5. රූප සමුද්දේශය (සූවිසි උපාදාය රූප:- භාව හදය ජීවිත ආහාර.)

star_outline

සූවිසි උපාදාය රූප අතුරෙන් පසාද රූප හා විසය රූප යට දක්වන ලද්දේ ය. මෙහි භාව හදය ජීවිත ආහාර රූප දක්වනු ලැබේ.

භාව රූප.

මෝ ගැහැණිය මේ පිරිමිය යන ශබ්ද බුද්ධි යම් රූපයක් කරණකොටැ වේ නම් ඒ රූප භාව රූප ය යි කියනු ලැබේ. භාව රූප වනාහි ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූප ය යි දෙවැදෑරුම් වේ. ස්ත්‍රී නම් අවිශදාකාරයෙන් පිහිටි ස්කන්ධ පඤ්චක ය යි යම් ධර්මයෙක අනුභාවයෙන් ඒ එසේ පිහිටියේ ද ඒ ස්ත්‍රී භාව රූප ය. ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීත්‍වය යනු දු මේ ය. විශදාකාරයෙන් පිහිටි ස්කන්‍ධ පඤ්චකය පුරුෂ යි. යම් ධර්මයෙක අනුභාවයෙන් ඒ එසේ පිහිටියේ ද ඒ පුරුෂ භාව රූප යි. පුරුෂෙන්‍ද්‍රිය පුරුෂත්‍ව යනු දු මේ ය. බුදුරජාණන්වහන්සේ ඒ මෙසේ දක්වන සේක. “කතමං තං රූපං ඉත්‍ථින්‍ද්‍රියං යං ඉත්‍ථියා ඉත්‍ථිලිඞ්ගං ඉත්‍තිනිමිත්තං ඉත්‍ථි කුත්තං ඉත්‍ථාකප්පො ඉත්‍ථත්තං ඉත්‍ථිභාවො ඉදං තං රූපං ඉත්‍ථින්‍ද්‍රියං යි. ස්ත්‍රිය පිළිබද යම් ලිඞ්ගයෙක් නිමිත්තයෙක් කුත්තයෙක් ආකල්පයෙක් ස්ත්‍රීත්වයෙක් ස්ත්‍රී භාවයෙක් වන්නේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය නම් වේ, යනු එහි අර්ථ යි. ලිඞ්ග නම් සටහනි. ස්ත්‍රීන්ගේ අත් පා ගිව් උර ආදි සටහන් පිරිමින්ගේ මෙන් නො වේ. ඔවුන්ගේ යට කය විසදය. උඩු කය අවිසදය. අත් පා මුහුණ කුඩාය. “ලිඞ්ගන්ති පධානඞ්ග භූතං මහාසණ්ඨානං” යනු ටීකා යි. නිමිත්ත නම් හැඳුණුමට නිමිත්ත ය. ඔවුන්ගේ උර මස් අවිසද ය. මුහුණ දළිරැවුලින් තොර ය. කුත්ත නම් ක්‍රියා ය. ඔව්හු ළදැරි කල කුලු මොහොල් ගෙන සෙල්ලම් කරති. ආකල්ප නම් ගමනාදි ආකාරය. ඔව්හු අවිසද වැ ගමන් ආදිය කරති. ස්ත්‍රීත්ව ස්ත්‍රීභාව නම් ස්ත්‍රී ස්වභාවය යි. “කතමං තං රූප පුරිසින්‍ද්‍රියං යං පුරිසස්ස පුරිසලිඞ්ගං පුරිසනිමිත්තං පුරිස කුත්තං පුරිසාකප්පො පුරිසත්තං පුරිසභාවො ඉදං තං රූපං පුරිසින්‍ද්‍රියං” පුරුෂයා පිළිබඳ යම් ලිඞ්ගයෙක් නිමිත්තයෙක් කුත්තයෙක් ආකල්පයෙක් පුරුෂත්වයෙක් පුරුෂ භාවයෙක් වන්නේ ද එය පුරුෂ ඉන්‍ද්‍රිය නම් වේ, යනු එහි අර්ථ යි. විස්තරය යට දැක්වුණු සේ දතයුතු. පුරුෂයන්ගේ උඩුකය විසද ය. යට කය අවිසද ය. අත් පා මුහුණු මහත් ය. උරොමංශ සුවිසද ය. දැළි රැවුල් ඇත. ළදරු කල රිය හා නගුල් ගෙන සෙල්ලම් කරති. ගමන් ආදිය විසද ය.

