9. චතුර්විධ කර්ම. (කුශල)

විපාක දෙන ස්ථාන වශයෙන් චතුර්විධ වූ කර්ම අතුරෙන් අපාය භූමියෙහි විපාක උපදවන අකුශල කර්ම යට දක්වන ලදි. කාමසුගති ආදියෙහි විපාක උපදවන කුශල කර්ම මෙහි දක්වනු ලැබේ.

කුශල කර්ම අතුරෙන් කාමාවචර කුශල ද වනාහි කාය කර්ම වාක් කර්ම මනඃ කර්මය යි ත්‍රිවිධ වේ. කායද්වාරයෙහි පැවැතියේ කායකර්ම ය. වාග්ද්වාරයෙහි පැවැතියේ වාක් කර්මය. මනොද්වාරයෙහි පැවැතියේ මනඃකර්ම යි. කුශලකායාදී ද්වාරත්‍රයයෙහි පැවැතීමේ ක්‍රම දෙකෙකි. කවර කුශලයක් හෝ කයින් කරන කල කාය කර්මය. වචනයෙන් කියන කල වාක් කර්ම ය. සිතින් සිතන කල මනඃ කර්මයි. ඒ එසේමැයි. දන්දීම කයින් දෙන කල කායකර්මය. වචනයෙන් දෙන කල වාක් කර්මය. සිතින් දෙන කල මනඃකර්මයි. සෙස්ස ද මෙසේය. අනෙක් ක්‍රමය නම් කාය දුශ්චරිතයෙන් වෙන් වන කල කායකර්ම කුශලය ද, වාග් දුශ්චරිතයෙන් වෙන් වන කල වාක් කර්ම කුශලය ද, මනෝ දුශ්චරිතයෙන් වෙන් වන කල මනඃකර්ම කුශලය ද වන බවයි. මෙහි මුල් දෙකෙහි කාය වාක් චොපන නැත ද කාය වාක් සංවර බැවින් කාය වාක් කුශලය යි කියනු ලැබේ.

තවද මේ කුශල වනාහි දාන සීල භාවනා වශයෙන් ත්‍රිවිධ වේ. සෝමනස්ස සහගත ඥානසම්පයුත්ත අසංඛාරික සසංඛාරිකාදි වශයෙන් අෂ්ටවිධ වේ. එය යට විස්තර කරන ලදි.

දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ච පත්තිදානපත්තානුමෝදන ධම්මසවණ ධම්මදේසනා දිට්ඨුජුකම්ම වශයෙන් දශවිධ වේ.

දානය. වස්තු පරිත්‍යාග චේතනාව දානමය කුශලය යි. එය වනාහි අනුසය සහිත සත්ත්‍වයන් විසින් තමාස තු වස්තු පූජාකාමිත්‍වයෙන් හෝ අනුග්‍රහකාමිත්‍වයෙන් අන්‍යයන්ට දීමෙහි ඇතිවන්නේය. එය පූර්වෙචෙතනා මුඤ්චන චෙතනා අපරචෙතනා වශයෙන් ත්‍රිවිධය. දීම පිණිස වස්තු සම්පාදනාදියෙහි ඇතිවන චේතනා පූර්වචෙතනා ය. දෙන අවස්ථාවෙහි ඇතිවන චේතනා මුඤ්චනචෙතනාය. දී අවසන්හි සතුටු සිතින් එය සිහි කිරීමෙහි ඇති වන චේතනා අපරචෙතනාය. එසේම හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් ද ත්‍රිවිධ ය. හීන වූ ඡන්‍දයෙන් චිත්තයෙන් වීර්යයෙන් විමංසායෙන් දෙන කල හීන ය. මධ්‍යම වූ ඡන්‍දයෙන් චිත්තයෙන් වීර්යයෙන් විමංසායෙන් දෙන කල මධ්‍යම ය. ප්‍රණීත වූ ඡන්‍දාදියෙන් දෙන කල ප්‍රණීත යි. තව ද කීර්තිකාමිත්‍වයෙන් හෝ අත්තුක්කංසන පරවම්භනාදියෙන් කිලිටි සිතින් හෝ කාමතෘෂ්ණා වශයෙන් භවභෝග සම්පත් ලබන පිණිස හෝ දෙන කල හීන ය. පුණ්‍යඵල කාමිත්‍වයෙන් හෝ අත්තුක්කංසන පරවම්භනාදියෙන් නොකිලිටි සිතින් ලෞකික සුඛ කාමිත්‍වයෙන් හෝ තමන්ගේ ම විමෝක්‍ෂය පිණිස හෝ දෙන කල මධ්‍යම ය. ආර්ය භාවය සඳහා හෝ මාර්ග ඵල සුඛ සඳහා හෝ සකල සත්ත්‍වයන්ගේ විමෝක්‍ෂ පිණිස පාරමී වශයෙන් දෙන කල ප්‍රණීත යි. මේ භෙද සීලාදියෙහි ද යෙදෙන බව සැලකිය යුතු යි.

