන්සේ ලෝ වැසියන්ට දෙව් මිනිස් සැප හා නිවන් සැප ලැබීමේ මඟ දක්වා වදාළ සේක.
උන් වහන්සේ අර්හත් මාර්ග ඥානයෙන් සියලු කෙලෙසුන් නසා පිරිසිදුව වෙසෙන බැවින් ද දේව බ්‍රහ්මයන්ගේ බලය පවා යට කරන මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වන බැවින් ද, ලෝකයෙහි අග්‍ර වූ සේක. ශීලයෙන් හා සෘද්ධි බලයෙන් ද උන් වහන්සේට සම වූවකු ලොව නැත්තේ ය.
“උන් වහන්සේ දෙවියන් සහිත සියලු ලෝ වැසියන්ගේ ම ගරු බුහුමන් ලැබීමට වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වූ සේක.”
මෙසේ බුදුගුණ මෙනෙහි කරනු. මෙහි දක්වන ලද්දේ පහසුවෙන් අවබෝධ කළ හැකි - තේරුම් ගත හැකි බුදුගුණ ස්වල්පයකි. තමා කැමති හැටියකින් කවර ආකාරයකින් වුව ද බුදුගුණ සිහි කිරීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුගුණ කියා පොත් පත්වල එන තමාට නො තේරෙන දේවල් පාඩම් කර ගෙන කීමෙන් බුද්ධානුස්මෘති භාවනාව සිදු නො වන බව දත යුතු යි.