මේ භාව රූප කර්මජ ය. ප්‍රතිසන්‍ධියෙහි ම පිහිටන්නේ ය. බීජය ඇති කල්හි ගස පැලවී අතු පතර වැඩී යන්නා සේ ප්‍රතිසන්‍ධියෙහි භාව රූපය ඇති බැවින් ම ලිඞ්ග නිමිත්ත කුත්තාදිය පසු පසු ප්‍රකට වන්නේ ය. ආදි කල්පිකයන්ට භාව රූප වන්නේ ප්‍රවෘත්තියෙහි ය. පසු පසු උපදින්නට ප්‍රතිසන්‍ධියෙහි පිහිටා ප්‍රවෘත්තියෙහි වෙනස් ද වන්නේ ය. පුරුෂ වැ සිටැ පසු ස්ත්‍රී වූ සැටි ද ස්ත්‍රී වැ සිටැ පසු පුරුෂ වූ සැටි ද පොත්හි පැනේ. උභතො බ්‍යඤ්ජනකයන්ට භාව රූප දෙකම පිහිටන සේ පෙනුණත් ඇත්තේ ප්‍රධාන වශයෙන් එකක් ම බව අටුවාහි දක්වති. පුරුෂ ශක්ත්‍යාධික්‍යයෙන් පිරිමි දරුවන් ලැබෙන බව ද ස්ත්‍රී ශක්ත්‍යාධික්‍යයෙන් ගැහැණු දරුවන් ලැබෙන බව ද උභයසාම්‍යයෙන් නපුංසකයන් ලැබෙන බව ද වෛද්‍ය ශාස්ත්‍රයෙහි උගන්වති.

හදය වත්‍ථු රූපය.

සත්ත්වයෝ යම් රූපයක් කරණ කොට ගෙනැ අර්ථ හෝ අනර්ථ හදත් ද පුරත් ද එය හදය යි කියනු ලැබේ. චිත්ත චෛතසික එහි වසන බැවින් එයට වත්‍තු ය යි ද කියනු ලැබේ. හදය වූයේත් එ ම වත්‍ථු වූයේත් එම නු යි. සමාස වශයෙන් ගෙනැ හදයවත්‍ථු ය යි කියන ලදි. මනෝ ධාතු මනොවිඤ්ඤාණධාතූන්ට නිශ්‍රය වූ ස්ථාන යයි. එය හෘදය කොෂාභ්‍යන්තරයෙහි අඩ පතක් පමණ ලෙය ඇසුරු කොට පවත්නේ ය යි ආචාර්යවරයෝ දැක්වූහ.

බුදුරජාණන් වහන්සේ මේ රූපය ධම්මසංගණියෙහි නො වදාළ සේක. “වත්‍ථු කුසලානං ඛන්ධානං නිස්සය පච්චයෙන පච්චයො. වත්‍ථු අකුසලානං ඛන්ධානං නිස්සය පච්චය යෙන පච්චයො” යනාදීන් පට්ඨානයෙහි වදාළසේක.

මනොධාතු මනොවිඤ්ඤාණධාතූන්ට නිශ්‍රයස්ථානය හෘදය - පපුව නොවැ මොළය යි. ඇතැම්හු කියති. එස හෘදය (පපුව) ම බව අටුවාහි ස්ථිර සේ දක්වත්.

