යට දැක්වුණු සියලු පාඩම්වලින් චිත්ත චෛතසික රූප විභාගය දක්වන ලද්දේ ය. මෙහි නිර්වාණය දක්වනු ලැබේ.
නිර්වාණය ලෝකෝත්තරය. වදාළේ මැයි “කතමෙ ධම්මා ලොකුත්තරා චත්තාරො ච අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤ ඵලානි, අසංඛතා ච ධාතු ඉමෙ ධම්මා ලොකුත්තරා” යි සතර ආර්ය මාර්ග ද සතර සාමඤ්ඤ ඵල ද අසංඛත ධාතු සංඛ්‍යාත නිර්වාණය ද ලෝකෝත්තරය යනු එහි අර්ථ යි. මෙයින් නිර්වාණය ප්‍රඥප්ති මාත්‍රයක් නො වන බව දැක්වූහ. ලෝක ව්‍යවහාර සිද්ධ ප්‍රඥප්ති ලෝකෝත්තර නො වන බැවිනි.
නිර්වාණය සෝවාන් ආදි සතර මාර්ග ඥානයෙන් සාක්‍ෂාත් කටයුතු ය. ප්‍රතිවේධ කළ යුතු ය. දැක්ක යුතු ය. ඇස් ඇත්තහු විසින් ඇසින් චන්‍ද්‍ර මණ්ඩලය සේ මාර්ගඥානලාභී ආර්යයන් විසින් මාර්ග ඥානයෙන් නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ය. මෙයින් ආර්යයන්ට නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ සිද්ධ බව කීහ. ජාත්‍යන්‍ධයනට චන්ද්‍ර මණ්ඩලය නො දැක්ක හැකි වුව ද චන්ද්‍රමණ්ඩලය නැතැ යි නො කිය හැකි ය. ප්‍රතිපත්ති විරහිත අන්ධ පෘථග්ජනයන්ට නිර්වාණය නො දැක්ක හැකි වුව ද නිර්වාණය නැතැ යි නොකිය යුතු ය. ප්‍රාඥ කල්‍යාණ පෘථග්ජනයන්ට නිර්වාණය අනුමාන සිද්ධය නොවත් හොත් ඒ පිණිස ව්‍යායාමය සිඳෙන්නේ ය.
නිර්වාණය මාර්ග ඵලයන්ට අරමුණ ය. නිර්වාණය නැත්නම් මාර්ග ඵල සිද්ධ නො වේ. මෙයින් නිර්වාණයාගේ විද්‍යමානත්‍වය ද තේජවන්ත බව ද කී නියා දත යුතු යි.
නිර්වාණය වාණ සංඛ්‍යාත තෘෂ්ණායෙන් නික්මුණේ ය. එහෙයින්ම එය නිබ්බාණ (නිර්වාණ) යයි කියනු ලැබේ. නිර්වාණය තෘෂ්ණාවට විෂය නො වන්නෙක. තෘෂ්ණා රාගීත්‍යයෙන් ම නිර්වාණය සිද්ධ යි.
