අධිට්ඨානිද්ධි විකුබ්බනිද්ධි මනෝමයිද්ධි ඤාණ විප්ඵාරිද්ධි සමාධිවිප්ඵාරිද්ධි අරියිද්ධි කම්මවිපාකජිද්ධි පුඤ්ඤිද්ධි විජ්ජාමයිද්ධි සම්මප්පයෝගපච්චයිද්ධි කියා සෘද්ධි දශයක් ඇත්තේ ය.
එක් කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, පෙනී සිටීම, නො පෙනී සිටීම, බිත්ති පර්වතාදියෙන් ඔබ්බට නොසැපී යාම, ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම යනාදිය අධිට්ඨානිද්ධි නම් වේ.
තමාගේ ප්‍රකෘතිය හැර දෙවියකු මෙන් හෝ යකකු රකුසකු මෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි සතෙකු මෙන් හෝ පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ.
තමාගේ ශරීරය තුළ තවත් අඞ්ග සම්පූර්ණ ශරීරයක් සිතින් මවා පිටතට ගැනීම මනෝමයිද්ධි නමි. අභිඥා බලයෙන් සිදු වන්නේ කියන ලද සෘද්ධි තුන පමණෙකි. ඇතැම් උසස් ඥානයක් ඇතිවන කල්හි ද ඇතිවීමට කලින් ද ඇතිවීමෙන් පසු ද ඒ ඥානයේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම ඤාණවිප්ඵාරිද්ධිය ය. යමකුට ඒ ජාතියේ දී නියමයෙන් ම අර්හත් මාර්ග ඥානය ඇති වන්නේ නම්, ඒ තැනැත්තා එය නො ලැබ කවර හේතුවකින්වත් නො මියන්නේ ය. බාල කාලයේ දී බක්කුල තෙරුන් වහන්සේ මසකු විසින් ගිලිනු ලැබූහ. එහෙත් දිවි රැකුනේ ය. එය ඥානවිප්ඵාරිද්ධිය ය. බාල කාලයේ සංකිච්ච තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීම ද, භූතපාල තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීම ද ඥානවිප්ඵාරිද්ධිය ය.
සමාධියෙන් ඉන්නා කාලයේ දී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමාධියේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම සමාධි විප්ඵාර සෘද්ධිය ය. සැරියුත් මහ තෙරුන් වහ්නසේට කපෝතකන්දරාවෙහි වැඩ වෙසෙන කල්හි එක් යකෙක් ඇතකු වුව ද ඇද වැටෙන තරමේ තද පහරක් ගැසී ය. ඒ අවස්ථාවෙහි සමාපත්තියෙන් උන් බැවින් උන් වහන්සේට අමාරුවක් නො වී ය. එය සමාධිවිප්ඵාරිද්ධිය ය. කකුසඳ බුදුන් වහන්සේ ගේ ශ්‍රාවකයකු වූ සඤ්ජීව තෙරුන් වහන්සේ ගසක් මුල නිරෝධ සමාපත්තියෙන් වැඩ වෙසෙනු දුටු මනුෂ්‍යයෝ මේ ශ්‍රමණයා හිඳ ගෙන ම මැරී ඉන්නේය” යි කියා උන් වහන්සේ යට කොට දර දමා ගිනි ලැවූහ. දර ඉවර වන තෙක් ගින්න ඇවුලුණේ ය. එයින් උන් වහන්සේගේ සිවුරුවලටවත් හානියක් නො වී ය. එය ද සමාධි විප්ඵාරිද්ධිය ය.
සිත වසඟ කර ගෙන ඇති බැවින් රහතන් වහන්සේලාට අන්‍යයන් පිළිකුල් කරන දේවල් ගැන පිළිකුල් නැතිව ද විසිය හැකි ය. අන්‍යයන් උසස් කොට සලකන දේවල් ගැන පිළිකුල ද ඇති කර ගත හැකි ය. පිළිකුල් වූද පිළිකුල් නො වූ ද සියල්ල ගැන මධ්‍යස්ථව ද විසිය හැකි ය. රහතුන්ගේ ඒ සෘද්ධිය ආර්‍ය්‍යසෘද්ධි නම් වේ.
පක්ෂීන්ටත් දෙවියන්ටත් ඇතැම් මිනිසුන්ටත් භූතයින්ටත් ඇති සෘද්ධිය කර්මවිපාකජ සෘද්ධිය ය. සෘද්ධි ඇතිව විසූවෝ ආදි කල්පික මනුෂ්‍යයෝ ය.
චක්‍රවර්ති රජවරුන්ගේ සෘද්ධිය හා ජෝතිය ජටිලාදි ඇතැම් පින්වතුන්ට ද පිහිටි සෘද්ධිය පුණ්‍ය සෘද්ධිය ය.
ලෝකයෙහි ඇත්තා වූ අනේකප්‍රකාර විද්‍යාවලින් නොයෙක් දේවල් සිදු කළ හැකි බව විද්‍යාමයිද්ධි නම් වේ.
ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රයෝගයෙන් ක්ලේශ ප්‍රහාණය කිරීම හා උපායෙන් තවත් නොයෙක් දේ සිදු කිරීම සම්මාපයෝගපච්චයිද්ධි නම් වේ.