පර සිත් බලන සෘද්ධිමත්හු මේ වස්තු රූපයේ පැහැය බලා මොහුගේ සිත දැන් රාග සහිතය, මොහුගේ සිත රාග සහිතය, මොහුගේ සිත ද්වේෂ මෝහ විතර්කාදි සහිත ය මොහුගේ සිත ද්වේෂ මෝහ විතර්කාදි රහිත ය යි කියන්නට සමර්ථ වෙත්. ඒ එසේ මැ යි. සිත සොම්නස් කල්හි වත්‍ථු රූපය පිහිටි ලෙය පැසුණු නුග ඵලයක් සේ රත් පැහැ ය. දොම්නස් කල්හි කළු පැහැ ය. උපෙක්‍ෂා කල්හි පහන් තල තෙලක් බඳු ය. අරූපාවචරයන්ට වත්‍ථු රූප නැති බැවින් ඔවුන්ගේ සිත බැලීම විශේෂ සෘද්ධි විෂයෙකැ යි දතයුතු.

ජීවිතින්‍ද්‍රිය රූපය.

යම් රූපයක් කරණ කොට ගෙනැ සහජාත ධර්ම ජීවත් වේ ද එය ජීවිත රූපය යි කියනු ලැබේ. එම එහි ලා අධිපති භාවය කරන හෙයින් ඉන්‍ද්‍රිය වේ. ජීවිත වූයේත් එම ඉන්‍ද්‍රිය වූයේත් එම නු යි ජීවිතින්‍ද්‍රිය නම් වේ. සහජාත රූප පාලනය කිරීම ලක්‍ෂණකොට ඇති කර්මජ රූපයෙකි. බීජයෙන් නිපන් උපුල් ආදිය බීජය නැති වැ ගිය කල්හි දු උදකානුපාලිත වැ බොහෝ කල් පවතී ද එමෙන් කර්මයෙන් නිපන් රූප කර්මය නැති වත් ජීවිතෙන්‍ද්‍රියානුපාලිත වැ වර්ෂ සිය දහස් ගණන් සන්තති වශයෙන් පවතී. ජීවිතේන්‍ද්‍රිය රූප සහිත වෘක්‍ෂ ලතාදිය ජීවත් වේය යි කීම ලෝක ව්‍යවහාර වශයෙනි. වෘක්‍ෂ ලතාදීන්ට ජීවිතේන්‍ද්‍රිය තැන්තේ ය. එයට “එකින්‍ද්‍රියපාණි” යි කීවෝ අබෞද්ධයෝ ය. බුදුරජාණන් වහන්සේ මෙසේ විස්තර කරන සේක. “කතමං තං රූපං ජීවිතින්‍ද්‍රියං? යො තෙසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රිය ඉදං තං රූපං ජීවිතින්‍ද්‍රියං” ඒ රූපී ධර්මයන්ගේ ආයුෂය - සිටීම - යැපීම - පැවැත්ම - පාලනය - ජීවත්වීම ජීවිතේන්‍ද්‍රිය රූප නම් වේ. යනු එහි භාව යි. ජීවිතේන්‍ද්‍රිය රූපයාගේ ලක්‍ෂණය සහජාත රූප පාලනය යි. රසය ඔවුන්ගේ පැවැත්ම ය. පච්චුපට්ඨානය යපනය හෙවත් යැපීම ය - පදට්ඨාන යැපිය යුතු භූත යි. ඒ වනාහි උපාදින්නක සියලු ශරීරයෙහි ව්‍යාප්ත වැ පවත්නේ ය.

ආහාර රූපය.

