යට පාඩමින් රූප සමුට්ඨාන දක්වන ලදි. මෙහි රූප කලාප දක්වනු ලැබේ.
රූප කලාප නම් එක් වැ ම උපදින-එක් වැ ම නිරුද්ධ වන-එක ම නිශ්‍රය ඇති එක් වැ ම පවතින රූප සමූහයෝ ය. ඔව්හු මුළුල්ල එක්විස්සෙකි. ඉන් නවයෙක් කම්ම සමුට්ඨාන කලාප ය. සයෙක් චිත්ත සමුට්ඨාන කලාප ය. සතරෙක් සෘතු සමුට්ඨාන කලාප ය. දෙකෙක් ආහාර සමුටඨාන කලාප යි.
කම්ම සමුට්ඨාන රූප කලාප නවය.
චක්ඛුදසක, සෝතදසක, ඝාණදසක, ජිව්හාදසක, කායදසක, ඉත්‍ථිභාව දසක, පුම්භාව දසක, වත්‍ථු දසක, ජිවිත නවක යන මේ නවය කම්මසමුට්ඨාන කලාප යි. මොව්හු කර්මයෙන් ම හටගන්නෝ ය. කර්මජ රූප අටළොස කලාප වශයෙන් නවයකට සංග්‍රහ වූ බව දත යුතු යි.
චක්‍ෂුයෙන් උපලක්‍ෂිත වූ හෝ චක්‍ෂුව ප්‍රධාන කොට ඇත්තා වූ හෝ දසය චක්ඛු දසක ය යි. චක්‍ෂුඃ ප්‍රසාදය, ජීවිතින්‍ද්‍රිය, අවිනිර්භෝග යන මේ දසය චක්ඛුදසක ය. මේ දසය උපදින්නේ ද එකට ය. නිරුද්ධ වන්නේ ද එකට ය. මොවුන්ගේ නිඃශ්‍රය ද එකෙක් ම ය. පැවැත්ම ද එක්වැ ම ය. එහෙයින් මේ චක්ඛු දසක කලාපයයි කියනු ලැබේ. සෙස්සෙහි දු ක්‍රමය මෙසේ ය.
සොතප්පසාද, ජීවිතින්‍ද්‍රිය, අවිනිර්භෝග-සොත දසක ය. ඝාණප්පසාද, ජීවිතින්‍ද්‍රිය, අවිනිර්භෝග-ඝාණ දසකය. ජිව්හාප්පසාද, ජීවිතින්‍ද්‍රිය අවිනිර්භෝග-ජිව්හා දසකය. කායප්පසාද ජීවිතින්‍ද්‍රිය, අවිනිර්භෝග-කාය දසකය, ස්ත්‍රීභාව, ජීවිතින්‍ද්‍රිය අවිනිර්භෝග ඉත්‍ථිභාව දසකය, පුම්භාව, ජීවිතින්‍ද්‍රිය, අවිනිර්භෝග පුම්භාව දසකනය, හදයවත්‍ථු ජීවිතින්‍ද්‍රිය, අවිනිර්භෝග-වත්‍ථු දසකය, ජීවිතින්‍ද්‍රිය හා අවිනිර්භෝග-ජීවිත නවකයයි. මේ ලැබෙන සැටි මතු දැක්වේ.
චිත්ත සමුට්ඨාන රූප කලාප සය.
සුද්ධට්ඨකය, කායවිඤ්ඤත්ති නවකය, වචීවිඤ්ඤත්ති දසකය, ලහුතාදෙකා දසකය, කායවිඤ්ඤත්ති ලහුතාදි ද්වාදසකය, වචීවිඤ්ඤත්ති සද්දලහුතාදි තෙරසකය යන සය චිත්ත සමුට්ඨාන කලාපයෝ ය. මොහු සිතින් නිපදෙත්.
සුද්ධට්ඨක නම් අවිනිර්භෝග රූපය. එම කාය විඤ්ඤත්තියා හා යුක්තවූයේ කාය විඤ්ඤත්ති නවකය වේ. වචීවිඤ්ඤත්ති ශබ්ද හා යුක්ත වූයේ වචීවිඤ්ඤත්ති දසකය වේ. ලහුතා මුදුතා කම්මඤ්ඤතා හා යුක්ත වූයේ ලහුතාදෙකා දසකය වේ. කාය විඤ්ඤත්ති ලහුතා මුදුතා කම්මඤ්ඤතා හා යුක්ත වූයේ කාය විඤ්ඤත්ති ලහුතාදි ද්වාදසකය වේ. වචීවිඤ්ඤත්ති සද්ද ලහුතා මුදුතා කම්මඤ්ඤතා හා යුක්තවූයේ වචීවිඤ්ඤත්ති සද්දලහුතාදි තෙරසකය වේ. යම් තැනෙක වචීවිඤ්ඤත්තිය ඇත්තේ නම් එහි ශබ්දය ද ඇත්තේ ය.
