සූවිසි උපාදාය රූප අතුරෙන් භාව රූප හදයවත්‍ථු රූප, ජීවිතින්‍ද්‍රිය රූප හා ආහාර රූප යට පාඩමින් දක්වන ලද්දේ ය. මෙහි පරිච්ඡේද විඤ්ඤත්ති විකාර ලක්‍ෂණ යන රූප දශය දක්වනු ලැබේ.
පරිච්ඡෙද රූපය.
පරිච්ඡේද රූප නම් ආකාශ ධාතු ය. යම් රූපයක් කරණ කොට ගෙනැ රූප කලාප හෝ ද්‍රව්‍ය සම්භාර හෝ වෙන් වෙන් වැ ප්‍රකාශ වේ ද ඒ රූපය ආකාශ ය. එම නිස්සත්ත්ව නිර්ජීව හෙයින් ධාතු ය. ආකාශ වූයේත් එම ධාතු වූයේත් එම නු යි ආකාශ ධාතු නම් වේ. ආකාශ ධාතුව රූප කලාප රූප කලාපාන්තර හා අසම්මිශ්‍ර වන සේ පිරිසිඳින්නේ ය. රූප කලාප විසින් හෝ එය පිරිසිඳිනු ලබන්නේ ය. එ හෙයින් එය පරිච්ඡේද රූප ය යි කියනු ලැබේ. “කතමං තං රූපං ආකාස ධාතු? යො ආකාසො ආකාසතං අඝතං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං චතූහි මහාභූතෙහි ඉදං තං රූපං ආකාශ ධාතු” යනු පාළි යි. ආකාශය - නොගැටෙන බව - විවරය - සතර මහා භූතයන්ගෙන් ස්පර්ශ නො වන බව ආකාශ ධාතු නම් වේ යනු එහි භාව යි. සතර මහා භූතයන්ගෙන් අසම්ඵුට්ඨ නම් අජටාකාශය යි. අටුවාහි දක්වන ලදි. සතර මහා භූතයන්ගේ අන්‍යොන්‍ය අබ්‍යාපිත්තාව - එකත්‍වයට නො පැමිණි බවය යි ටීකායෙහි දක්වත්. එහි ලක්‍ෂණය රූප පරිච්ඡේදයයි. රසය රූප පර්යන්ත ප්‍රකාශ ය යි. පච්චුපට්ඨානය රූප මර්යාදාය. පදට්ඨානය පරිච්ඡින්න රූප යි. “ශබ්දගුණ කාමාකාශම්” ශබ්දය ගුණ කොටැ ඇත්තේ ආකාශය යි නෛර්යානිකයෝ කියත්. නානා කලාපගත භූතයන්ගේ පර්යන්ත සංඛ්‍යාත අන්තරාල ධර්මය ආකාශ ධාතු ය යි දත යුතු යි.
විඤ්ඤත්ති රූප.
යම් රූපයකින් සත්ත්වයෝ තම අදහස මෙරමා හට දක්වත් ද තුමූ හෝ මෙරමාගේ අදහස දැනගනිත් ද එය විඤ්ඤත්ති රූප ය යි. ඒ වනාහි කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති ය යි ද්විවිධ වේ. සැලෙන අඞ්ග ප්‍රත්‍යඞ්ග සංඛ්‍යාත කායයෙහි පැවැති විඤ්ඤත්තිය කාය විඤ්ඤත්ති ය යි. උච්චාරණය කරනු ලබන ශබ්ද සංඛ්‍යාත වචනයෙහි පැවැති විඤ්ඤත්තිය වචී විඤ්ඤත්තිය යි. හස්ත මුද්‍රායෙන් හෝ ශීර්ෂාදි චලනයෙන් හෝ සත්ත්වයෝ තමා හෝ තම අදහස හෝ අන්‍යයන්ට දන්වති. එසේ දන්වන කල්හි අත හෝ ශීර්ෂාදිය හෝ නො වැ එහි පවත්නා චිත්තජ වායු ධාතු විකාරය කාය විඤ්ඤත්ති ය යි ද කථාකරන කල්හි ශක්තිය නොවැ එයින් හඟවන අදහස් සංඛ්‍යාත චිත්ත පඨවි ධාතු විකාරය වචී විඤ්ඤත්ති ය යි ද කී නියා යි දතයුතු. රූප බොහෝ සෙයින් චිත්තක්‍ෂණ සතළොසක් ආයු ඇත ද මේ රූපද්වය එක චිත්තක්‍ෂණායුෂ්කය චිත්ත සහභූ යනු මොවුන්ට නමෙකි. කාය විකාරයෙන් හෝ වාග් විකාරයෙන් තම අදහස අන්‍යයන්ට හඟවමි යි සිතෙන කල ඇති වන චිත්ත වීථි හා එයින් අඞ්ග චලන ශබ්ද නැගෙන සැටි මෙහි දැක්විය යුතු වුව