10. රූප ප්‍රවෘත්ති ක්‍රම.

යට පාඩමෙන් රූප කලාප දක්වන ලද්දේ ය. මෙහි රූප පවත්නා පිළිවෙල දක්වනු ලැබේ.

කාම ලෝකය රූප ලෝකය යි රූපී ලෝක දෙ වැදෑරුමි. කාම ලෝක නම් සතර අපාය මිනිස් ලොව දෙව්ලොව යන එකොළොස් කාම භූමි යි. රූප ලෝක නම් බ්‍රහ්මපාරිසජ්ජාදි සොළොස් බ්‍රහ්ම භූමි යි. අරූපලෝකයෙහි කැලම රූප නැත්තේ ය.

අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ, ඔපපාතිකය යි සත්ත්‍වයන් ඇතිවීමේ ක්‍රම සතරෙකි. මොවුනට අණ්ඩජයොනි යනාදී වශයෙන් යොනි ය යි කියනු ලැබේ.

වදාළේ මැ යි, මහා සීහනාද සූත්‍රයෙහි: “චතස්සොඛො ඉමා සාරිපුත්ත යොනිසො කතමා චතස්සො! අණ්ඩජායොනි, ජලාබුජායොනි, සංසෙදජායොනි, ඔපපාතිකායොනි” යි අණ්ඩයෙන් - බිජුවටින් උපදින්නෝ අණ්ඩජයෝ ය. පක්‍ෂි සර්පාදීහු යි. “යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා අණ්ඩකොසං අභිනිබ්භිජ්ජ අභිනිබ්භිජ්ජ ජායන්ති අයං වුච්චති සාරිපුත්ත අණ්ඩජායොනි” ශාරිපුත්‍රය, යම් සත්ත්‍ව කෙනෙක් අණ්ඩකෝෂය බිඳැගෙනැ උපදිත් ද එය අණ්ඩජ යොනිය යි කියනු ලැබේ. යනු එහි අර්ථ යි. ජලාබුයෙන් උපදින්නෝ ජලාබුජයෝ ය. මනුෂ්‍යාදීහු යි. “යෙ ඛො පන තෙ සාරිපුත්ත සත්තා වත්‍ථිකොසං අභිනිබ්භිජ්ජ අභිනිබ්භිජ්ජ ජායන්ති අයං වුච්චති සාරිපුත්ත ජලාබුජායොනි” ශාරිපුත්‍රය, යම් සත්ත්‍ව කෙනෙක් වස්තිකෝෂය බිඳැ ගෙනැ උපදිද්ද එය ජලාබුජ යෝනිය යි. “ජරං ජීරණං භෙදං යාති උපෙතීති ජලාබු. ජලං වුච්චති කලලං තං ආවුණති පටිච්ඡාදෙතීති ජලාබු” යනු හෙයින් ජීර්ණයට භෙදයට යන්නේ හෝ ජල සංඛ්‍යාත කලල රූපය වසන්නේ හෝ ජලාබු නම් වේ. ලෝකව්‍යවහාරයෙහි වැදෑමසයයි කියනු ලැබේ. පෙළෙහි වස්තිකෝෂයයි කියනු ලදි. සංසේදයෙන් උපදින්නෝ සංසේදජයෝ ය. මැසි, මදුරු ආදීහු ය. “යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා පූතිමච්ඡෙ වා ජායන්ති පූති කුණපෙ වා පූතිකුම්මාසෙ වා චන්‍දනිකාය වා ඔලිගල්ලෙ වා ජායන්ති අයං වුච්චති සාරිපුත්ත සංසෙදජා යොනි” ශාරිපුත්‍රය, යම් සත්ත්‍ව කෙනෙක් කුණු මසෙහි හෝ කුණු මිනියෙහි හෝ කුණු බොජුන්හි හෝ ගම්දොර ගවරවල හෝ උපදිත් ද එය සංසෙදජයොනි යි. සංසේදජ නම් දියසීරාව ඇති තෙත් ස්ථාන යි. අපිරිසිදු තැන් වශයෙන් කුණු මස් ආදියද පිරිසිදු තැන් වශයෙන් පියුම් මල් ඵල ආදිය ද දත යුතු. මේ ත්‍රිවිධාකාරයෙන් ම වෙනස් වැ පරිපූර්ණාඞ්ග ප්‍රත්‍යඞ්ග ඇති වැ පහළ වන්නෝ ඔපපාතිකයෝ ය. දේවාදීහු යි. “දෙවා නෙරයිකා එකච්චෙ ච මත්‍රස්සා එකච්චෙ ච විනිපාතිකා අයං වුච්චති සාරිපුත්ත ඔපපාතිකා යොනි” ශාරිපුත්‍රය, දෙවියෝ ද නෙරයිකයෝ ද ඇතැම් මනුෂ්‍යයෝ ද ඇතැම් විනිපාතිකයෝ ද ඔපපාතිකයෝනි යි කියනු ලැබේ. මෙහි දේව නාමයෙන් බ්‍රහ්මයෝ ද ගැනෙති. නෙරයික නිජ්ඣාමපෙත දේව බ්‍රහ්ම ඔපපාතික ය. තිරශ්චීන සෙසු ප්‍රේත අසුර මනුෂ්‍ය භූමිෂ්ඨදෙව සතරින් ම උපදිත්.

