7. රූප විභාගය.

star_outline

යට පාඩම්වලින් රූප සමුද්දේශය දක්වන ලද්දේය. මෙහි රූප විභාගය දක්වනු ලැබේ.

සියලු රූප වනාහි (1) අහේතුක, (2) සප්පච්චය, (3) සාසව, (4) සඞ්ඛත, (5) ලොකිය, (6) කාමාවචර, (7) අනාරම්මණ, (8) අප්‍රහාතව්‍ය යන අර්ථ වශයෙන් එකවිධ ය.

(1) අහේතුක නම් හේතු රහිත බව ය. හේතූහු ලෝභ දෝස මෝහ අලෝභ අදෝස අමෝහයෝ යි. කිසි රූපයෙක මේ හේතු අතුරෙන් එක හේතුවෙකු දු සම්ප්‍රයුක්ත වසයෙන් නො යෙදේ. එහෙයින් සියලු රූප අහේතුක යි.

(2) සප්පච්චය නම් ප්‍රත්‍යය සහිත බව ය. ප්‍රත්‍යයයෝ නම් කර්ම චිත්ත සෘතු ආහාරයෝ ය. රූපයන්හි සම්ප්‍රයුක්ත හේතු නැතත් ඔව්හු යම්කිසි ප්‍රත්‍යයෙකින් හටගන්නෝ ය. එහෙයින් ඔව්හු සප්පච්චයෝ යි.

(3) සාසව නම් ආශ්‍රව සහිත බවය. ආශ්‍රවයෝ කාමාදී ක්ලේශයෝ ය. රූප තමා ම අරබයා උපන් ආශ්‍රව සහිත ය. එහෙයින් ඒ සාසව යි.

(4) සංඛත නම් ප්‍රත්‍යයෙන් නිපදින්නේ ය. අසංඛත නම් එකම නිර්වාණය. සෙසු සියල්ල සංඛත ය. රූප ද ප්‍රත්‍යයයෙන් සකස් කැරෙන බැවින් සංඛතයි.

(5) උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇතුළත් වන්නේ ලෞකික ය. නවලෝකොත්තර හැරැ සෙසු සියල්ල ලෞකික ය. රූප ද ලෞකික යි.

(6) කාම භූමියෙහි හැසිරෙන්නේ කාමාවචර ය. රූප බඹලොවැ තුබුණ ද කාමාවචර ය. කාමයෙහි ඇතුළත් බැවිනි. කාම තෘෂ්ණාව එහි හැසිරෙන බැවින් හෝ කාමාවචර යි.

(7) අනාරම්මණ නම් අරමුණු නො ගන්නා බව ය. අරමුණු ගන්නේ සිත් ය. රූප අරමුණු නොගනී. එ බැවින් රූප අනාරම්මණ යි.

(8) අප්‍රහාතව්‍ය නම් ප්‍රහාණය නොකළ යුතු බව ය. තදඞ්ගාදි වශයෙන් ප්‍රහාණය කළ යුත්තෝ ක්ලේශයෝ ය. රූප ප්‍රහාණය කළ යුතු නො වේ. “රූපං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ” මහණෙනි, රූපය තොපගේ නො වේ. එය ප්‍රහාණය කරව් යයි වදාළ තන්හි රූප යන්නෙන් වදාළේ රූප රාගය යි. කේවල රූපය නො වේ. “රූපෙ ඛො රාධ යො ඡන්‍දො යො රාගො යා නන්‍දි යා තණ්හා තං පජහථ එවං රූපං පිහීණං භවිස්සති” යනු පෙනෙන බැවිනි. රාධ ය! රූපයෙහි යම් ඡන්‍දයෙක් රාගයෙක් නන්‍දියෙක් තෘෂ්ණාවෙක් වේ නම් එය ප්‍රහාණය කරව්. එවිට රූපය ප්‍රහීණ වූයේ වේ යනු එහි අර්ථ යි.

ධම් සඟුණු පාළියෙහි රූප පිළිබඳ අන්‍යවූත් බොහෝ එකවිධ භෙද වදාරණ ලද්දේ ය.

