4. රූප සමුද්දේශය (සූවිසි උපාදාය රූප, විසය රූප)

සූවිසි උපාදාය රූප අතුරෙන් ප්‍රසාද රූප යට දක්වන ලද්දේ ය. මෙහි විසය රූප දක්වනු ලැබේ. විසය රූප නම් රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය යි. චක්‍ෂුරාදීන්ට විෂය වන්නේ-ගෝචර වන්නේ විෂය රූප ය. ගෝචර රූප යනු දු මොවුන්ට නමෙකි.

1. රූප.

මෙහි රූප නම් සතර මහා භූතයන් නිසා පවත්නා චක්‍ෂුවිඥානයට ගෝචරවන හෙවත් ඇසින් දැක්ක යුතු වර්ණය හෝ පැහැය යි. “රූපයති-වණ්ණ විසෙසං ආපජ්ජිත්‍වා හදයඞ්ගතභාවං පකාසෙතීති රූපං” වර්ණ විශේෂයට පැමිණැ හෘදයගත භාවය රූපනය කරන්නේ-ප්‍රකාශ කරන්නේ රූපය යි එය විග්‍රහ කරන ලදි. “කතමං තං රූපං රූපායතන? යං රූපං චතුන්තං මහාභූතානං උපාදාය වණ්ණනිභා ස නිදස්සනං සප්පටිඝං නීලං පීතකං ලොහිතකං ඔදාතං කාළකං මඤ්ජෙට්ඨිකං හරි හරි වණ්ණං අංකුරවණ්ණං දීඝං රස්සං අනුං ඵූලං වට්ටං පරිමණ්ඩලං චතුරස්සං ඡළංසං අට්ඨංසං සොළසංසං නින්නං ථලං ඡායා ආතපො ආලොකො අන්‍ධකාරො අබ්භා මහිකා ධූමො රජො චන්‍දමණ්ඩලස්ස=වණ්ණනිභා සුරිය මණ්ඩලස්ස වණ්ණනිභා තාරකරූපානං වණ්ණනිභා ආදාසමණ්ඩලස්සවණ්ණන්භා මනිස ඛමුත්තාවෙළුරියස්ස වණ්ණනිභා ජාතරූපරජතස්ස වණ්ණනිභා -පෙ- ඉදං තං රූපං රූපායතනං” යනුවෙන් බුදුරජාණන් වහ්නසේ එය පැහැදිලි කළ සේක. “චක්‍ෂුර්මාත්‍රග්‍රාහ්‍යොගුණොරූපම්” ඇසින් ගතයුතු ගුණය රූපය යි තාර්කිකයෝ කියති. ඔවුන්ගේ මතයෙහි ශුක්ල නීල පීත හරිත රක්ත කපිශ චිත්‍ර යන භේදයෙන් එය සප්තවිධ ය. පෘථිවි අප් තේජස්හි පවත්නේ ය. එයිනුදු පෘථිවියෙහි සප්තවිධය ද ජලයෙහි අභාස්වර ශුක්ලය ද තේජසෙහි භාස්වර ශුක්ලය ද පවත්නේය.

රූපයෙහි ලක්‍ෂණය චක්ඛුපටිහනනය හෙවත් ඇසෙහි වැදගැන්ම ය. රසය චක්‍ෂූර්විඥානයට විෂයත්‍වය. පච්චුපට්ඨානය එයට ම ගෝචර වන බවය. පදට්ඨානය සතර මහා භූත යි.

2. ශබ්ද.

