11. චතුර්විධ මරණොත්පත්ති

star_outline

චතුර්විධ භූමි ද, ඒ භූමින්හි ලැබෙන චතුර්විධ ප්‍රතිසන්‍ධි ද, ඒ ප්‍රතිසන්‍ධි දෙන චතුර්විධ කර්ම ද යට විස්තර කරන ලදි. ප්‍රතිසන්‍ධි වන්නේ චුතියට අනතුරුව ය. එබැවින් ඒ චුති සිත් උපදින පිළිවෙල හෙවත් මැරෙන සැටි මෙහි දක්වනු ලැබේ.

මරණොත්පත්තිය හෙවත් චුති සිත් උපදීම ආයු ගෙවී යාමෙන් ද, කර්මය ගෙවී යාමෙන් ද, ආයු කර්ම යන දෙක ම එක විට ගෙවී යාමෙන් ද, උපච්ඡේදක වශයෙන් ද යන සතර ආකාරයකින් සිද්ධ වේ. එ බැවින් මරණය 1 ආයුඃක්‍ෂය මරණය 2 කර්මක්‍ෂය මරණය, 3. උභයක්‍ෂය මරණය, 4. උපච්ඡේදක මරණය යි චතුර්විධ වේ.

1. ඒ ඒ ලෝකයට-සත්ත්‍ව නිකායයට නියම ආයුපරිච්ඡේද ඇත්තේ ය. ප්‍රතිසන්‍ධි දුන් කර්මය ඔබ්බෙහිදු ජීවිතය පවත්වන්ට සමර්ථ වුව ද ඒ ලෝකයට-සත්ත්‍වනිකායයට නියම ආයු ගෙවී යාමෙන් මරණය සිදු වේ නම් එය ආයුඃක්‍ෂය මරණය යි.

2. ඒ ඒ ලෝකයට-සත්ත්‍ව නිකායයට නියම ආයුෂය ශේෂ වැ තිබියදී ද දුර්බල වූ කර්මයෙන් ප්‍රතිසන්‍ධි ලත් සත්ත්‍වයන්ට ඒ ප්‍රතිසන්‍ධි දුන් කර්ම ශක්තිය අවසන් වීමෙන් මරණය සිදු වේ නම් එය කර්මක්‍ෂය මරණය යි.

3. ඒ ඒ ලෝකයට-සත්ත්‍ව නිකායයට නියම ආයුෂය හා ප්‍රතිසන්‍ධි දුන් කර්මයේ ශක්තිය එක විට සිඳී යාමෙන් සිදුවන මරණය උභයක්‍ෂය මරණය යි.

4. ඒ ඒ ලෝකයට-සත්ත්‍ව නිකායයට නියම ආයුෂ ශේෂ වැ තිබිය දීත් ප්‍රතිසන්‍ධි දුන් කර්මයේ ශක්තිය ශේෂ වැ තිබියදීත් පූර්ව ජන්මයෙහි හෝ මේ ජන්මයෙහි කරන ලද අන්‍ය උපඝාතක කර්මයකින් අතරෙක මරණය සිදුවේ නම් එය උපච්ඡේදක මරණය යි. අකාල මරණය යනුදු මේ ය.

කුමකින් වේවා මැරෙන්නවුන්ට මරණාසන්න කාලයෙහි කර්ම කර්මනිමිති ගතිනිමිති අතුරෙන් යම් කිසිවක් චක්‍ෂුරාදි ෂඩ්ද්වාරයන් අතුරෙන් එක්තරා ද්වාරයකට සුදුසු පරිදි අරමුණු වන්නේ ය.