පරිපූර්ණ ඉන්ද්‍රිය ඇත්තෝය. අපරිපූර්ණ ඉන්ද්‍රිය ඇත්තෝ යයි ද සත්ත්‍වයෝ දෙ වැදෑරුම් වෙති. ඉන්ද්‍රිය සම්පූර්ණ වූවෝ පරිපූර්ණ ඉන්ද්‍රිය ඇත්තෝය. ඌන ඉන්ද්‍රිය ඇත්තෝ ද පරිපූර්ණ ඉන්ද්‍රිය ඇත්තෝ ය.

සත්ත්‍වයන්ගේ රූප ප්‍රවෘත්තිය ප්‍රතිසන්‍ධික්‍රමය ප්‍රවෘත්ති ක්‍රමය යි ද දෙ වැදෑරුම් වේ. උත්පත්තික්‍ෂණයෙහි රූප ප්‍රවෘත්තිය ප්‍රතිසන්‍ධි ක්‍රමය යි. පවත්නා කාලයෙහි රූප ප්‍රවෘත්තිය ප්‍රවෘත්ති ක්‍රමය යි. මතු දැක්වෙන පිළිවෙලින් එහි විශේෂ විභාග දත යුතු.

යට දැක්වුණු අටවිසි රූප ම වනාහි කාම ලෝකයෙහි සුදුසු පරිදි ප්‍රවෘත්ති කාලයෙහි ලැබෙන්නේ ය.

ප්‍රවෘත්ති වශයෙන් කාම ලෝකයෙහි නොලැබෙන රූපයෙක් නැති. එසේ වුව ද යම් යම් සත්ත්‍වයන් කෙරෙහි එය අඩු වැඩි විය හැකිය. ඒ එසේමැ යි. ස්ත්‍රීන්ට පුරුෂ භාව රූපය නැත්තේ ය. පුරුෂයන්ට ස්ත්‍රීභාව රූපය නැත්තේ ය. නපුංසකයන්ට මේ දෙක ම නැත්තේ ය. අන්‍ධාදීන්ට චක්ඛුප්පසාදාදිය නැත්තේ ය. සුදුසු පරිදි ය කීයේ එහෙයිනි. සාමාන්‍යයෙන් බලත් හොත් කාම ලෝකයෙහි ප්‍රවෘත්ති වශයෙන් සියලු රූප ම ලැබේ.

ප්‍රතිසන්‍ධි කාලයෙහි වනාහි සංසේදජයන්ට හා ඔපපාතිකයන්ට චක්ඛු සෝත ඝාණ ජිව්හා කාය භාව වත්‍ථු දසක සංඛ්‍යාත සප්ත දසකයෝ උත්කෘෂ්ට වශයෙන් ලැබෙති. ඔමක වශයෙන් චක්ඛු සෝත ඝාණ භාව දසක ඇතැම්විට නො ලැබේ.