(අ) අජ්ඣත්තික රූප බාහිර රූප වශයෙන් (ආ) වස්තු රූප අවස්තු රූප වශයෙන් ද (ඉ) ද්වාර රූප අද්වාර රූප වශයෙන් ද, (ඊ) ඉන්ද්‍රිය රූප අනින්ද්‍රිය රූප වශයෙන් ද, (උ) ඕලාරික රූප සුබ්‍රම රූප - සන්තිකෙ රූප දුරෙ රූප - සප්පටිඝ රූප - අප්පටිඝ රූප වශයෙන් ද, (ඌ) උපාදින්න රූප අනුපාදින්න රූප වශයෙන් ද, (එ) සනිදර්ශන රූප අනිදර්ශන රූප වශයෙන් ද (ඒ) ගොචරග්ගාහික රූප අගොචරග්ගාහික රූප වශයෙන් ද, (ඔ) අවිනිබ්භොග රූප විනිබ්භොග රූප වශයෙන් ද, ද්විවිධ වේ.

(අ) අජ්ඣත්තික රූප හා බාහිර රූප.

චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය යන පඤ්ච ප්‍රසාද රූප අජ්ඣත්තික රූප ය. සෙසු සියල්ල බාහිර රූප යි. අජ්ඣත්ත නම් ඒ ඒ පුද්ගලයන්ගේ ආත්මභාවයට ඇතුළත් ධර්ම සමූහ ය යි. එහි දු යමෙක තෘෂ්ණාව අධික වැ අයත් වැ පවතී ද එය අජ්ඣත්තිකය. චක්‍ෂුරාදි ආයතන සය යි. මෙහි රූප ප්‍රස්තාව හෙයින් මනස හැරැ සෙසු පස අජ්ඣත්තික ය කියන ලදි. ඇතැම් තැනෙක එයට අජ්ඣත්තය යි ද කියති. ශරීර සම්බන්ධ රූප අතුරෙන් චක්‍ෂුරාදියෙහි ම තෘෂ්ණාව මහති. සෙස්සෙහි එතෙක් මහත් නො වේ. එහෙයින් සෙස්ස බාහිරයි. මේ පසට අජ්ඣත්තිකය යි කියන ලද්දේ රූඪි වශයෙනැයි එක් ටීකාවෙක දක්වයි.

(ආ) වස්තු රූප හා අවස්තු රූප.

චක්ඛු සොත ඝාණ ජිව්හා කාය යන ප්‍රසාද රූප පස හා හෘදය වස්තුව වස්තු රූපය. සෙසු දෙවිසිරූප අවස්තුරූප යි. චිත්ත චෛතසික මෙහි වසන බැවින් එයට වස්තු රූපය යි කියන ලද්දේ ය. සෙස්ස ඒ නො වසන බැවින් අවස්තු රූප යි. මොවුන් පිළිබඳ විස්තරයෙක් යට ද දක්වන ලදි.

(ඉ) ද්වාර රූප හා අද්වාර රූප.

පඤ්චප්‍රසාද හා කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති යන විඤ්ඤත්ති දෙක ද යන සප්තවිධ රූප ද්වාර රූපය. සෙසු එක් විස්ස අවාර රූප යි. ද්වාර නම් දොරය. වීථි සිත් හා කාය කර්මාදිය මෙහි පවත්නා බැවින් මේ සත ද්වාර රූපයයි කියන ලදි. හෙ ද උප්පත්තිද්වාරය කම්ද්වාරය යි ද්විවිධ වේ. පඤ්ච ප්‍රසාද උප්පත්තිද්වාර ය. විඤ්ඤත්ති දෙක කම්ද්වාර යි.

(ඊ) ඉන්ද්‍රිය රූප හා අනින්ද්‍රීය රූප.