විතක්ක විප්ඵාර ශබ්දය වචීවිඤ්ඤත්ති රහිත ශබ්ද නවකයෙකැ යි ඇතැම් තැනෙක දක්වන ලදුවත් එය ආචාර්යයන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදි.
විශුද්ධිමාර්ගයෙහි ද ශබ්දනවකයක් දක්වනලද හෙයින් සුද්ධට්ඨක, සද්දනවක, කායවිඤ්ඤත්ති නවක, වචීවිඤ්ඤත්ති දසක, ලහුතා දෙකාදසක, සද්ද ලහුතාදි ද්වාදසක, කාය විඤ්ඤත්ති ලහුතාදි ද්වාදසක, වචීවිඤ්ඤත්ති සද්දලහුතාදි තෙරසකය යි චිත්තජ රූපකලාප අටෙක් ඇතැම් ටීකායෙක දක්වන ලද්දේ ය.
උතුසමුට්ඨාන රූප කලාප සතර
සුද්ධට්ඨක, සද්දනවක, ලහුතා දෙකාදසක, සද්දලහුතාදි ද්වාදසකය යි උතුසමුට්ඨාන රූපකලාප සතරෙකි. මොව්හු සෘතුයෙන් හටගන්නෝ ය.
සුද්ධට්ඨක නම් අවිනිර්භෝග රූප අට ය. එම සද්ද සමග යුක්ත වූයේ සද්දනවකය. ලහුතා මුදුතා කම්මඤ්ඤතා සමග යුක්ත වූයේ ලහුතා දෙකාදසකය. ශබ්ද ලහුතා මුදුතා කම්මඤ්ඤතා සමග යුක්ත වූයේ සද්ද ලහුතාදි ද්වාදසකය. මෙහි ශබ්ද සෘතුජ යි.
ආහාර සමුට්ඨාන රූප කලාප දෙක.
සුද්ධට්ඨක, ලහුතා දෙකාදසකය යි ආහාර සමුට්ඨාන කලාප දෙකෙකි. මේ දෙක ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ ය.
සුද්ධට්ඨක, ලහුතා දෙකාදසකය යි ආහාර සමුට්ඨාන කලාප දෙකෙකි. මේ දෙක ආහාර ප්‍රත්‍යයයෙන් හටගන්නේ ය.
සුද්ධට්ඨක නම් අවිනිර්භෝග රූපය එම ලහුතා මුදුතා කම්මඤ්ඤතා සමග යුක්ත වූයේ ලහුතා දෙකාදසකය යි.
මේ එක්විසි රූප කලාප අතුරෙන් සුද්ධට්ඨක සද්ද නවක යන උතුසමුට්ඨාන කලාප දෙක බාහිරයෙහි ද ලැබේ. සෙසු සියල්ල අධ්‍යාත්මයෙහි ය.
“කම්ම චිත්තොතුකාහාර සමුට්ඨානා යථාක්කමං,
නවච්ඡ චතුරො ද්වෙ ති කලාපා එකවීසති.”
කර්මජ රූප කලාප නවයෙකි. චිත්තජ රූප කලාප සයෙකි. උතුජරූප කලාප සතරෙකි. ආහාරජ රූප කලාප දෙකෙකි. මෙසේ මුළුල්ල එක්විස්ස ය.
ආකාශ ධාතුව කලාපයන්ගේ පරිච්ඡේද මාත්‍ර බැවින් කිසි රූප කලාපයෙක අඞ්ගත්‍වයට නොපැමිණේ. උපචයාදී ලක්‍ෂණ රූප ද රූපයන්ගේ උත්පාදාදී ලක්‍ෂණ මාත්‍ර බැවින් විඤ්ඤත්ති මෙන් රූප කලාප පිළිබඳ අඞ්ග නොවී ය.
කියන ලද මැ යි.
“කලාපානං පරිච්ඡෙද ලක්ඛණත්තා විචක්ඛණා
න කලාපඞ්ගමිච්චාහු ආකාසං ලක්ඛණානිච.”
අර්ථ සුගම යි.
ප්‍රශ්න.
- රූප කලාප යන්නෙහි අර්ථය පැහැදිලි කරනු. ඔව්හු සියල්ල කෙතෙක් ද?
- කර්මජ රූප කලාප කෙතෙක් ද? කවරහු ද?
- චිත්තජ රූප කලාප විස්තර කරනු.
- සෘතුජ, ආහාරජ රූප කලාප දක්වනු.
- කලාපාඞ්ග නො වන රූප දක්වා එයට හේතු දක්වනු. බාහිරයෙහි කවර කවර රූප කලාප ඇත්තේ ද?