ඒ මේ නිර්වාණය වනාහි ශාන්ති ස්වභාවයෙන් එකක් ම වුව ද කාරණ ලේශයෙන් ස උපාදිසේස නිබ්බාණය, අනුපාදිසෙස නිබ්බාණය යි ද්විවිධ වේ. උපාදි නම් පඤ්ච ස්කන්‍ධය යි තෘෂ්ණා දෘෂ්ටි විසින් දැඩි වැ ගනු ලබන්නේ යන අර්ථයෙන් පඤ්චස්කන්‍ධ උපාදි ය යි කියනු ලැබේ. එක දෙශ වශයෙන් හෝ අනවශේෂ වශයෙන් හෝ කර්මක්ලේශ ප්‍රහීණ කල්හි ඒ පඤ්චස්කන්ධ ශේෂ වූයේ උපාදිසෙස ය. උපාදිසෙස සහිත වූ නිර්වාණ ස උපාදිසෙස නිර්වාණය යි. ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවි ජීවත් වන්නහු පිළිබඳ නිර්වාණ සඋපාදිසෙස නිර්වාණ ය යි කී නියා යි. උපාදිසෙස රහිත නිර්වාණ අනුපදිසෙස නිර්වාණය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවියනු පිළිබඳ නිර්වාණ අනුපාදිසෙස නිර්වාණය යි කී නියා යි. මාර්ග ඵල ලබා ජීවත්වන්නහු පිළිබඳ නිර්වාණය ස උපාදිසෙසය යි ද අර්හත් ඵලය ලබා අපවත් වූවහු පිළිබඳ නිර්වාණය ය යි ද කී යේ යි. “ද්වෙ මා භික්ඛවෙ නිබ්බාණධාතුයො. කතමා දෙව? ස උපාදිසෙසා ච නිබ්බාණධාතු අනුපදිසෙසා ච නිබ්බාණ ධාතු” යි. ඉතිවුත්තක යෙහි වදාළේ ය. පළමුවැන්න ක්ලේශ පරිනිර්වාණ ය යි ද දෙ වැන්න ස්කන්ධ පරිනිර්වාණය යි ද එසේ ම පළමුවැන්න දිට්ඨධම්ම නිබ්බාණ ය යි ද දෙවැන්න සම්පරායික නිබ්බාණ ය යි ද කියන ලදි.
එසේ ම නිර්වාණය සුඤ්ඤත අනිමිත්ත අප්පණිහිතය යි ආකාර භේදයෙන් ත්‍රිවිධ වේ.
ආරම්මණ වශයෙන් ද සම්ප්‍රයෝග වශයෙන් ද රාග ද්වේෂ මෝහයන්ගෙන් ශූන්‍ය බැවින් නිර්වාණය සුඤ්ඤත ය. එසේ ම රාගාදී නිමිත්ත රහිත බැවින් අනිමිත්ත ය. රාගාදි ප්‍රණිධි රහිත බැවින් අප්පණිහිත ය. තවද සකල සංස්කාරයන්ගෙන් ශූන්‍ය බැවින් හෝ නිර්වාණය සුඤ්ඤත ය. සකල සංස්කාර නිමිති රහිත බැවින් අනිමිත්තය ය. තෘෂ්ණා ප්‍රණිධි රහිත බැවින් අප්පණිහිත යි.
මෙහි විස්තරයෙක් මෙසේ දතයුතු.
සංඛත ධර්මයෝ පලිබෝධ සහිත ය. ඔව්හු නානා පලිබෝධයන්ගෙන් නිතර මහාජනයා පෙළති. ශාන්ත සුඛයක් ලැබ ගන්නට නො දෙති. අසංඛත සංඛ්‍යාත නිර්වාණය එ බඳු සියලු පලිබෝධයන්ගෙන් ශූන්‍ය ය. එ බැවින් සුඤ්ඤත ය.
සංඛත ධර්මයෝ නිමිත්ත සහිත ය. නිමිත්ත නම් ඉපැදුම් පැවතුම්වලට මුල් වන රාගාදි ය යි. ඒ නිමිත්තයෝ කෙලෙස්වලට ද ජරාමරණාදීන්ට ද සියලු අනර්ථයන්ට ද වස්තු වෙති. එ බඳු නිමිත්ත රහිත බැවින් අසංඛත සංඛ්‍යාත නිර්වාණය අනිමිත්ත ය.