පඤ්චප්‍රසාද රූපය, ඉත්‍ථිභාව පුරිසභාව යන භාව රූප දෙක ය. ජීවිතින්‍ද්‍රිය රූපය යන අෂ්ටවිධ රූප ඉන්ද්‍රිය රූපයි. සෙසු විස්ස අනින්‍ද්‍රිය රූප යි. ඉන්‍ද්‍රිය නම් අධිපතිභාවය යි. පඤ්චප්‍රසාදය චක්ඛුවිඤ්ඤාණයෙහි අධිපති භාවය කෙරෙයි. පඤ්චප්‍රසාදයන්ගේ පටු මන්‍දාදිභාවයෙන් චක්ඛුවිඤ්ඤාණාදීන්ගේ ද පටු මන්‍දාදි ස්වභාව ඇතිවන බැවිනි. එහෙයින් චක්‍ෂුඃප්‍රසාදය චක්‍ෂුරින්ද්‍රිය නම් වේ. සෙස්ස ද මෙසේ යි. භාව රූපද්වය ස්ත්‍රීලිඞ්ගාදියෙහි අධිපති භාවය කෙරෙ යි. එහෙයින් එය ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය නම් වේ. ජීවිත රූපය කර්මජ රූප පරිපාලනයෙහි අධිපති භාවය කෙරෙයි. එහෙයින් එය ජීවිතින්ද්‍රිය නම් වේ. මෙබඳු අධිපති භාවයක් නැති හෙයින් සෙසු රූප අනින්ද්‍රිය රූප යි.

(උ) ඖදාරික රූප හා සූක්‍ෂම රූප.

පඤ්චප්‍රසාද සප්ත විෂය යන දොළොස් රූප ඖදාරික රූප ය. සෙසු සොළස සූක්‍ෂම රූප යි. සප්ත විෂය නම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය සංඛ්‍යාත පඨවි තේජෝ වායු යි. ප්‍රකෘතියෙන් ම ථූල බැවින් හා විෂය විෂයීන්ගේ ඝට්ටනය ඖදාරික බැවින් මොව්හු ඖදාරික රූප නම් වූහ. සෙස්ස සියුම් බැවින් සූක්‍ෂම රූප නම් විය. සූක්‍ෂම රූප නම් ආපො ධාතු භාවද්වය හෘදයවස්තු ජීවිතෙන්ද්‍රිය ආහාර ආකාශ විඤ්ඤත්තිද්වය විකාරත්‍රය ලක්‍ෂණ චතුෂ්කය යන සොළස යි.

මේ ඖදාරික රූප සන්තිකෙ රූප නමුදු වේ. දුර පිහිටිය ද වහා ගන්නට හැකි බැවිනි. සෙස්ස දූරෙ රූප නමුදු වේ. එසේ ගත නො හැකි බැවින්. සන්තික නම් ආසන්න-ළඟ.

මේ ඖදාරික රූප සප්පටිඝ රූප නමුදු වේ. විෂය විෂයින් හැපෙන බැවිනි. සෙස්ස අප්පටිඝ රූපය. එසේ හැපුම් නැති බැවිනි. පටිඝ නම් පටිහනනය - එකට හැපීම.

(ඌ) උපාදින්න රූප හා අනුපාදින්න රූප.

කර්මජ රූප උපාදින්න රූප ය. සෙස්ස අනුපාදින්න යි. කර්මජ රූප නම් කර්මයෙන් ජනිත රූපයෝ ය. ඔහු වනාහි හදය රූප ඉන්ද්‍රිය රූප අවිනිබ්භෝග රූප ආකාශ ධාතු වශයෙන් අටළොසෙකි. පසාදභාව ජීවිත ඉන්ද්‍රිය රූප යි. පඨවි ආපෝ තේජෝ වායෝ වණ්ණ ගන්‍ධ රස ඕජා අවිනිබ්භෝග රූප යි. ඒ මතු පළ වේ. තෘෂ්ණාදෘෂ්ටි විසින් අත්‍යන්තයෙන් ගන්නා ලද්දේ උපාදින්නය. කර්මජ රූප සත්ත්‍වසන්තානයෙහි සියලු කල්හි පැවැතීම් වශයෙන් ආදින්න ය. ගෘහීත ය. පරාමාෂ්ට ය. එසේ නො පවත්නා රූප අනුපාදින්න ය. එ නම් චිත්තජ සෘතුජ ආහාරජයෝ යි. එහි විස්තර මතු පළ වේ.