සීලය. කාය වාක් ද්වාරයන්ගේ සාවද්‍යතාවය වලකා නිරවද්‍යත්‍වයෙහි පිහිටීමෙහි දී ඒ පිළිබඳ වැ උපදනා චේතනා ශීලය යි. ඒ වනාහි භික්ඛුසීල භික්ඛුනිසීල සාමණේර සීල ගෘහස්ථ ශීල ය යි චතුර්විධ වේ. භික්ඛුසීල භික්ඛුනී සීලයන්ගේ සමාදානය කර්මවාක්‍යයෙන් සිද්ධ ය. බිඳීම පාරාජික වීමෙන් හෝ ශික්‍ෂාප්‍රත්‍යාබ්‍යානයෙන් හෝ සිද්ධ ය. ශීලය බිඳුණු කල භික්ඛුභාවය හෝ භික්ඛුනී භාවය හෝ නොහැරැ සිටින්නේ දුශ්ශීල වේ. පාරාජික නො වැ සෙසු ශික්‍ෂා පද ව්‍යාතික්‍රමයෙන් සංවර භේදය වූ කල එයට සුදුසු ප්‍රතිකාර කිරීමෙන් ආයති සංවරයෙහි පිහිටිය හැකි ය. එසේ ආයති සංවරයෙහි නො පිහිටා සිටින්නේ ද, දැනැ දැනැ ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කරන්නේ ද අලජ්ජි වේ. සාමණේර ශීලයාගේ පිහිටීම උභතොසුද්ධික සරණාගමන සමාදානයෙනි. බිඳීම පාරාජික වීෙමනි. පාරාජික වැ සාමෙණ්රභාවය නො හැර සිටිනේනේ දුශ්ශීල වේ. සෙසු ශික්‍ෂාපද භේදයෙන් ආයති සංවරයෙහි නොපිහිටා සිටින්නේ ද දැන දැනැ ශික්‍ෂාපද බිඳින්නේ ද අලජ්ජි වේ. ගෘහස්ථයාට සාමාන්‍යයෙන් පඤ්චශීලය ද උපොසථාඞ්ග වශයෙන් අෂ්ටාඞ්ගශීලය ද උත්සාහ ඇති කළ දශ ශීලය ද සමාදන් වැ රැක්ක හැකි ය. සමාදන් වුව ද සම්පත්තිවිරති වශයෙන් ඇති විය හැකි ය. ශික්‍ෂාපද සියල්ල එකට ම සමාදන් වැ ගත හොත් එකක් බිඳුණු කල සියල්ල බිඳුනේ වේ. වෙන් වෙන් ව ගතහොත් බිඳුණු ශික්‍ෂාපදය සමාදන් වුව ද ප්‍රමාණ ය. ශික්‍ෂාපද භේදයෙන් ගිහියා ද දුශ්ශීල වන්නේ ය.

භාවනාව. සමසතළිස් කමටහන් වශයෙන් හෝ ත්‍රිලක්‍ෂණ වශයෙන් හෝ යම් කිසි අරමුණක් ගෙනැ නැවත නැවත වැඩීමෙහිදී අර්පණාප්‍රාප්තියට පළමු ගොත්‍රභූඥානය දක්වා උපදනා චේතනා භාවනාමය කුශලයි. ධර්ම විනය උගෙනීමෙහිද නිරවද්‍යකර්මාන්ත ශිල්පවිද්‍යා ප්‍රගුණ කිරීමෙහිද උපදනා චේතනා ද මෙහි ම ඇතුළත් ය.

අපචායන. රත්නත්‍රය කෙරෙහි මව්පියන් කෙරෙහි කුල දෙටුවන් කෙරෙහි ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහි ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් කෙරෙහි ලාභාපෙක්‍ෂාරහිත වැ අන්‍ය වූ හෝ කිලිටි අදහසින් තොර වැ දැක හුනස්නෙන් නැගී සිටීම් වන්‍දන මානන අඤ්ජලිකරණාදීන් කරන්නවුන්ට ඒ පිළිබඳ වැ උපදන චේතනාන අපචායන කුශල යි.

වෙය්‍යාවච්චය. යට දැක්වුණුවන්ට හෝ ආගන්තුකගමික අද්ධිකයන්ට හෝ ගිලනුන් මහල්ලන් ආදීන්ට හෝ පිරිසිදු සිතින් වත් පිළිවෙත් කිරීමෙහි, සබ්රම්සරුන්ගේ සිව්රු ගෙත්තම් කිරීම්, අන්‍යයන්ගේ පුණ්‍යකර්ම කිරීම් ආදියෙහි පිරිසිදු සිතින් අනුබල දීමෙහි උපදින චේතනා වෙය්‍යාවච්ච කුශල යි.

පත්තිදානය. ස්වසන්තානයෙහි උපන් කුශලය අන්‍යයන් හා සාධාරණ බව අපේක්‍ෂා කිරීමෙහි උපදින චේතනා පත්තිදාන යි.