සංඛත ධර්මයෝ ප්‍රණිධි සහිත ය. ප්‍රණිධි නම් ප්‍රාර්ථනාය-ආසා ය-පිපාසා යි. ප්‍රණිධි සහිත බැවින් ඔව්හු නිතර ආසා දුක් උපදවති. අසංඛත සංඛ්‍යාත නිර්වාණය ප්‍රණිධි රහිත ය. එ බැවින් අප්පණිහිත යි. වෙදයිත සුඛය ශාන්තිසුඛ ය යි සුඛය දෙවැදෑරුම් වේ. මනුෂ්‍ය දේව බ්‍රහ්ම සම්පත් ලැබැ ඒ වැළඳීම් වශයෙන් ලැබෙන ප්‍රීතිසෞමනස්‍ය වෙදයිත සුඛ යි. එය විදුලියක් සේ ක්‍ෂණ ක්‍ෂණයෙහි බිඳී යන්නේ ය. සම්පත් අනිත්‍ය ස්වභාව යි. එද අනන්ත ආසා දුක් උපදවයි. එබැවින් වෙදයිත සුඛය දුඃඛයෙහි ම ඇතුළත් ය. “යං කිංචි වෙදයිතං තං සබ්බං දුක්ඛස්මිං වදාමි” වෙදයිත සියල්ල දුක් යයි කියමි යි එබැවින් වදාළ සේක. විඳගන්නා සුවයෙක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපයෙක්දැ යි විචාරණ ලද සැරියුත් හිමියෝ ද “එත දෙවෙත්‍ථ ආවුසො නිබ්බාණෙ සුඛං යදෙත්‍ථ වෙදයිතං නත්‍ථි” විඳ ගැන්මක් නැති බව ම තමා ඇවැත්නි නිර්වාණයෙහි සුවය යි වදාළෝ ය. ශාන්ති සුඛය වනාහි පැමිණි යා වූ ද මතු පැමිණෙන්නා වූ ද ක්ලේශාදි දුක් ද අපායාදි දුක් ද සිඳලන්නේ ය. එබැවින් ඒ ශාන්ති සුඛය ම ඒකාන්ත සුවය යි. අචල සුවය යි. ශාන්ති සුඛය නොලත් සත්ත්‍වයෝ දෙව් මිනිස් සැප විඳින්නෝ ද අපාය දුක්වලට ද හිමි වෙති. මෙසේ සියලු ආසා දුක් සිදුවන බැවින් නිර්වාණය අප්පණිහිත යි. නිර්වාණය පිළිබඳ කිය යුතු බොහෝ කරුණු ඇත ද ශිෂ්‍ය ඛෙද භීතියෙන් මෙතෙකින් නවතම්හ.
“පදමච්චුත මච්චන්ත මසංඛතමනුත්තරං
නිබ්බාණමිති භාසන්ති වාණමුත්තා ම හසයො.”
ච්‍යුති රහිත - අන්ත රහිත - ප්‍රත්‍යයොත්පන්න නුවූ නිරුත්තර පදය නිර්වාණය යි ක්‍ෂීණාශ්‍රව මහර්ෂීහු කියති.
මෙසේ තථාගතවරයෝ චිත්ත චෛතසික රූප නිර්වාණ යන සතර ආකාරයෙන් පරමාර්ථය ප්‍රකාශ කරත්.
“ඉති චිත්තං චෛතසිකං
රූප නිබ්බාණ මිච්චපි
පරමත්‍ථං පකාසෙන්ති
චතුද්ධාව තථාගතා.”
ප්‍රශ්න.
- ලෝකෝත්තර ධර්ම කවරේ ද? නිර්වාණය කුමක් හෙයින් ලෝකෝත්තර ද?
- නිර්වාණය කුමකින් දැක්ක යුතු ද? කුමකට අරමුණු වේද? කුමක් හෙයින් නිර්වාණය යි කියනු ලැබේ ද?
- සඋපාදිසෙස අනුපාදිසෙස නිර්වාණ ධාතු විස්තර කරනු.
- සුඤ්ඤත අනිමිත්ත අප්පණිහිත පැහැදිලි කරනු.
- නිර්වාණ සුඛය පැහැදිලි කරනු.
පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්වාමීන් කළ අභිධර්ම චන්‍ද්‍රිකාවෙහි රූප පාදය යි.