කර්ම නම් කුශල වේවා අකුශල වේවා යමකු විසින් කරන ලද කර්ම අතුරෙන් යම් කර්මයක් ඔහුට දෙවන ජන්මයෙහි ප්‍රතිසන්‍ධි දෙන්නේ ද එය යි. ඒ වනාහි අකුශල පක්‍ෂයෙන් අකුශල සිත් එකොළොසින් එකෙකි. (උපෙක්ඛා සහගත උද්ධච්චය ප්‍රතිසන්‍ධි විපාක නො දෙන බව යට කියන ලදී.) කුශල පක්‍ෂයෙන් කාමාවචර කුශල අටින් එකකි. රූපාවචර අරූපාවචර ලෝකයන්හි උපදින ධ්‍යාන ලාභීන්ට කර්මය අරමුණු නොවේ. ඔවුන්ගේ කර්ම නම් ධ්‍යාන කුසල්, කිසි තැනෙක නූපදින රහතුන්ට ද කර්මය අරමුණු නො වේ. තවද මේ කර්මය මනොද්වාරයට පමණක් අරමුණු වන බව ද චක්‍ෂුරාදි සෙසු ද්වාර පසට අරමුණු නොවන බව ද දතයුතු. එසේ ම එය අතීතය. වර්තමාන හෝ අනාගත නොවේ. අපායයෙහි උපදින පාපකාරීන්ට අකුශල කර්මය ද, සුගතියෙහි උපදින පුණ්‍යකාරීන්ට කුශල කර්මය ද අරමුණු වන බැවින් යැ සුදුසු පරිදි යයි කීයේ.

කර්ම නිමිත්ත නම් කුශල හෝ අකුශල හෝ ඒ කර්ම කරණයට අරමුණු වශයෙන් හෝ උපකරණ වශයෙන් නිමිති වන යම් කිසිවකි. අරමුණු වශයෙන් නිමිති වන්නේ අකුශල පක්‍ෂයෙහි ප්‍රාණඝාතයකුට නම් පරප්‍රාණාදිය යි. කුශල පක්‍ෂයෙහි චෛත්‍ය විහාරාදිය යි. උපකරණ වශයෙන් නිමිති වන්නේ අකුශල පක්‍ෂයෙහි ප්‍රාණඝාතකයාට ආයුධ ආදිය යි. කුශල පක්‍ෂයෙහි මල් පහන් ආදිය යි. කර්මය මෙන් කර්ම නිමිත්ත අතීත ම නො වේ. එය අතීත ද වර්තමාන ද වන්නේ ය. එසේ ම එය කර්මය මෙන් මනොද්වාරයට පමණක් අරමුණු වන්නේ ද නොවේ. චක්‍සුරාදි ෂඩ්ද්වාරයට ම අරමුණු වන්නේය. ඒ වනාහි වර්තමාන වශයෙන් ෂඩ්ද්වාරයට අරමුණු වන්නේ මරණාසන්නයෙහි දී ලද්දක් වශයෙනි. ඒ එසේ මැයි. මරණාසන්නයෙහි ඉදිරිපත් කළ බුද්ධ ප්‍රතිමාදිය චක්‍ෂුර්ද්වාරයට ද, ධර්මදේශනාදිය ශ්‍රෝතද්වාරයට ද, සුවඳ දුම් මල් සුවඳ ආදිය ඝ්‍රාණද්වාරයට ද, “මෙය පූජා පිණිස දෙමි. සතුටු වන්නැ”යි කියමින් දිව ගෑ රස ජිව්හාද්වාරයට ද, “මෙය පූජාකරන්නට අත ගසන්නැ”යි කියා අත ගැස්වූ වස්ත්‍රාදිය කායද්වාරයට ද, ඒ ඇසිල්ලෙහි ලත් යම් කිසි අරමුණක් මනොද්වාරයට ද වර්තමාන වශයෙන් අරමුණු වේ. මේ දැක්වූයේ කුශල පක්‍ෂය යි. අකුශල පක්‍ෂය ද නිසි පරිදි දතයුතු යි. අතීත වූ රූපාදි කර්ම නිමිති අරමුණු වන්නේ මනොද්වාරයට මැ යි.

බඹලොව උපදින රූපාවචර ධ්‍යානලාභීන්ට කර්මය අරමුණු නොවෙතත් කර්මනිමිති අරමුණු වේ. ඔවුන්ට කර්මනිමිති වන්නේ කසිණාදි පඤ්ඤත්තාලම්බන යි.

එසේ ම අරූපාවචර ධ්‍යානලාභීන්ට ද කර්ම නිමිති අරමුණු වේ. එයින් ආකාසානඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානලාභීන්ට පඤ්ඤත්තාලම්බන ද විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානලාභීන්ට මහග්ගත ද අරමුණු වේ.