සංසේදජයෝ ප්‍රතිසන්‍ධියෙහි පරිපූර්ණ ඉන්‍ද්‍රිය ඇතිවැ උපදිති. එහෙත් ඔවුන්ගේ අඞ්ග ප්‍රත්‍යඞ්ග පසුවැ ක්‍රමයෙන් වැඩෙන්නේ ය. ඔපපාතිකයෝ ද පරිපූර්ණ ඉන්‍ද්‍රිය ඇති වැ උපදිති. එහෙත් ඔවුන්ගේ අඞ්ග ප්‍රත්‍යඞ්ග පසු වැ වැඩීමකට නො පැමිණේ. සොළොස් අටළොස් හැවිරිදි ශරීර ප්‍රමාණයෙන් ම දෙවියෝ ඔපපාතික වෙති. අපායාදියෙහි දු වැඩුණු අඞ්ග ප්‍රත්‍යඞ්ග ඇති වැ ම උපදිති. මතු වැඩීමෙක් නැති.

“ඔමක වශයෙන් චක්ඛුදසකාදිය ඇතැම් විට නො ලැබෙන්නේය” යි කීයේ ජාත්‍යන්‍ධ ජාතිබධිර ජාත්‍යඝ්‍රාණ නපුංසක ආදී කල්පිකයන්ගේ වශයෙනි. සුගතියෙහි මහානුභාව ඇති කර්මයෙන් උපදනා ඔපපාතිකයන්ට ඉන්‍ද්‍රිය විපරීතයෙක් නොවන්නේය. එබැවින් සුගතියෙහි චක්ඛු සෝත ඝාණ නො ලැබීම සංසේදජයන්ටය යි දත යුතු. එසේම සුගතියෙහි භාවරූපයාගේ නොලැබීම කියන ලද්දේ ආදී කල්පිකයන්ගේ වශයෙනි. දුර්ගතියෙහි චක්ඛු සෝත භාව රූපයන්ගේ නො ලැබීම සංසේදජ ඔපපාතික දෙපක්‍ෂයට ම වන්නේ ය. එයිනුදු ඝ්‍රාණය නොලැබීම සංසේදජයන්ට ය. “අඝාණකො ඔපපාතිකො නත්‍ථි” ඝ්‍රාණ රහිත ඔපපාතිකයෙක් නැතැ යි. යමක අටුවායෙහි දක්වන ලදි. ජිව්හා විකලතාවෙක් කිසිවකුට නොවන්නේ යයි ටීක‍ාවෙක දක්වා තිබේ. මෙසෙයින් කලාප හානිවන පරිදි දත යුතු.

අණ්ඩජ ජලාබුජ සංඛ්‍යාත ගබ්භසෙය්‍යක සත්ත්‍වයන්ට ප්‍රතිසන්‍ධියෙහි කායදසක භාවදසක වත්‍ථුදසක සංඛ්‍යාතදසක තුන පහළ වන්නේ ය. එහි දු ඇතැම් විට අභාවක සත්ත්‍වයන්ගේ වශයෙන් භාව දසකය නො ලැබේ. ප්‍රවෘත්ති කාලයෙහි ඔවුන්ට ක්‍රමයෙන් චක්ඛුදසකාදිය ලැබේ.

මෙහි විස්තරය මෙසේ දත යුතු යි.

ගැබෙහි හෝනෝ ගබ්භසෙය්‍යකයයෝ ය. ඔහු නම් අණ්ඩජ ජලාබුජ සත්ත්‍වයෝ ය. අණ්ඩජ ජලාබුජ සත්ත්‍වයෝ මාතෘ කුක්‍ෂියෙහි පිළිසිඳ ගනිති. එසේ පිළිසිඳීම් වශයෙන් ලැබෙන රූප කාය භාව වත්‍ථු දසක ය යි කියන ලදි. නපුංසක නම් භාව දසකය නො ලැබේ. ඇතැම් තැනෙක කලල රූප ය යි දැක්වෙන්නේත් මේ ය. එය දේව නිර්මාණයෙක් හෝ මාතෘ පිතෘ නිර්මාණයෙක් හෝ නො වේ. කර්ම නිර්මාණයෙකි. ප්‍රතිසන්‍ධි චිත්තය කර්ම විපාකයෙකි. ඒ සමග ම පහළ වන මේ රූප තිස හෙවත් කලල රූපය කර්මජ යි. එහි ප්‍රමාණය සියුම් එළු ලෝමයක් ප්‍රසන්න තෙලෙක බහා ගසා දැමූ කල අන්තිමට ලැබෙන බින්දු ප්‍රමාණ ය යි කියනු ලැබේ. මනුෂ්‍ය ඇසට විසය නො වන දිව්‍ය ඇසින් බලාගත යුත්තෙකි. කලල රූපය සතියක් ඉක්මීමෙන් අර්බුදාවස්ථාවට ද අර්බුද රූපය සතියක් ඉක්මීමෙන් පෙසි අවස්ථාවට ද පෙසි රූපය සතියක් ඉක්මීමෙන් ඝනාවස්ථාවට ද ඝන රූපය සතියක් ඉක්මීමෙන් පසාඛ අවස්ථාවට ද පැමිණේ. ඉක්බිති සයවන සතියෙහි සිට කෙසාදිය සෑදෙන්නේ ය වදාළේ මැ යි.