කබලීකාරාහාර, ඵස්සාහාර, මනොසඤ්චෙතනාහාර විඤ්ඤාණාහාරය යි. ආහාර චතුර්විධය. එයින් කබලීකාරාහාරය ආහාර රූප ය. සෙසු තුන නාම ධර්මයෝ ය. කබල කරනු ලබන්නේ කබලීකාර ය. අකබල හෝ කබල මෙන් කරනු ලබන්නේ කබලීකාරය. කබල නම් බත් පිඩු ආදිය යි. ආහරණය කරනු ලබන්නේ - ගිලිනු ලබන්නේ ආහාරය ඔජට්ඨමක රූප ගන්නේ හෝ ආහාරය. කබලීකාර වූයේත් එම ආහාර වූයේත් එම නු යි කබලීකාරාහාර නම් වේ. මෙයින් සවස්තුක ඕජාව කියන ලදැ යි දත යුතුයි. වස්තු නම් ඔදන කුම්මාසාදිය. ඔජා නම් එහි පවත්නා පරම ස්නිග්ධ ස්නේහය, හෙවත් රස ධාතු ය. මේ ඔජාව ම ප්‍රධාන වශයෙන් ආහාර රූප නම් වන බව දත යුතු. කබලීකාර සඞ්ඛ්‍යාත වස්තුයෙහි පවත්නා ඔජා සඞ්ඛ්‍යාත ආහාරය කබලීකාරාහාරය යි ඇතැම් ආචාර්යවරයෝ කියත්. බුදුරජාණන් වහන්සේ ආහාර රූපය මෙසේ දක්වන සේක. “කතමං තං රූපං කබලීකාරො ආහාරො? ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං ඛීරං දධිං සප්පී නවනීතං තෙලං මධු ඵාණිතං යං වා පනඤ්ඤම්පි අත්‍ථි රූපං යම්හි යම්හි ජනපදෙ තෙසං තෙසං සත්තානං මුඛාසියං දන්තවිඛාදනං ගලජ්ඣොභරණියං කුච්ඡිවිත්‍ථම්භනං යාය ඔජාය සත්තා යාපෙන්ති ඉදං තං රූපං කබලීකාරො ආහාරො” යි මෙහි ඔදනාදියෙන් වස්තු ද ඔජා යන්නෙන් ඔජාව ද වදාරන ලදි. වස්තු කුමට ද? ඔජාව කුමට ද? යනු අටුවාහි ආ ක්‍රමයයෙන් මෙහි දක්වනු ලැබේ. වස්තු පරිශ්‍රය දුරු කරන්නේ ය. ඕජාව රූප පාලනය කරන්නේය. වස්තූන්ට රූප පාලනය හෝ ඔජාවට පරිශ්‍රය දුරු කිරීම හෝ කළ නො හැකි ය. වස්තු ඔජා දෙක එක් වූ කල්හි පරිශ්‍රය දුරුකරන්ට ද ඔජාව පාලනය කරන්නට ද හැකි ය. පරිශ්‍රයනම් කර්මජ තේජස ය. කුසතුළ ඔදනාදි වස්තු නැති කල කර්මජ තේජස නැගී උදර පටලය ගන්නේ ය. එවිට බඩගිනි යයි කිය වේ. ඔදනාදියක් එහි වැටුණු කල කර්මජ තේජස උදරපටලය හැරැ එය ගන්නේ ය. එවිට හේ සැනසිලි ලබයි. ඡායා රාක්‍ෂක ඡායාවට පැමිණියහු අල්වා ගෙනැ දෙව හැකිල්ලෙන් බැඳ තබා ස්වකීය භවනයට වී සිටැ බඩගිනි වූ කල්හි අවුත් ඔහුගේ හිස ඩහන්නේ ය. එවිට ඒ පුරුෂයා හඬතලන්නට පටන් ගනී. රකුසා ඒ හඬ අසා එහි පැමිණියවුන් අල්වා ගෙන කා භවනයට වී සැතපෙන්නේ ය. මේත් ඒ බඳුය යි දත යුතු යි.