(එ) සනිදර්ශන රූප හා අනිදර්ශන රූප.

රූපායතනය සනිදර්ශන රූපය. සෙසු සත් විස්ස අනිදර්ශන රූප යි. නිදර්ශන සහිත බව සනිදර්ශන ය. නිදර්ශන නම් චක්‍ෂුවිඥානයෙන් දැක්ක යුතු බව යි. ඇසින් දැක්ක හැක්කේ රූපායතන යි. සෙස්ස ඇසින් දැක්ක නො හැකි බැවින් අනිදර්ශන යි.

(ඒ) ගෝචරග්ගාහික රූප හා අගෝචරග්ගාහික රූප.

චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය යන ප්‍රසාද රූප පස ගෝචරග්ගාහික රූප ය. සෙසු තෙවිස්ස අගෝචරග්ගාහික රූප යි. ගෝචරග්ගාහික නම් ගොදුරු රක්නා බව ය. මෙහි ගොදුරු නම් රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්ශයෝ ය. ප්‍රසාද මණ්ඩයෙන් යුත් චක්‍ෂුරාදි පස ම රූපාදි අරමුණු ගන්නේ ය. එද විඤ්ඤාණාධිට්ඨිත වැ ය. සෙස්ස එබන්දක් නැති බැවින් අරමුණු නො ගන්නේ ය. එහි දු චක්ඛු සෝත දෙක අසම්පත්ත ගෝචරග්ගාහිකය යි ද ඝාණ ජිව්හා කාය සම්පත්ත ගෝචරග්ගාහිකය යි ද කියනු ලැබේ. ගන්‍ධ රස ඵොට්ඨබ්බයෝ ඝාණ ජිව්හා කායයන්හි හැපුණු කල්හි ම අරමුණු වෙති. නොහැපුණු කල්හි අරමුණු නො වෙති. එහෙයින් ඔවුහු සම්පත්තග්ගාහික ය. රූප ශබ්ද චක්ඛු සොතයන්හි නොහැපී කෙසඟක පමණවත් දුර පවත්නා කල්හි අරමුණු වේ. එහෙයින් ඒ දෙක අසම්පත්තග්ගාහික ය. මේ සියල්ල සම්පත්තග්ගාහික ය යනු ඇතැම් ආචාර්ය මත යි රූප දර්ශනයට ආලෝකයද ශබ්ද ශ්‍රවණයට ආකාශය ද අවශ්‍ය බැවින් චක්ඛු සෝත අසම්පත්ත ගෝචරග්ගාහිකය යි මෙහි කියන ලදි.

(ඔ) අවිනිබ්භෝග රූප හා විනිබ්භෝග රූප.

පඨවි ආපෝ තේජෝ වායු වණ්ණ ගන්‍ධ රස ඕජා යන අට අවිනිබ්භෝග රූප ය. මේ රූප අට කිසි විටෙක වෙන් කළ නො හැකි ය. එක කලාපයක් වශයෙන් ම පවතී. එබැවින් එයට අවිනිර්භෝග රූපය යි කියනු ලැබේ. සෙසු විස්ස විනිර්භෝග රූප ය. වෙන් කළ හැකි බැවිනි.

ප්‍රශ්න.

  1. රූප එකවිධයයි කෙසේ කිය හැකි ද? අහේතුක සප්පච්චය සංඛත අප්පහාතබ්බ විස්තර කරනු.
  2. ද්වාර රූප ඉන්ද්‍රිය රූප මේ ය යි දක්වනු.
  3. සොළොස් සූක්‍ෂම රූප දක්වනු.
  4. උපාදින්න රූප හා අනුපාදින්න රූප දක්වනු. කුමක් හෙයින් උපාදින්න ය යි කියනු ලැබේ ද?
  5. අවිනිර්භෝග රූප දක්වනු.