10. චතුර්විධ කර්මයන්ගේ විපාක ස්ථාන

විපාක දෙන ස්ථාන වශයෙන් කර්ම චතුර්විධ වන සැටි 8 වන 9 වන පාඩම්වලින් දක්වන ලදි. ඒ විපාක ස්ථාන ම මෙහි දක්වනු ලැබේ.

1. දොළොස් අකුසල් අතුරෙන් උපෙක්ඛා සහගත උද්ධච්චය හැරැ අවශේෂ එකොළොස සතර අපායෙහි ප්‍රතිසන්ධි විපාක දෙන්නේ ය. මේ ප්‍රතිසන්ධි විපාකය නම් අකුශල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය බව දතයුතු. උද්ධච්ච චිත්තය ප්‍රතිසන්‍ධි විපාක නොදෙන්නේ එහි ප්‍රතිසන්‍ධි දායක ශක්තිය නැති බැවිනි. ඒ උද්ධච්ච චිත්තය සමග දොළොස් අකුසල් ම කාමලෝක රූපලෝක යන සියලු තන්හි සුදුසු පරිදි ප්‍රවෘත්ති විපාක දෙන්නේය. මේ ප්‍රවෘත්ති විපාක නම් අකුසල් විපාක සිත් සත බව දත යුතු. සතර අපායෙහි වේවා සප්ත කාම ස්වර්ගයෙහි වේවා රූපලෝකයෙහි වේවා අනිෂ්ටා රම්මණයෙන් උපදින චක්ඛු විඤ්ඤාණාදීහු අකුශල විපාක මැයි. යම් සත්ත්‍වයකුට යම් ප්‍රශාද රූපයෙක් නොපිහිටියේ නම් ඒ වශයෙන් මේ විපාක සිත් නොලැබෙන බැවින් “සුදුසු පරිදියි.” කීයේ ය.

2. කාමාවචර කුසල් අට සප්තකාම ස්වර්ගයෙහි නවවිධ ප්‍රතිසන්ධි ද එහිම ප්‍රවෘත්ති වශයෙන් මහා විපාක අට ද කාම ලෝක රූප ලෝක යන සියලු තන්හි අහේතුක විපාක අට ද සුදුසු පරිදි උපදවන්නේ .

කාමාවචර කුශල අටට විපාක සොළසෙකි. එයින් නවයෙක් ප්‍රතිසන්ධි වශයෙන් ද සොළස ම ප්‍රවෘත්ති වශයෙන් ද ලැබේ. ප්‍රවෘත්ති විපාක සොළසින් අටෙක් සහේතුකය. අටෙක් අහේතුකය. (මේ යට විස්තර කරන ලදි.) සහේතුක අට මෙහි මහා විපාකය යි දැක්විණි. ප්‍රතිසන්ධි විපාක වශයෙන් ලැබෙන නවයද ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන සහේතුක අට ද සප්ත කාම ස්වර්ගයෙහි මුත් අපායයෙහි හෝ බ්‍රහ්මලෝකයෙහි නොලැබෙන බව ද ප්‍රවෘත්ති වශයෙන් ලැබෙන අහේතුක විපාක අට සප්ත කාම ස්වර්ගයෙහි මෙන්ම සතර අපායයෙහි හා රූපාවචරයෙහි ලැබෙන බව ද මෙයින් කී නියා දතයුතු.

කවර සත්ත්‍වයකුට හෝ ඉෂ්ටාරම්මණයෙන් ලැබෙන චක්ඛු විඤ්ඤාණාදීහු කුශල විපාකයෝ ය. ඒ එසේ මැ යි. නිරය වාසීන්ට මහ මුගලන් ස්ථවිරාදීන් දැකීම් වශයෙන් ද, නාග සුපර්ණාදීන්ට මහා සම්පත් ලැබීම් වශයෙන් ද, හස්ති සුනඛාදීන්ට ප්‍රිය භෝජනාදිය ලැබීම් වශයෙන් ද උපදින චක්ඛු විඤ්ඤාණාදීහු කුශල විපාකය. ඔවුන් එහි උපදවාලූ අකුශල කර්ම ඉෂ්ට විපාක දීමෙහි අසමර්ථ බැවිනි. අකුශලයන්ට ඉෂ්ට සුඛ විපාක කැලම නැත්තේය. සප්තකාම ස්වර්ගයෙහි මනුෂ්‍යයන්ට හා දෙවියන්ට ඉෂ්ටාරම්මණයෙන් ලැබෙන චක්ඛු විඤ්ඤාණාදීන්ගේ කුශල විපාකත්‍වයෙහි කිය යුතු ම නැති. රූපී බ්‍රහ්මයන්ට ඉෂ්ට රූප ශබ්ද ලැබේ. එයින් උපදින චක්ඛු විඤ්ඤාණ සොතවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ කාමාවචර කුශල විපාකය. රූපාවචර කර්මයන්ට රූපාවචර විපාක ම මුත් චක්ඛු විඤ්ඤාණාදී අණ්‍ය භූමික විපාකයන්ගේ සම්භවයෙක් නැත.