ශබ්ද නම් සතර මහා භූතයන් නිසා වැටෙන ශෝත්‍ර විඥානයට ගෝචර වන හෙවත් කනින් ඇසිය යුතු හඬ ය. “සප්පති සෝතවිඤ්ඤෙය්‍යභාවං ගච්ඡතී ති සද්දො” යනු එහි විග්‍රහය. ශෝත්‍රයෙන් දැනැ ගත යුතු බවට පැමිණෙන්නේ ශබ්ද ය යනු අර්ථ යි. “කතමං තං රූප සද්දායතනං? යො සද්දො චතුන්නං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො, භෙරිසද්දො මුතිඞ්ගසද්දො සංඛසද්දො පණ්වසද්දො ගීතසද්දො වාදිතසද්දො සම්මසද්දො පාණිසද්දො සත්තානං නිග්ඝොසසද්දො ධාතූනං සන්නිඝාතසද්දො වාතසද්දො උදකසද්දො මනුස්සසද්දො අමනුස්සසද්දො යෙ වා පන අඤ්ඤපෙි අත්‍ථි චතුන්තං මහා භූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො -පෙ- ඉදං තං රූපං සද්දොයතනං” යනු එහි පාළි යි. “ශෙත්‍රග්‍රාහ්‍යො ගුණං ශබ්දඃ” ශෝත්‍රයෙන් ගතයුතු ගුණය ශබ්දය යනු තාර්කික මත යි. එය ආකාශයෙහි පමණක් පවත්නා බව ද ධ්වන්‍යාත් මකවර්ණාත්මක වශයෙන් ද්විවිධ බව ද එහි දක්වන ලද්දේය. ධ්වන්‍යාත්මක නම් අහස් ගිගුරුම් ආදිය යි. වර්ණාත්මක නම් භාෂා යි. සංයොගජ, විභාගජ ශබ්දජය යි ඉපැද්මේ හේතු වශයෙන් එය විත්‍රිධ වේ. කඩිප්පු දවුල් වශයෙන් හෝ හස්ත තල භෙරි ආදි වශයෙන් හෝ නැඟෙන ශබ්ද සංයොගජ ය. උණ බට ආදිය පැළීමෙන් නැඟෙන ශබ්ද විභාගජය. ශබ්ද උපන්තැන් පටන් කන් සිදුර දක්වා, විචිත්‍රඞ්ගන්‍යායයෙන් නිමිත්ත පවනින් ශබ්දධාරා පවත්නේ ය. පූර්ව ශබ්දය උත්තර උත්තර ශබ්දයන්ට කාරණ වන බැවින් උත්තර උත්තර ශබ්ද ශබ්දජ යි. මෙ ද තාර්කික මතැ යි දත යුතු. ශබ්දය අසම්පත්තග්ගහාය යනු බෞද්ධ මත යි. සම්පත්තග්ගාහ බව අටුවායෙහි දක්වා තුබුණු නමුත් එය ප්‍රතිෂිද්ධ විය. විස්තරයෙක් මතු ලැබේ.

ශබ්දයෙහි ලක්‍ෂණය සෝතපටිහනනය හෙවත් කනෙහි වැද ගැන්ම ය. රසය ශ්‍රෝත විඥානයට විෂයත්වය. පච්චුපට්ඨානය එයටම ගෝචර වන බව ය. පදට්ඨානය සතර මහා භූත යි.

3. ගන්ධ.

ගන්‍ධ නම් සතර මහා භූතයන් නිසා පවත්නා ඝ්‍රාණවිඥානයට ගෝචර වන හෙවත් නැහැයෙන් ආඝ්‍රාණය කළයුතු ගඳ සුවඳ යි. “ගන්ධයති අත්තනො වත්‍ථුං සූචයතීති ගන්ධො” තමා පිළිබඳ වස්තු සූචනය කරන්නේ-ප්‍රකාශ කරන්නේ ගන්‍ධය යනු එහි විග්‍රහ යි. “කතමං තං රූපං ගන්ධායතනං? යො ගන්ධො චතුන්තං මහාභූතානං උපාදාය අනිදස්සනො සප්පටිඝො මූලගන්ධො සාරගන්ධො තචගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ආමගන්ධො විස්සගන්ධො සුගන්ධො දුග්ගන්ධො -පෙ- ඉදං තං රූපං ගන්ධායතනං” යනු ඒ සඳහා වදාළ පෙළ යි. “ඝ්‍රාණ ග්‍රාහ්‍යො ගුණො ගන්ධඃ” නැහැයෙන් ගතයුතු ගුණය ගන්‍ධය බව ද පෘථිවියෙහි පමණක් එය පවත්නා බවද සුවඳ දුගඳ වශයෙන් එය දෙ වැදෑරුම් බව ද තාර්කිකයෝ කියත්.

ගන්ධයෙහි ලක්‍ෂණය නැහැයෙන් වැද ගැන්ම ය. රසය ඝ්‍රාණ විඥානයට විෂයත්‍ව ය පච්චුපට්ඨානය එයට ම ගෝචර වන බව ය. පදට්ඨානය සතර මහා භූත යි.

4. රස.