මෙහි දු බත් ආදි ඖදාරික වස්තුයෙහි ඔජාව ස්වල්ප ය. ගිතෙල් ආදි සියුම් වස්තුයෙහි බලවත් ය. ස්වල්ප ඔජාව ඇති ආහාර වැළඳූ ඇසිල්ලේ නැවත බඩගිනි උපදී. ගිතෙල් ආදි සියුම් ආහාර වැළඳූ කල දවසකුදු බඩගිනි නො දැනේ. වස්තූන්ගේ ඖදාරික සූක්‍ෂමභාවය එකින් එක ගෙනැ බැලිය යුත්තෙකි. මොනරුන්ගේ ආහාරයට වඩා කිඹුලුන්ගේ ආහාරය ඖදාරික ය. කිඹුල්ලු ගල් ගිලති. ගල් ඔවුන්ගේ කුසගින්නෙන් දිර යි. මොනරු නයි ගෝනුසු ආදීන් කති. මොනරුන්ගේ ආහාරයට වඩා වලසුන්ගේ ආහාරය සියුමි. වලස්සු තුන් හව්රුදු පැරණි අං ද ඇට ද කති. එය ඔවුන්ගේ කෙළ වැකීමෙන් අල මෙන් ලිහිල් වේ. වලසුන්ගේ ආහාරයට වඩා ඇතුන්ගේ ආහාරය සියුමි. ඇත්තු රුක් ආදිය කා දමති. ඇතුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාර සියුමි. ගවයෝ අමු තණ හා පිදුරු කති. ඔවුන්ගේ ආහාරයට වඩා සාවුන්ගේ ආහාරය ද සාවුන්ගේ ආහාරයට වඩා පක්‍ෂීන්ගේ ආහාරය ද පක්‍ෂීන්ගේ ආහාරයට වඩා පිටිසර වැස්සන්ගේ ආහාරය ද ඔවුන්ගේ ආහාරයට වඩා ගම්මුදලියන්ගේ ද ගම්මුදලියන්ගේ ආහාරයට වඩා රාජ රාජ මහාමාත්‍යයන්ගේ ද ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුන්ගේ ද ඔවුන්ගේ ආහාරයට වඩා බූමාටු දෙවියන්ගේ ද ඔවුන්ගේ ආහාරයට වඩා සිවුමහරජ දෙවියන්ගේද ඔවුන්ගේ ආහාරයට වඩා ක්‍රමයෙන් ඉන් උසස් උසස් දෙවියන්ගේ ද ආහාරය සියුම් ය.

කබලීකාරාහාරයෙහි ලක්‍ෂණය ඔජාව ය. රසය රූප දැනවීම ය. පච්චුපට්ඨාන ය. උපස්තම්භන ය. පදට්ඨානය කබල කටයුතු වස්තු යි.

යට දැක්වුණු භූත පසාද විසය භාව ජීවිත ආහාර යන අටළොස් රූප වනාහි ස්වභාව රූප ය යි ද සලක්‍ෂණ රූප ය යි ද නිෂ්පන්න රූප ය යි ද රූප රූප ය යි ද සම්මර්ශන රූප ය යි ද කියනු ලැබේ. ඔව්හු කර්කශත්‍වාදී තම තමා පිළිබඳ ස්වභාවයෙන් යුක්ත බැවින් ස්වභාව රූපය උත්පාදාදි අනිත්‍යාදි ලක්‍ෂණයෙන් යුක්ත බැවින් සලක්‍ෂණ රූපය ස්වභාවයෙන් ම කර්මාදි ප්‍රත්‍යයෙන් නිපදවන බැවින් නිෂ්පන්න රූප ය. නිෂ්පර්යාය වශයෙන් ම රුප්පන හෙවත් විනාශ වන ලක්‍ෂණ ඇති බැවින් රූපරූපය ත්‍රි ලක්‍ෂණ වශයෙන් සම්මර්ශනය කරන්නට යෝග්‍ය බැවින් සම්මර්ශන රූප ය.

ප්‍රශ්න.

  1. භාව රූප විස්තර කරනු.
  2. හදය වත්‍ථු රූපය පහදා ඒ පිළිබඳ මත භේද දක්වනු.
  3. ජීවිත රූපය විස්තර කරනු.
  4. ආහාර රූපය පිළිබඳ වස්තු ඔජාවන්ගේ විශේෂ දක්වනු.
  5. අටළොස් රූපයන්ට කුමක් හෙයින් සභාව රූප සලක්‍ෂණ රූප නිෂ්පන්න රූප රූප සම්මර්ශන රූප ය යි කියන ලද්දේ ද?