මෙසේ විපාක දෙන කාමාවචර කුශල කර්ම අට (1) ෂොඩශක ක්‍රමය (2) ද්වාදශක ක්‍රමය (3) අෂ්ටක ක්‍රමය යන තුන් ආකාරයකින් විපාක දෙන්නේය.

(1) ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශල ත්‍රිහේතුක ප්‍රතිසන්ධි දී ප්‍රවෘත්ති වශයෙන් සොළොස් විපාක ම දෙන්නේය.

ත්‍රිහේතුක කුශල නම් ඥාන සම්ප්‍රයුක්ත සතරය. කර්ම කර්මඵල දැනැ අදහා කෙළේ ඥානසම්ප්‍රයුක්තය. ඒ වැළිත් උත්කෘෂ්ටය, ඔමකය යි ද්විවිධ වේ. යම් ඥාන සම්ප්‍රයුක්තයෙක් එයට මුලින් හා අගින් ඥාන සම්ප්‍රයුක්තයන් ගෙන් ම පිරිවරන ලද්දේ නම් හෙවත් මුඤ්චන චේතනාව සේ ම පූර්වාපර චේතනා ද ඥානසම්ප්‍රයුක්ත විණි නම් එය උත්කෘෂ්ට යි. තව ද යම් ඥාන සම්ප්‍රයුක්ත කුශලයෙක් නීවරණයන්ගෙන් හෝ අත්තුක්කංසනාදියෙන් කිලිටි නො වැ සුද්ධ වැ කරන ලද්දේ ද එ ද උත්කෘෂ්ට යි.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධි නම් ඥාන සම්ප්‍රයුක්ත විපාක සතර ය. මෙහි දු එක කර්මය එක ම ප්‍රතිසන්ධියක් දෙන බව දතයුතු. එක කර්මයකට ප්‍රතිසන්ධි දෙකක් හෝ කීපයක් හෝ නොලැබේ. එක කර්මයකට ප්‍රවෘත්ති විපාක නම් සිය දහස් ජාතියෙහි දු ලැබෙන්නේ ය.

“එකපුප්ඵං වජිත්‍වාන සහස්ස කප්පකොටියො,

දෙවෙසු ච මනුස්සෙසු-සෙසෙන පරිනිබ්බුතො”

එක මලක් පිදීමෙන් කප් කෙළ දහසක් දෙව්ලොව මිනිස් ලොව උපන්නෙමි. ශේෂයෙන් පිරිනිවියෙමි” කීයේ පූර්වාපර චේතනා වශයෙනි. පූර්වාපර චේතනා ද ප්‍රතිසන්ධි විපාක දෙන්නේ ය.

ප්‍රවෘත්ති වශයෙන් දෙන සොළොස් විපාක නම් සහේතුක හා අහේතුක කාමාවචර විපාක සොළසය. එය ඉෂ්ටාරම්මණයෙහි චක්ඛු විඤ්ඤාණාදිය හා තදාලම්බන යි. අතිෂ්ටාරම්මණයෙහි සන්තීරණය සෝමනස්ස සහගත වේ. එහි විස්තර යට දක්වන ලදි.

(2) ත්‍රිහේතුක ඔමකය හා ද්විහේතුක උත්කෘෂ්ටය ද්විහේතුක ප්‍රතිසන්ධි දී ප්‍රවෘත්ති සමයෙහි ඥාන සම්ප්‍රයුක්ත හැරැ සෙසු දොළොස් විපාක දෙන්නේය.