ද විස්තර භීතියෙන් නො දක්වන ලදි. එය මතු දක්වනු ලබන බව සැලකිය යුතු. බුදුරජාණන් වහන්සේ මේ රූප දෙක මෙසේ විස්තර කරන සේක. “කතමං තං රූපං කාය විඤ්ඤත්ති? කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්‍යාකත චිත්තස්ස වා අභික්කමන්තස්ස වා පටික්කමන්තස්ස වා ආලොකෙන්තස්ස වා විලොකෙන්තස්ස වා සම්මිඤ්ජෙන්තස්ස වා පසාරෙන්තස්ස වා කායස්ස ථම්භනා සන්ථම්භනා සන්ථම්භිතත්තං විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං ඉදං රූපං කාය විඤ්ඤත්ති කතමං තං රූපං වචී විඤ්ඤත්ති? යා කුසල චිත්තස්ස වා අකුසල චිත්තස්ස වා අව්‍යාකත චිත්තස්සවා වාචා ගිරා බ්‍යාප්පථො උදීරණං ඝොසො ඝොසකම්මං වාචා වචී භෙදො -පෙ- ඉදං තං රූපං වචී විඤ්ඤත්ති.” අර්ථ සුබොධ යි.
විකාර රුප.
“විසෙසො කාරො - ආකාරො විකාරො” විශේෂ වූ කාරය - හෙවත් ආකාරය විකාර නම් වේ. ඒ වනාහි රූප පිළිබඳ වැ ලහුතා මුදුතා කම්මඤ්ඤතා යි ත්‍රිවිධ වේ. රූපයන්ගේ ලඝු භාවය, සැහැල්ලු බව ලහුතායි. එහි ලක්‍ෂණය නොබර බව යි. රූපයන්ගේ මෘදු භාවය - මොලොක් බව මුදුතා ය. එහි ලක්‍ෂණය නොතද බව යි. රූපයන්ගේ කර්මන්‍යතාව - වැඩෙහි යෙදවිය හැකි බව කම්මඤ්ඤතා ය. එහි ලක්‍ෂණය ක්‍රියානුකූලත්‍වය යි. මේ රූප තුන වෙන් වෙන් වැ නො පවතී. එහෙත් ඔවුන්ගේ විශේෂය සප්පාය අසප්පාය ප්‍රත්‍යය වශයෙන් දතයුතු වේ. ශරීරයෙන් අසප්පාය සෘතු හෝ සිත් හෝ ආහාර හෝ සෙවුන කල ශරීරගත ධාතූහු සියලු ශරීරය හෝ ශරීරයෙහි කොටසක් හෝ බර බවට පමුණුවති. තද බවට පමුණුවති. අකර්මණ්‍ය බවට පමුණුවති. එවිට රූප පිළිබඳ ලහුතා මුදුතා කම්මඤ්ඤතා නො වන්නේ ය. සප්පාය සෙවුන කල සැහැල්ලු බවට මෘදු බවට කර්මණ්‍ය බවට පමුණුවති. එවිට රූප පිළිබඳ ලහුතා මුදුතා කම්මමඤ්ඤතා වන්නේ ය. එහිදු යම් විටෙක නොබර බව වැඩි වේ ද එවිට ලහුතාව අධික වේ. සෙසු දෙක මන්‍ද වේ. සෙස්ස ද මෙසේ මැ යි. ලහුතාව රෝග සුව වූ කල මෙන් ද මුදුතාව පදම් කළ සම් මෙන් ද කම්මඤ්ඤතාව සකස් කළ රන් මෙන් ද සැලකියයුතු. මෙහි රූප යන්නෙන් චිත්තජ සෘතුජ ආහාරජ යන ත්‍රිජ රූප ගත යුතු ය යි කියන ලදි. “කතමං තං රූපස්ස ලහුතා? යා රූපස්ස ලහුතා ලහුපරිණාමතා අදන්ධතා අවිත්‍ථන්තා ඉදං රූපං රූපස්සලහුතා කතමං තං රූපස්ස මුදුතා යා රූපස්ස මුදුතා මද්දවතා අකක්ඛලතා අකඨින්තා ඉදං තං රූපං රූපස්ස මුදුතා, කතමං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා යා රූපස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො ඉදං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා” යනු මේ සඳහා වදාළ පාළි යි. විඤ්ඤත්ති රූප ද විකාර රූපයෙහි ඇතුළති. එවිට විකාර රූප පසෙකි.