කිසි තැනෙක නූපදින රහතුන්ට වනාහි කර්ම මෙන් කර්ම නිමිති ද අරමුණු නොවන්නේ ය.

ගති නිමිත්ත නම් කුශල හෝ අකුශල හෝ ප්‍රතිසන්ධි ජනක කර්මයෙන් යම් ලෝකයෙක උපදින්නේ ද ඒ ලෝකය පිළිබඳ යම්කිසි නිමිත්තයෙකි. අකුශල කර්මයෙන් නිරයෙහි උපදින්නවුන්ට නිරාගිනි නිරයපාල නිරය සුනඛාදීහු ද, තිරිසන් අපායෙහි උපදින්නවුන්ට පර්වත වනාදිය ද, කුශල කර්මයෙන් මව්කුස උපදින්නවුන්ට මාතෘකුක්‍ෂි වර්ණ කම්බල යානාදිය ද, දෙව්ලොව උපදින්නවුන්ට දෙවඟන දෙව්රුක් දෙව්විමන් දෙව්රිය මල්මාලාදිය ද, ගතිනිමිත්ත වශයෙන් අරමුණු වේ. ගති නිමිත්ත මනොද්වාරයට පමණක් අරමුණු වන්නකැ යි ඇතැම් ආචාර්යවරයන් කියතත් ඇතැම්හු එය ෂඩ්ද්වාරයට ම අරමුණු වන්නේ ය යි කියති. දෙවියන් තමන් ම දිව්‍යරථාදිය ගෙන ආ කල්හි එය චක්‍ෂුර්ද්වාරයට ද, දිව්‍ය ගීත තූර්යාදිය ගෑ කල්හි ශ්‍රෝතද්වාරයට ද, දිව්‍ය සුවඳ ලූ කල්හි ඝ්‍රාණද්වාරයට ද, දිව්‍ය රස දිව ලූ කල්හි ජිහ්වාද්වාරයට ද, නන්‍දමානවකාදීන්ට මෙන් නිරා ගිනි ඇඟ වැදගත් කල්හි කායද්වාරයට ද, ගතිනිමිත්ත අරමුණු වේය යනු ඔවුන්ගේ මතය යි.

බ්‍රහ්මලෝකයෙහි උපදින රූපාවචර අරූපාවචර ධ්‍යානලාභීන්ට කර්ම මෙන් ම ගතිනිමිති ද අරමුණු නො වේ.

එසේ ම කිසි තැනෙක නූපදින රහතන්ට කර්ම කර්මනිමිති මෙන් ම ගතිනිමිති ද නො ලැබේ. උන්වහන්සේලා අතුරෙන් සුක්ඛවිපස්සක රහතන්ට වනාහි පරිනිර්වාණාසන්නයෙහි යම්කිසි නාම රූපයක් ද එසේ ම සමාපත්තිලාභී වූ ධ්‍යානසමනන්තරයෙහි පිරිනිවෙන්නට කසිණ නිමිත්තාදිය ද පච්චවෙක්ඛණ සමනන්තරයෙහි පිරිනිවෙන්නන්ට ධ්‍යානාඞ්ග ද අභිඤ්ඤාසමනන්තරයෙහි පිරිනිවෙන්නන්ට ස්වකීය කරජරූප ද ජීවිත සමසිසී වූ අග්‍රමාර්ගයෙන් ප්‍රත්‍යවේක්‍ෂා සමනන්තරයෙහි පිරිනිවෙන්නන්ට මාර්ගාඞ්ගාදිය ද අන්තිම ජවනයන්ට අරමුණු වන්නේය යි කියනු ලැබේ. කවුරුන්ගේ වුව ද චුති චිත්තයට අරමුණු වන්නේ ඔවුන්ගේ ඒ භවයෙහි ප්‍රතිසන්ධි චිත්තයට අරමුණු වූ කර්ම කර්මනිමිති ගතිනිමිති අතුරෙන් එකෙකැ යි දතයුතු.