රස නම් සතර මහා භූතයන් නිසා පවත්නා ජිහ්වා විඥානයෙන් ආස්වාදනය කළ යුතු හෙවත් දිවින් විඳගත යුතු මධුරාදිය යි. “රසියති අස්සාදියතී ති රසො” යනුවෙන් එයට විග්‍රහ දක්වන ලදි. ආස්වාදනය කරනු ලබන්නේ රසය යනු එහි අර්ථයි. කතමං තං රූපං රසායතනයං යො රසො චතුන්නං මහාභූතානං උපාදායං අනිදස්සනො සප්පටිඝො මූලරසො ඛන්ධරසො තවරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලවණිකං ඛාරිකං ලපිලකං කසාවො සාදු අසාදු -පෙ- ඉදං තං රූපං රසායතනං” යනු බුදුරජාණන් වහන්සේ එය වදාළ පරිදි යි. “රසනග්‍රාහ්‍යො ගුණො රසඃ” දිවින් ගතයුතු ගුණය රසය යි ද එය මධුර අම්ල ලවණ කටු කෂාය තික්ත යන භේදයෙන් ෂඩ්විධ ය යි ද පෘථිවි ජල දෙක්හි පවත්නේ යයිද පෘථිවියෙහි ෂඩ්රසයන් ජලයෙහි මධුර රසයත් ඇතැයි ද තාර්කිකයෝ කියත්.

රසයෙහි ලක්‍ෂණය ජිහ්වාපටිහනනය හෙවත් දිවෙහි වැදැ ගන්නා බවය. රසය ජිහ්වා විඥානයට විෂයත්‍ව ය. පච්චුපට්ඨානය එයට ම ගෝචරවන බව ය. පදට්ඨානය සතර මහා භූත යි.

5. ඵොට්ඨබ්බය.

කාය විඥානයෙන් දතයුත්තේ ඵොට්ඨබ්බය යි. එහෙත් ඵොට්ඨබ්බය යි ගතයුතු විශේෂ රූපයෙක් නැත්තේ ය. අබ්ධාතු හැරැ සෙසු පඨවි තේජෝ වායු යන භූත ත්‍රයම ඵොට්ඨබ්බය යි කියනු ලැබේ. බුදුරජාණන් වහන්සේ උපාදාය රූප කොටසෙහි ඵොට්ඨබ්බය කැලම ඇතුළත් කොට නො වදාළ සේක. එය නො උපාදාය රූප වශයෙන් වදාළ සේක. කයෙන් ස්පර්ශ කරනු ලබන්නේ පඨවි තේජෝ වායු යි. අප් ස්පර්ශ කළ හැකි නොවේ. ජලය ස්පර්ශ කරන කල්හි ස්පර්ශ වන්නේ පඨවි තේජෝ වායු යි. ද්‍රව්‍යත්‍වය ස්පර්ශ වේ යයි සිතීම අවිශේෂඥතායෙනි. එය සුද්ධ මනොද්වාරයෙන් සිදු වන්නකි. “කතමං තං රූපං ඵොට්ඨබ්බායතනං? පඨවි ධාතු තේජෝධාතු වායෝධාතු කක්ඛලං මුදුකං සණ්හං ඵරුසං සුඛසම්ඵස්සං දුක්ඛසම්ඵස්සං ගරුකං ලහුකං -පෙ- ඉදං තං රූපං ඵොට්ඨබ්බායත මේ සර්වඥයන් ඵොට්ඨබ්බය වදාළ පරිදි යි.

“ත්‍ථගින්‍ද්‍රියමාත්‍රග්‍රාහ්‍යො ගුණඃ ස්පර්ශඃ” යනාදීන් ත්වගින්‍ද්‍රිය මාත්‍රයෙන් ගත යුතු ගුණය ස්පර්ශය යයි ද එය ශීත උෂ්ණ අනුෂ්ණාශීත භේදයෙන් ත්‍රිවිධය ය යි ද පෘථිවි අප් තේජස්හි පවත්නේ යයි ද එයිනු දු ශීතය ජලයෙහිත් උෂ්ණය තේජස්හිත් අනුෂ්ණාශීතය පෘථිවිවායුහිත් පවත්නේ යයි ද තාර්කිකයෝ දක්වති. ඒ පිළිබඳ බෞද්ධ මතයට ය කියන ලදි.

ප්‍රශ්න.

  1. විෂය රූප කෙතෙක් ද? කවරහුද? එයට නාමාන්තරයක් දක්වනු.
  2. රූපය පැහැදිලි කරනු.
  3. ශබ්ද ගන්ධ රසයන්ගේ ආකාර මේ මේ යයි දක්වනු.
  4. ඵොට්ඨබ්බය පිළිබඳ විස්තරය දක්වනු.
  5. විෂය රූපය පිළිබඳ දර්ශනාන්තර කෙසේද?