ලක්‍ෂණ රූප.
උත්පාදාදි ලක්‍ෂණයෙන් යුක්ත රූප ලක්‍ෂණ රූප යි. ඒ වනාහි උපචය සන්තති ජරතා අනිච්චතා යි චතුර්විධ වේ. ප්‍රථම උපදින්නාවූ හෝ මතු වැඩෙන්නා වූ හෝ රූප උපචය රූප යි. ගබ්භසෙය්‍යක සත්ත්‍වයන්ගේ ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි උපදින රූප ප්‍රථම උපදින රූප ය. එතැන් පටන් චක්‍ෂුර්දිශාකාදීන්ගේ පහළවීම තාක් වැඩෙන රූප මතු වැඩෙන රූප ය. සංසෙදජ ඔපපාතික සත්ත්‍වයන්ගේ ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි උපදින රූප ප්‍රථම උපදින රූඵ බව හා මතු වැඩෙන රූප බව ලබ යි. එ බැවින් ඒ සියල්ල උපචය රූප ය. වෘක්‍ෂලතාදීන්ගේ ද ප්‍රථම ලැබෙන රූප හා වැඩෙන රූප උපචය රූප ය. ගංඉවුරෙක සෑරූ ළිඳෙහි පළමු ලැබෙන ජලය ආචය යි ද පිරෙන ජලය උපචය යි ද පාළි අනුසාරයෙන් අටුවායෙහි කියන ලදි. මෙහි ඒ දෙකම උපචයෙහි ඇතුළත් කරන ලදි.
උපචයෙහි පටන් සවිඤ්ඤාණක සත්ත්‍වයන්ගේ හෝ අවිඤ්ඤාණක වස්තූන්ගේ අවසානය තාක් පවතින රූප පරම්පරා සන්තති රූප නම් වේ. ළිඳෙහි පිරීගිය ජලයාගේ පැවැත්ම මෙනි. වෘක්‍ෂ ලතාවන්හි අඞ්කුර සෑදී වැඩීම උපචය අවස්ථාවට ද වැඩීමේ පටන් අවසාන පැවැත්ම දක්වා සන්තති අවස්ථාවට ද ඇතුළත් බව දත යුතු. ජාති රූප නාමයෙන් දැක්වෙන්නේත් මේ උපචය සන්තති මැ යි. රූපයන්ගේ දිරුම්කඩ ජරතා යි භඞ්ගය අනිච්චතා යි. සතළොස් චිත්තක්‍ෂණික රූපයාගේ ප්‍රථම චිත්තක්‍ෂණාවස්ථාව උපචය මෙන් ද දෙවන චිත්තක්‍ෂණාවස්ථායෙහි පටන් පසළොස දක්වා සන්තතිය මෙන් ද සොළොස් වන චිත්තක්‍ෂණාවස්ථාව ජරතාව මෙන් ද සතළොස් වන චිත්තක්‍ෂණාවස්ථාව අනිච්චතාව මෙන් ද සැලකිය යුතු යි.
මේ පාඩමෙහි දැක්වුණු පරිච්ඡේදාදී වූ දශ රූපයන්ට අනිෂ්පන්න රූපයෝ ය යි කියනු ලැබෙත්. යට දැක්වුණු අටළොස ම නිෂ්පන්න බැවිනි. එසේ ම මොව්හු අරූප රූපයෝ ය යි ද කිව යුතු.
ප්‍රශ්න.
- අනිෂ්පන්න රූප දශය දක්වනු.
- පරිච්ඡේද රූප යනු කිමෙක් ද? එහි ආකාර දක්වනු.
- විකාර රූප කෙතෙක් ද? විඤ්ඤත්ති විභාගය දක්වනු.
- ලක්‍ෂණ රූප සතර පැහැදිලි කරනු.
- අට විසි රූප විස්තර කරනු.