පත්තානුමෝදනය. අන්‍යයන් විසින් දෙන ලද කුශලය අනුමෝදන් වීම පත්තානුමෝදනය යි. පත්ති වනාහි උද්දිසික අනුද්දිසික වශයෙන් ද්විවිධ වේ. උද්දිසික නම් යම් කිසිවෙකු උදෙසා දීම ය. අනුද්දිසික නම් සාමාන්‍යයෙන් දීම ය. උද්දිසිකපත්තානුමෝදනය දිට්ඨධම්ම වේදනීය වේ. දෙවියන් හෝ පරද්ත්තූපජීවින් හෝ උදෙසා දෙන ලද කුශලය ඒ ඇසිල්ලෙහි ම ඔවුන්ට සුව පිණිස වන්නේය. පත්තිදානය පත්තානුමෝදනය බොහෝ සෙයින් දාන පිළිබඳය යි කියනු ලැබේ.

ධම්මසවණය. මේ ධර්මය අසා ඒ ආකාරයෙන් පිළිපැද ලොවී ලොවුතුරා ගුණ හෝ ලබමි. බහුශ්‍රැත වැ අන්‍යයන්ට දේශනා හෝ කරමි යි පිරිසිදු සිතින් හිත උපදේශ ඇසීම ධම්මසවණ ය යි. නිරවද්‍ය විද්‍යාශ්‍රවණය ද මෙහි ම අන්තර්ගත යි.

ධම්මදේශනාව ලාභ සත්කාරාදි අපේක්‍ෂා රහිත වැ පිරිසිදු සිතින් හිත උපදේශ දේශනා කිරීම ධම්මදේශනා ය. නිරවද්‍ය විද්‍යා උගැන්වීම ද මෙහිම ඇතුළති.

දිට්ඨුජුකම්මය. දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් හෝ ඉස්සර නිම්මාණාදි දෘෂ්ටිවලින් හෝ දිට්ඨමඞ්ගලිකාදි දෘෂ්ටිවලින් හෝ යුක්ත නො වැ සම්‍යක් දෘෂ්ටියෙහි සෘජු වැ පිිහිටීමෙහි උපදනා චේතනා දිට්ඨුජුකම්ම යි.

මේ දශකුශල යට දැක්වූ ත්‍රිවිධ කුශලයෙහි ඇතුළත් කල හැකිය. ඒ මෙසේ ය. ඊර්ෂ්‍යා මාත්සර්යයන්ට ප්‍රතිපක්‍ෂ බැවින් පත්තිදානය හා පත්තානුමෝදනය දානයෙහි ඇතුළති. චාරිත්ත සීල බැවින් අපචායන වෙය්‍යාවච්ච සීලයෙහි ඇතුළති. කුශල ධර්මාසේවන බැවින් දේසනා සවණ දිට්ඨුජුකම්ම භාවනායෙහි ඇතුළති. ඇතැම්හු දේශනාවදානයෙහි ද දිට්ඨුජුකම්මය ත්‍රිවිධ කුශලයෙහි ම ද ඇතුළත් කරත්.

චිත්ත වශයෙන් අෂ්ටවිධ වන්නේත් මේ මැ යි. ඒ කුශල සිත් අට හා යට දැක්වූ අකුසල් සිත් දොළොස කාමාවචර බැවින් කාමාවචර කර්ම විස්සෙකැ යි කිය යුතු ය.

රූපාවචර කුශල වනාහි හිතෙහි ම සිද්ධ බැවින් මනඃ කර්ම යි. කිසිවිටෙක කායකර්ම හෝ වාක් කර්ම නොවේ. එසේම එය භාවනාමය යි. දානමයාදි නොවේ. භෙද අර්පණාප්‍රාප්ත ම බව දත යුතු යි. ඉන් මොබ කාමාවචර බැවිනි. ප්‍රතිපදාදින වශයෙන් එහි නොයෙක් භෙද ඇත ද විතර්කාදි අඞ්ග සමතික්‍රමයෙන් ප්‍රථමධ්‍යානාදි වශයෙන් පඤ්චවිධ වේ. එහි විභාග චිත්තපාදයෙහි දක්වන ලද්දේය.

එසේම අරූපාවචර කුශල ද මනඃකර්ම ය. භාවනාමය ය. භෙ ද අර්පණාප්‍රාප්තය ම ගත යුතු. ඒ වනාහි කසිනුග්ඝාටි මාකාසාදි ආලම්බන වශයෙන් චතුර්විධ වේ. එහි විභාග ද යට දැක්විණි.

ප්‍රශ්න.

  1. විපාක දෙන ස්ථාන වශයෙන් කුශල කර්ම කී වැදෑරුම් ද?
  2. කාමාවචර කුශල කී ආකාරයට බෙදිණි ද?
  3. දශ කුශල විස්තර කරනු.
  4. දශ කුශල ත්‍රිවිධ කුශලයන්ට හා සිත් අටට බෙදෙන සැටි දක්වනු.
  5. රූපාවචර අරූපාවචර කුශල පිළිබඳ විස්තරයක් දෙනු.