11. රූප ප්‍රවෘත්ති ක්‍රම (දෙවන කොටස.)

කාම ලෝකයෙහි රූප ප්‍රවෘත්තිය යට පාඩමින් දක්වන ලද්දේය. මෙහි රූප ලොකයෙහි රූප ප්‍රවෘත්තිය දක්වනු ලැබේ.

රූප ලෝකයෙහි ඝාණ දසක ජිව්හා දසක කාය දසක භාව දසකයෝ ද ආහාරජ කලාපයෝ ද නො ලැබෙති. භාව දසකය කාමරාග නිදාන කොටැ ඇති කර්මයෙන් නිපදෙන්නෙකි. එය දුරුකරනු පිණිස කළ භාවනා බලයෙන් උපදින බැවින් රූප ලෝකයෙහි භාවද්වය නො ලැබේ. වළඳන ආහාර නැති බැවින් එහි ආහාරජ කලාප ද නො ලැබේ. එබැවින් ම ආධ්‍යාත්මික ඔජායෙන් ද ආහාරජ රූප නූපදී. ඇතැම් ආචාර්ය කෙනෙක් රූප ලෝකයෙහි ගන්ධ රස ඔජා කැලම නැතැයි කියති. එවිට ඔවුන්ට ලැබෙන්නේ දසක නො වැ සප්තක ය.

රූපී බ්‍රහ්මයන්ට ප්‍රතිසන්ධි කාලයෙහි චක්ඛු දසක සෝත දසක වත්‍ථුදසක යන දසක තුන හා ජීවිත නවකය ම යන කම්ම සමුට්ඨාන කලාප සතර ද ප්‍රවෘත්ති කාලයෙහි චිත්ත සමුට්ඨාන කලාපයෝ ද ලැබෙත්.

රූප ලෝකයෙහි ජීවිත නවකය විශේෂ කොටැ කියන ලදි. කාමලෝකයෙහි මෙන් ජීවිතානුපාලක ආහාරජ කලාප හා කාය දසකාදිය නො ලැබෙන බැවිනි. “ජීවිත නවකං නාම රූප ලොකෙ විසුංසියා” යි එහෙයින් කියන ලදි. ජීවිත නවකය නම් රූප ලෝකයෙහි වෙන් වැ වන්නේ ය යනු අර්ථ යි.

අසඤ්ඤසත්තයන්ට වනාහි චක්ඛු දසක සෝත දසක වත්‍ථු දසක හා ශබ්ද නො ලැබෙන්නේ ය. එසමෙ සියලු චිත්තජ රූපයෝ ද නො ලැබෙති. ඔවුන්ගේ ප්‍රතිසන්ධියෙහි පවත්නේ ජීවිත නවකය පමණෙකි. ප්‍රවෘත්තියෙහි ශබ්ද වර්ජිත උතු සමුට්ඨාන රූප පවත්නේ ය.

මරණ කාලයෙහි කාම ලෝකයට වඩා රූප ලෝකයෙහි විශේෂ නැති. එහි දු චුති චිත්තයෙන් මොබ සතළොස් වන චිත්තයාගේ ස්ථිති කාලයෙහි පටන් කර්මජ රූපයන්ගේ උපැද්ම නවතී යනාදිය පෙරසේ ම ය. කියයුත්තෙක් ඇති. එහි ආහාරජ රූප නිරෝධ නැති. එසේ ම කලෙබර නික්‍ෂෙප ද නැත. ඔවුන්ගේ චුති චිත්තයෙන් මතු චිත්තජ උතුජ රූප සන්තතිය චිත්තක්‍ෂණ ස්වල්පයක් පැවැතිය ද එකවිට ම සියල්ල නිරුද්ධ වන්නා සේ දක්නා ලැබේ. කාම ලෝකයෙහි දු ඔපපාතිකයන්ගේ මෘත කලෙබර නොපවත්නේ ය. ඔවුන්ගේ එකවිට ම පරිපූර්ණ වැ පහළ වූ කර්මජ රූප ඝන වැ බලවත් වැ පවතී. එය නිරුද්ධ වත් ම එහි පිහිටි දුර්බල වූ චිත්තජ සෘතුජ ආහාරජ රූප ද පවතින්නට අසමර්ථ වැ ඒ හා සමග ම නිරුද්ධ වන්නේ ය.

මෙසේ කාම රූප අසංඥ සංඛ්‍යාත තුන් තන්හි ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති වශයෙන් විවිධ වූ රූප ප්‍රවෘත්තිය දත යුතු.

“අට්ඨවීසති කාමෙසු හොත්තී තෙවීස රූපිසු

සත්තරසෙවා සඤ්ඤීනං අරූපෙ නත්‍ථි කිඤ්චීපි

.

සද්දො විකාරො ජරතා මරණඤ්චෙපපත්තියං

න ලබ්භන්ති පවත්තෙ තු න කිඤ්චිපින ලබ්භතී.”

කාම රූපයෙහි රූප අට විස්ස ම ඇත්තේ ය. රූප භූමියෙහි තෙවිස්සෙක් ඇත්තේ ය. (ඝාණ ජිව්හා කාය හා භාවද්වය එහි නැති බැවිනි.) අසංඥීන්ට සතළොසක් ඇත්තේ ය. (චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය භාවද්වය හදයවත්‍ථු විඤ්ඤත්තිද්වය සද්ද නැති බැවිනි.) අරූපයෙහි කිසි දු රූපයෙක් නැති.

ශබ්ද විකාර ජරතා අනිච්චතා රූප ප්‍රතිසන්ධියෙහි නො ලැබේ. ප්‍රවෘත්තියෙහි නො ලැබෙන රූප නැත. සියල්ල ලැබෙති යි සේ යි.

ප්‍රශ්න.

  1. රූප ලෝකයෙහි නො ලැබෙන රූප කලාප දක්වනු.
  2. රූපී බ්‍රහ්මයන්ගේ ප්‍රතිසන්ධියෙහි ලැබෙන රූප දක්වනු.
  3. අසංඥීන්ට පවත්නා රූප කවරේ ද?
  4. බ්‍රහ්මයන්ගේ මරණයෙහි රූප නිරෝධය කෙසේ වේ ද?
  5. කාමරූප අසංඥීන්හි ලැබෙන නො ලැබෙන රූප මේ මේ ය යි පැහැදිලි කොට දක්වනු. ප්‍රතිසන්ධියෙහි නො ලැබෙන රූප කවරේ ද?