මරණාසන්නයෙහි මේ කර්ම කර්මනිමිති ගතිනිමිති පහළ වන්නේ ප්‍රතිසන්ධිජනක කර්මයාගේ අනුභාවයෙනි. තව ද ප්‍රකෘතියෙන් පුරුදු කරන ලද්දකින් ද ඒ ඇසිල්ලෙහි කරන ලද්දකින් ද අන්‍යයන් විසින් සිහිකරවන ලද්දකින් ද එය අරමුණු විය හැකි බව ද දතයුතුයි. තවද පළමු දුර්ගති නිමිති පහළ වූ කල්හි කල්‍යාණ මිත්‍රොපකාරයෙන් එය දුරුකොටැ ගෙනැ සෝණ ස්ථවිරයන්ට මෙන් සුගති නිමිති පහළකර ගත හැකි බව ද පළමු සුගති නිමිති පහළ වූ කල්හි යම්කිසි කරුණකින් එය දුරු වැ ගොස් ධර්මාශෝක රජහට මෙන් දුර්ගති නිමිති පහළවිය හැකි බව ද දතයුතුයි. මේ කර්ම කර්මනිමිති ගති නිමිති ඇතැම්විට මරණයට සතියකින් මොබ පටන් ද ලැබෙන්නේ ය.

කෙසේ හෝ වේවා, ඒ කර්මාදීන් අතුරෙන් යමක් එළඹ සිටි කල්හි එතැන් පටන් ඔහුගේ චිත්තසන්තානයට එහි එල්බැ අනතුරු වැ ලැබෙන භවයට සුදුසු පරිදි කුශල වශයෙන් පිරිසිදු වැ හෝ අකුශල වශයෙන් කිලිටි වැ හෝ බොහෝ සෙයින් එයටමැ නැමී පවත්නේ ය. බොහෝ සෙයිනැ යි කීයේ ශීඝ්‍ර වැ මැරෙන්නකුට නිතර එහිමැ නැමී පවතින බවද අශීඝ්‍රව මැරෙන්නකුට දැල්වුණු ඇසට මෙලොව සටහන් හා පියවුණු ඇසට පරලොව සටහන් ද දකිමින් පරලොව පක්‍ෂයට වඩාලාත් නැඹුරුව සිටින බව දක්වනු සඳහා යි. තව ද යම් කුශලයකින් හෝ අකුශලයකින් දෙවන ජන්මයෙහි ප්‍රතිසන්ධි ලබන්නේ ද ඒ කුශලය හෝ අකුශලය ඒ ඇසිල්ලෙහි කරන්නාක් මෙන් ද ඔහුට වැටහෙන්නට පටන් ගන්නේ ය.

මරණය ඉතා ආසන්න වූයේ ය යි සලකනු. කෙතෙක් ආසන්න වූයේ ද තව එක චිත්ත වීථියක් පැවතී-වැඩිවුවොත් එක චිත්තයක් හා භවඞ්ගයක් පවතී. ඒ අවසානයෙහි මරණය වන්නේ ය. එසේ ආසන්නව මරණ ඇත්තහුට ඒ වීථි චිත්තයාගේ හෝ වීථි චිත්තයෙන් පසු වැ උපන් භවඞ්ගයාගේ හෝ අවසානයෙහි වර්තමාන භවයේ අන්තිමය වු චුතිචිත්තය ඉපිදැ නිරුද්ධ වන්නේ ය. එසේ නිරුද්ධ වන්නා හා සමගම ඊට අනතුරු වැ යථෝක්ත වීථි සිත් විසින් ගන්නා ලද්දාවූ කර්මාදි අරමුණෙහි එල්බැ අවිද්‍යානුශය පරික්‍ෂිප්ත තෘෂ්ණානුශය මූලක සංස්කාරයෙන් උපදවනු ලබන ඵස්සාදි සම්ප්‍රයුකත් ධර්මයන්ගෙන් පරිගෘහිත සහජාත ධර්මයන්ට අධිෂ්ඨාන භාවයෙන් පූර්වඞ්ගම වූ ප්‍රතිසන්ධි චිත්තය සවස්තුක වැ හෝ අවස්තුක වැ සුදුසු පරිදි භාවාන්තර සන්‍ධාන වශයෙන් උපදිමින් පවත්නේ ය. තදනන්තර වැ භවඞ්ග වන්නේ ය.