“පඨමං කල්ලංහොති කලලාහොති අබ්බුදං

අබ්බුදා ජායතෙ පෙසි පොසියා නිබ්බත්තතෙ ඝනො

ඝනා පසාඛාජා යන්ති කෙසා ලොමා නඛාපි ච.”

මෙහි අර්බුද රූපය මස් සේදූ ජලයක් බඳුය යි ද පෙසි රූපය දියවුණු ඊයම් බින්දුවක් බඳු ය යි ද ඝන රූපය කිකිළි බිජුවක් බඳු ය යි ද පසාඛා රූපය දෑත් දෙපා හිස පිණිස වෙන් වූ පිළක පසකින් යුක්ත ය යි ද දක්වන ලද්දේ ය.

මෙසේ ක්‍රමයෙන් වඩුත් වඩුත් එකොළොස් වන සතිය අවසානයෙහි චක්ඛු දසක සොතදසක ඝාණදසක ජිව්හාදසක යන දසක සතර ද පහළ වන්නේ ය.

මෙහි කිය යුත්තෙක් ඇති. ඇතැම් ආචාර්යවරයෝ සත්වන සතියෙහි පටන් චක්ඛු දසකාදි සතර ක්‍රමයෙන් පහළ වන්නේ ය යි කියති. එයට ඇතැම් ආචාර්යවරයෝ ඉඳුරා විරුද්ධ වැ සාධක දක්වමින් ප්‍රතික්‍ෂේප කරති. කථා වස්තු ප්‍රකරණ අටුවායෙහි “සෙසානි චත්තාරි සත්ත සත්තති රත්තිම්හි ජායන්ති” සෙසු සතර සැත්තෑ සත්වන රාත්‍රියෙහි උපදීය’යි දැක්වූ බැවින් එකොළොස් වන සතිය අවසන් වූ දා රාත්‍රී චක්ඛුදසකාදි සතර පහළ වන්නේ ය යි දත යුතු. තව ද සත්වන සතියෙහි චක්ඛු දසකය ද අට වන නව වන දස වන සතියෙහි පිළිවෙලින් සෝත ඝාණ ජිව්හා දසක ද පහළ වන්නේ ය. යන ආචාර්ය මතය ද කථා වස්තු අටුවායෙන් ප්‍රතිශිද්ධ වන බව දත යුතු. ක්‍රමයෙන් යන්නට ඇතැම්හු ‘කම්මෙන’ යි ශුද්ධ කොටැ කර්මයෙන් ය යි කියත්.

වෛද්‍යශාස්ත්‍රයෙහි කලල රූපාදීන්ගේ උත්පත්තිය පිළිබඳ දැක්වුණු ක්‍රමය මෙයට වෙනස් ය. “තත්‍ර පථමෙ මාසි කලලං ජායතෙ” යනාදීන් පළමුවන මාසයෙහි කලල රූපය සෑදෙන බව ද දෙවන මාසයෙහි සිහිල් උණු පවන් යන මෙයින් මොනවට මුහු කරනු ලබන මහාභූතයන්ගේ දැඩි සම්බන්‍ධයෙන් ඝනය සෑදෙන බව ද එ ද ඉදින් කිකිළි බිජුවටක් සේ පිණ්ඩයෙක් වී නම් පිරිමියෙකු වන බව ද ගැහැණියක නම් පෙසි වන බව ද නපුංසකයෙක් නම් අර්බුද වන බව ද තුන්වන මාසයෙහි අත් පා හිස සඳහා පිළික පසක් නැගී සියුම් අඞ්ග ප්‍රත්‍යඞ්ග විභාගය වන බව ද සතර වන මාසයෙහි අඞ්ගප්‍රත්‍යඞ්ග විභාගය ප්‍රව්‍යක්තතර වන බව ද ගර්භ හෘදය ප්‍රව්‍යක්ත වීමෙහි චේතනා ධාතුව අභිව්‍යක්ත වන බව ද සුශ්‍රැතයෙහි දක්වන ලදි.