යම් ත්‍රිහේතුක කුශලයෙක් මුලින් අගින් එබඳු වූ ම කුශල චිත්තයන් විසින් නොපිරිවරන ලද්දේ නම් හෙවත් ත්‍රිහේතුක කුශලයක් කොට පසු වැ ඒ සැලකීමෙන් “මම නිශ්ඵල දෙයක් කෙළෙමි” යනාදීන් විපිළිසර විණි නම් එය ත්‍රිහේතුක ඔමකය වේ. නීවරණයන්ගෙන් හෝ අත්තුක්කංසනාදියෙන් කිලිටි වූ ත්‍රිහේතුකය ද ත්‍රිහේතුක ඔමකයි. ද්විහේතුක නම් ඥාන විප්‍රයුක්ත සතරය. එ ද පූර්වාපර ද්විහේතුකයන්ගෙන්ම පිරිවරන ලද ද්විහේතුක උත්කෘෂ්ට ය. ද්විහේතුක ප්‍රතිසන්ධි නම් ඥාන විප්‍රයුක්ත විපාක සතර ය. ත්‍රිහේතුකය වුව ද ඔමක වූ කල මන්‍දශක්තික ය. එහෙයින් එය ත්‍රිහේතුක ප්‍රතිසන්ධි දීමෙහි අසමර්ථ ය. ඥාන සහගත බැවින් අහේතුක ප්‍රතිසන්ධි ද නොදෙන්නේ ය. ප්‍රවෘත්ති සමයයෙහි ලැබෙන දොළොස් විපාක නම් ඥාන විප්‍රයුක්ත සතර හා අහේතුක විපාක අට ය. එ ද තදාලම්බන වශයෙන් ද චක්ඛු විඤ්ඤාණාදි වශයෙන් ද ලැබේ. අනිෂ්ටාරම්මණයෙහි සන්තීරණය සෝමනස්ස යි.

(3) ද්විහේතුක ඔමක කුශලය අහේතුක ප්‍රතිසන්ධිය දෙන්නේ ම ය. ප්‍රවෘත්ති සමයෙහි අහේතුක විපාක ම උපදවන්නේ ය.

ද්විහේතුකය ඔමක වන්නේ එබඳු කුශල කර්මයක් කොට “මම නිශ්ඵලයක් කෙළෙමි.” යනාදීන් විපිළිසර වීමෙන් ය. නීවරණයන්ගෙන් හෝ අත්තුක්කංසනාදියෙන් හෝ කිලිටි වීමෙන් ද ද්විහේතුකය ඔමක වේ. ඊට දෙන ප්‍රතිසන්ධිය අහේතුක මැ යි. එය නම් උපෙක්ඛා සහගත සන්තීරණ කුශල විපාකය යි. එයින් උපදින්නන් ජාත්‍යන්ධාදීන් වන බව යට කියන ලදි. එයට ලැබෙන ප්‍රවෘත්ති විපාක අහේතුක අට ය.

කාමාවචර කුශල අටට සොළොස් විපාක දීමේ අන්‍ය ක්‍රමයක් ද ඇතැම්හු දක්වති. විපාකයන්ගේ අසංඛාරික සසංඛාරික භාවය කර්මයන්ගෙන් අසංඛාරික සසංඛාරික භාවයෙන් වන්නේය යනු ඔවුන්ගේ මතය යි. කැටපතින් මුහුණ බලන කල මුහුණ නොසැලී තිබෙන තාක් කැටපතේ ඡායාව ද නොසැලී තිබෙයි. මුහුණ සැලෙන කල ඡායාව ද සැලෙයි. එමෙන් අසංඛාරික කුසලයන්ගේ විපාක අසංඛාරිකය, සසංඛාරික කුසලයන්ගේ විපාක සසංඛාරිකය. අහේතුක විපාක වනාහි දුර්බල බැවින් දෙපක්‍ෂයට ම අයත් වේ යනු එහි තාත්පර්යාර්ථය යි.

“අසංඛාර සසංඛාර විපාකානි නපච්චති,

සසංඛාර මසංඛාර විපාකානිති කෙචන.”

යනු එහෙයින් කියන ලදි. අසංඛාර කුශල සසංඛාර විපාක නූපදවයි. සසංඛාර කුසල අසංඛාර විපාක නූපදවයි යනු ඇතැම්හු කියත් යනු එහි භාව යි.

මේ මතයෙහි ත්‍රිහේතුක උත්කෘෂ්ට අසංඛාරික දෙකට ප්‍රතිසන්‍ධි විපාක දෙකෙකි. ප්‍රවෘත්ති විපාක දොළොසෙකි. ත්‍රිහේතුක උත්කෘෂ්ට සසංඛාරික දෙකට ද ප්‍රතිසන්‍ධි විපාක දෙකෙකි. ප්‍රවෘත්ති විපාක දොළොසෙකි. ත්‍රිහේතුක ඔමක හා ද්විහේතුක උත්කෘෂ්ට අසංඛාරික සතරට ප්‍රතිසන්‍ධි විපාක දෙකෙකි. ප්‍රවෘත්ති විපාක දශයෙකි. ත්‍රිහේතුක ඔමක හා ද්විහේතුක උත්කෘෂ්ට සසංඛාරික සතරට ප්‍රතිසන්‍ධි විපාක දෙකෙකි ප්‍රවෘත්ති විපාක දශයෙකි. ද්විහේතුක ඔමක අසංඛාරික දෙකට හා ද්විහේතුක ඔමක සසංඛාරික දෙකට ප්‍රතිසන්ධි විපාක එකෙකි. ප්‍රවෘත්ති විපාක අටෙකි.