මෙහි විශේෂ විභාගය මෙසේ දත යුතු යි.

ආසන්න වූ මරණය ඇත්තහුට - මෙයින් චුතිචිත්තයට ආසන්න වූ අන්තිම චිත්ත වීථිය සඳහන් කරයි.

වීථිචිත්තයාගේ අවසානයෙහි හෝ-මෙයින් කාමභවයෙන් චුත වැ කාමභවයෙහි උපදින්නවුන්ට ජවන පරියොසාන වූ හෝ තදාරම්මණ පරියොසාන වූ හෝ වීථිචිත්තය ලැබෙන බව ද සෙස්සන්ට ජවන පරියොසාන වූ ම වීථිචිත්තය ලැබෙන බව ද දතයුතුයි.

වීථිචිත්තයෙන් පසු වැ උපන් භවඞ්ගයාගේ අවසානයෙහි හෝ-මෙයින් යථෝක්ත වීථිචිත්තයෙන් පසු පංචවෝකාරයෙහි වස්තුරූපය හෝ චතුවෝකාරයෙහි චිත්තසන්තානය හෝ චිත්තක්‍ෂණ දෙකෙක ආයු ශේෂ වී නම් එවිට ඒ වීථිචිත්තාවසානයෙහි භවාඞ්ගයක් උපදින බව දක්වයි. එහි දු කාමභවයෙන් චුත වැ කාමභවයෙහි උපදින්නවුන්ට ජවනාවසානයෙහි හෝ තදාලම්බනාවසානයෙහි භවඞ්ගය ලැබෙන බව ද සෙස්සන්ට ජවනාවසානයෙහි ම භවඞ්ගය ලැබෙන බව ද සැලකිය යුතුයි.

වර්තමාන භවයාගේ අන්තිමය වූ-මෙයින් චුතිචිත්තය මේ භවය පිළිබඳ අවසාන චිත්තය බව දක්වයි.

චුතිචිත්තය ඉපිද නිරුද්ධ වන්නේය-මෙයින් චුතිචිත්තයාගේ උප්පාද ඨිති දක්වා භවඞ්ගය ද දැක්විණි.

එසේ නිරුද්ධ වන්නා හා සමග ම ඊට අනතුරු වැ-මෙයින් මිථ්‍යාමතයකට පහර දෙයි. ඒ මිථ්‍යාමතය නම් ඇතැම් කෙනෙක් චුති-ප්‍රතිසන්ධි දෙක අතර “අන්තරාභවයෙක්” ඇතැයි ද, එහි සත්ත්‍වයෝ දිවැස් ඇත්තවුන් මෙන් සෘද්ධිමතුන් මෙන් ඇසිල්ලකින් සිතූතැනට යන්නට සමර්ථයහ යි ද, ඔව්හු මව්පිය සඞ්ගම සොයමින් සතියක් හෝ ඉන් වැඩියක් හෝ වසත්ය යි ද දක්වත් ද එය යි. එබඳු අන්තරාභවයක් නැති බව ද, චුති සිතට අනතුරු වැ ම ප්‍රතිසන්ධිසිත පහළවන බවද මෙයින් දක්වයි.

යථෝක්ත වීථි සිත් විසින් ගන්නා ලද කර්මාදි අරමුණෙහි එල්බැ-මෙයින් මේ භවයෙහි අවසාන චිත්තවීථියිට කර්ම කර්මනිමිති ගතිනිමිති අතුරෙන් යමක් අරමුණු විණි ද එය ම දෙවන භවයෙහි ප්‍රතිසන්ධි සිතට ද අරමුණු වන බව කී නියා දතයුතු. අගලෙක මෙ තෙර සිටියෙක් උඩ ඇදැ තිබූ රැහැණෙක එල්බැ එ තෙරට පනින්නා සේ සත්ත්‍වයා කර්මාදි නිමිත්තයන්හි එල්බැ දෙවන භවයෙහි පිළිසිඳින්නේ ය.