යට දැක්වුණු පරිදි ප්‍රතිසන්‍ධියෙහි පටන් කර්ම සමුත්‍ථාන රූපයෝ ද දෙවන චිත්තයෙහි හෙවත් ප්‍රතිසන්‍ධියට අනතුරු වැ ලැබෙන භවඞ්ගයෙහි පටන් චිත්ත සමුට්ඨාන රූපයෝ ද ප්‍රතිසන්‍ධි චිත්තයාගේ ස්ථිති කාලයෙහි පටන් සෘතු සමුත්‍ථාන රූපයෝ ද ඔජාඵරණයෙහි පටන් ආහාර සමුට්ඨාන රූපයෝ දැයි චතුසමුට්ඨාන රූප කලාප සන්තතිය කාමලෝකයෙහි දීප ජාලාවක් මෙන් ද සංගාශ්‍රෝතයක් මෙන් ද ආයු ඇති තාක් නො සිඳී පවත්නේ ය.

කර්ම චිත්ත සෘතු ප්‍රත්‍යයයෙන් ද ඔජාව ලැබේ. විශේෂයෙන් ගැබ හොත් දරුවාට ඔජාව ලැබෙන්නේ මෑණියන් වළඳන භෝජනයෙන් ය. සුදුසු කාලයෙහි දරුවාගේ නැබෙන් නැඟුණු උපුල් දණ්ඩක් බඳු නාළයෙන් මෑණියන් වළඳන ආහාරයාගේ රසය දරුවාට ඔජාව දෙන්නේ ය. සංසෙදජ ඔපපාතිකයෝ ලැබුණු යම් කිසිවක් හෝ තමාගේ ම ඛෙලය හෝ ආහාර කොටැ ගෙනැ ඔජාව ලබත්.

මැරෙන කල චුති චිත්තයට මොබ සතළොස් වන චිත්තයාගේ ස්ථිති කාලය පටන් කර්මජ රූපයන්ගේ උපැද්ම නවතී. පළමු ඉපැද තුබුණු කර්මජ රූප ද චුති චිත්තය සමග ම නිරුද්ධ වන්නේ ය. චුති චිත්තයෙන් පසු සොළොස් වන චිත්තක්‍ෂණවස්ථායෙහි පමණ චිත්තජ රූප සන්තතිය ද ආහාරජ රූප සන්තතිය ද සිඳී යන්නේ ය. ඔවුන් අනුපාදින්නක සන්තානයෙහි නූපදනා බැවිනි. ඉක්බිති මෘත කලෙබර ය යි කියනු ලබන උතුසමුට්ඨාන රූප පරම්පරාව පවත්නේ ය. මළ සත්ත්‍වයනට වැළිත් භවාන්තරගත ප්‍රතිසන්ධියෙහි පටන් පෙර කී සේ රූප සන්තතිය වන්නේ ය.

ප්‍රශ්න.

  1. චතුර්විධ යෝනි විස්තර කරනු.
  2. සංසේදජ ඔපපාතිකයන්ගේ ප්‍රතිසන්ධියෙහි උත්කෘෂ්ට වශයෙන් ලැබෙන සප්තදශකය දක්වනු. ඔමක වශයෙන් කිමෙක් නො ලැබේ ද?
  3. අණ්ඩජ ජලාබුජයන්ගේ ප්‍රතිසන්ධියෙහි ලැබෙන දසක තුන දක්වනු.
  4. චක්ඛුදසකාදීන් පහළවීමෙහි අවස්ථාව හා මත භේද දක්වනු.
  5. මරණාසන්න කාලයෙහි රූප නැති වන සැටි දක්වනු. මළ මිනියක පවත්නේ කවර රූප ද?