මෙයින් ප්‍රථම මතය ත්‍රිපිටක චුල්ලනාග ස්ථවිරයන්ගේ ය. ද්විතීය මතය මොරවැවේ මහාදත්ත ස්ථවිරයන්ගේ ය. අනුරුද්ධ ස්වාමි ද්විතීය මතය “කෙචි වාදය” කෙළේ ය.

3. රූපාවචර-ප්‍රථම ධ්‍යානය පරිත්ත වැ වැඩීමෙන් බ්‍රහ්ම පාරිසජ්ජයෙහි ද, මධ්‍යම වැ වැඩීමෙන් බ්‍රහ්මපුරොහිතයෙහි ද, ප්‍රණීත වැ වැඩීමෙන් මහා බ්‍රහ්මයෙහි ද උපදින්නේ ය.

ධ්‍යාන වනාහි පරිත්ත මධ්‍යම ප්‍රණීතය යි ත්‍රිවිධ වේ. එසේ වීමේ හේතු ක්‍රම දෙකෙකි. ප්‍රණීත ඡන්‍දාදියෙන් යුක්ත වූ ද යම් ධ්‍යානයෙන් අභාවිත ද-ලබ්ධ මාත්‍ර ද එය මතු ධ්‍යාන සඳහා ප්‍රත්‍යය වන්නට අසමර්ථ බැවින් පරිත්ත ය. එසේ ම යම් ධ්‍යානයෙක් නාති සුභාවිත ද - නාති ප්‍රගුණ ද එය මධ්‍යම ය. එසේම යම් ධ්‍යානයෙක් අති සුභාවිත ද - අති ප්‍රගුණ ද එය ප්‍රණීත ය. මේ එක් ක්‍රමයෙකි. අති සුභාවිත වූ ද යම් ධ්‍යානයෙක් හීන වූ ඡන්‍ද විරිය චිත්ත විමංසායෙන් යුක්ත ද එය පරිත්ත ය. මධ්‍යම වූ ඡන්‍දාදියෙන් යුක්ත ද එය මධ්‍යම ය. ප්‍රණීත වූ ඡන්‍දාදියෙන් යුක්ත ද එය ප්‍රණීත යි මේ අනෙක් ක්‍රමය යි.

මෙයින් හීන වූ ඡන්‍දාදියෙන් යුක්ත ප්‍රථම ධ්‍යානය පරිත්ත බැවින් බ්‍රහ්මපාරිසජ්ජයෙහි ද, මධ්‍යම වූ ඡන්‍දාදියෙන් යුක්ත ප්‍රථම ධ්‍යානය මධ්‍යම බැවින් බ්‍රහ්මපුරෝහිතයෙහි ද, ප්‍රණීත වූ ඡන්‍දාදියෙන් යුක්ත ප්‍රථම ධ්‍යානය ප්‍රණීත බැවින් මහාබ්‍රහ්මයෙහි ද ප්‍රතිසන්‍ධි දෙන්නේය යි දතයුතු. සෙස්සෙහිදු මෙසේ ය.

ද්විතීය ධ්‍යානය හා තෘතීය ධ්‍යානය පරිත්ත වැ වැඩීමෙන් පරිත්තාභයෙහි ද, මධ්‍යම වැ වැඩීමෙන් අප්පමාණාභයෙහි ද ප්‍රණීත වැ වැඩීමෙන් ආභස්සරයෙහි ද උපදින්නේ ය.

චතුර්ථධ්‍යාන පරිත්ත වැ වැඩීමෙන් පරිත්ත සුභයෙහි ද, මධ්‍යම වැ වැඩීමෙන් අප්පමාණසුභයෙහි ද, ප්‍රණීත වැ වැඩීමෙන් සුභකිණ්හයෙහි ද උපදින්නේ ය.

පඤ්චමධ්‍යානය පරිත්ත වැ හෝ මධ්‍යම වැ හෝ ප්‍රණීත වැ හෝ වැඩීමෙන් වෙහප්ඵලයෙහි ද එම සංඥාවිරාග වැ වැඩීමෙන් අසඤ්ඤසත්තයෙහි ද උපදින්නේ ය. සඤ්ඤාවිරාග වැ වැඩීම නම් “සිත ඇති හෙයින් ඇලීම් කිපීම් මුලාවීම් වේ. සිත නැති කල ඒ කිසිවක් නොවේ. දිට්ඨධම්ම නිබ්බානයට පැමිණියේ වන්නේ” ය යි වායුකසිණය හෝ ආකාශ කසිණය හෝ අරමුණු කොටැ “ධී චිත්තං ධි වතිදං චිත්තං” යි සංඥා විරාග වැ භාවනා කිරීම ය. එසේ මේ ධ්‍යානය ලද්දේ යම් ඉරියව්වකින් මෙහි දී මියයන්නේ ද එම ඉරියව්වෙන් එහි රූප ප්‍රතිසන්‍ධිය ලබන්නේ ය. කර්ම ක්‍රියාවාදී තීර්ථකයෝ මෙය වඩත්.

පඤ්චම ධ්‍යානලාභී අනාගාමීහු වනාහි ශුද්ධාවාසයන්හි උපදිති. අන් කිසි කෙනෙක් එහි නූපදිති. මෙයින් අනාගාමීන්ට අභිමත නම් අන්‍ය බ්‍රහ්මලෝකයෙක උපදීමෙහි ප්‍රතිෂේධ නැති. අනාගාමීන් අතුරෙනුදු ශ්‍රද්ධාධික අවිහයෙහි ද, වීර්යාධික අතප්පයෙහි ද, සමෘත්‍යධික සුදස්සයෙහි ද, සමාධ්‍යධික සුදස්සියෙහි ද, ප්‍රඥාධික අකනිට්ඨයෙහි ද උපදිත්. ශුෂ්ක විදර්ශන අනාගාමීහු මරණ කාලයෙහි ඒකාන්තයෙන් ධ්‍යාන උපදවති. ඔවුන් සමාධි පරිපූරකාරී බැවිනි. ධ්‍යාන ලාභී ස්ත්‍රීහු බ්‍රහ්ම පාරිසජ්ජයෙහි උපදිති. ඒ ඒ ධ්‍යානලාභී ස්ත්‍රීහු පඨමජ්ඣාන භූමි දුතියජ්ඣානභූමි ආදියෙහි උපදින්නෝ හීනධ්‍යාශය ඇති බැවින් මහ බ්‍රහ්ම ආභස්සරාදී වැ නො ඉපිදැ ඔවුන්ගේ සේවක වැනි බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත පරිත්තාභ අප්පමාණාභාදියෙහි උපදිති යි ඇතැම් ආචාර්යවරයෝ කියත්.

අභිඥාභාවයට පැමිණි ධ්‍යාන ප්‍රතිසන්‍ධි නොදේ. අභිඥායෙන් ප්‍රතිසන්‍ධි ශක්තිය සිඳෙන බැවිනි.

4. අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් පිළිවෙලින් සතර අරූප ලෝකයන්හි උපදිත්. වෙහප්ඵල අකනිට්ඨ නේවසඤ්ඤානාසඤ්ඤායතන යන තුන් තන්හි උපන් ආර්යයෝ අන් තැනෙක නො උපදිත්. ඒ ස්ථාන ශ්‍රේෂ්ඨ බැවිනි. බ්‍රහ්මලෝකයෙහි උපන් ආර්යයෝ යට යට බ්‍රහ්මලේකයන්හි නූපදිත්.

ප්‍රශ්න.

  1. සතර අපායෙහි පිළිසන් දෙන අකුසල් කවරේද? කාම රූප යන සියලු ලෝකයන්හි ප්‍රවෘත්ති විපාක අකුසල් කවරේ ද?
  2. කාමාවචර කුසල් කොතැන්හි කොතෙක් ප්‍රතිසන්‍ධි දේ ද? කොතැන්හි කෙසේ ප්‍රවෘත්ති විපාක දේ ද?
  3. ත්‍රිහේතුක ඔමක හා ද්විහේතුක උත්කෘෂ්ට කුශල ලැබෙන පරිදි දක්වනු. එහි විපාක ක්‍රමය කෙසේ ද?
  4. විපාක අසංඛාර සසංඛාර වීමේ කරුණ දක්වනු. එහි සංඛ්‍යා කෙසේ ද?
  5. ධ්‍යාන පරිත්ත මධ්‍යම ප්‍රණීත වන්නේ කෙසේ ද? එහි විපාකාවස්ථා දක්වනු. ධ්‍යානලාභී ස්ත්‍රීහු කොයි උපදිත් ද? එහි මත භේදය පැහැදිලි කරනු. ශුද්ධාවාසයන්හි කවුරු උපදිත් ද?