අවිද්‍යානුශය පරික්‍ෂිප්ත තෘෂ්ණානුශය මූලක සංස්කාර විසින් උපදවනු ලබන-ප්‍රතිසන්ධි සිත කුමකින් උපදවනු ලබන්නේද සංස්කාර විසින් උපදවනු ලබන්නේය. කෙබඳු සංස්කාර විසින් ද? අවිද්‍යානුශය පරික්‍ෂිප්ත තෘෂ්ණානුශය මූලක සංස්කාර විසින්. මෙහි සංස්කාර නම් ප්‍රතිසන්ධි ජනක කර්ම සංඛ්‍යාත චේතනාවය. තත් සම්ප්‍රයුක්ත ඵස්සාදිය ද උපනිඃශ්‍රය වශයෙන් එහි ම ලා ගත හැකි ය. තව ද මෙහි සංස්කාර යන්නෙන් මරණාසන්න ජවන විඤ්ඤාණ සහජාත චේතනාව හෝ ගත හැකි ය. උපනිඃශ්‍රය වශයෙන් තත් සම්ප්‍රයුක්ත ඵස්සාදිය ද ගැනේ. නානා ක්‍ෂණික කර්මයෙන් රුකුල් ලද අවසාන ජවන සහගත චේතනාව ප්‍රතිසන්ධි දනේනේ ය. අවිද්‍යානුශය පරික්‍ෂිප්ත තෘෂ්ණානුශය මූලක-අර්හත් මාර්ග ඥානයෙන් කෙළෙස් ප්‍රහාණය නො කළවුන්ගේ සිත්හි අවිද්‍යානුශය හා තෘෂ්ණානුශය ඇත්තේම ය. එයින් අකුශල සිත්හි අවිජ්ජා තණ්හා සම්ප්‍රයුක්ත වශයෙන් ම යෙදේ. කුශල සිත්හි අනුශය වශයෙන් යෙදේ. අනුශය නම් කාරණයක් නැති කල්හි සිතෙහි නිදි ගෙන මෙන් සිටින කාරණයක් පැමිණි කල්හි නැගී එන ක්ලේශයෝ ය. ඔව්හු සත් දෙනෙකි. එයින් මේ දෙකෙකි. අවිද්‍යාව විෂයාදීනව මුවා කෙරෙයි. තණ්හාව මුවා කළ ආදීනව ඇති විෂයයෙහි නමාලයි-සංස්කාර එහි තල්ලු දෙන්නාක් මෙන් කරයි.

ඵස්සාදි සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ පරිගෘහිත සහජාත ධර්මයන්ට අධිෂ්ඨාන භාවයෙන් පූර්වඞ්ගම වූ-මෙය ප්‍රතිසන්ධි සිතේ ආකාරය යි. ප්‍රතිසන්ධි සිත හුදෙකලා නොවේ. එය ඵස්ස වෙදනාදි චෛතසිකයන්ගෙන් වටකර ගන්නා ලද්දේ ය. එසේ ම එය අප්‍රධාන ද නො වේ. සහජාත නාමරූපයන්ට ආධාර බැවින් පූර්වඞ්ගම ය. රූප ගත්තේ ප්‍රතිසන්ධි සිත සමග ම කර්මජ රූප පහළ වන තැන් සඳහා ය.

සවස්තුක වැ හෝ අවස්තුක වැ-මෙය ද, ප්‍රතිසන්ධි චිත්තයේ ලක්‍ෂණයෙකි. පංචවොකාර භවයෙහි ප්‍රතිසන්ධි සිත සවස්තුක ය. හෘදය වස්තු සමග පවත්නා බැවිනි. චතුවොකාර භවයෙහි ප්‍රතිසන්ධි සිත අවස්තුක ය. චතුවොකාර නම් අරූප භූමි යි. එහි රූප කැලම නැත්තේ ය. අසඤ්ඤසත්තයෙහි වනාහි ප්‍රතිසන්ධි වන්නේ ජීවිත නවක රූපය ය. සිතෙක් එහි නැති එහෙයින් එය රූපප්‍රතිසන්ධික ය යි කියනු ලැබේ. අරූපාවචරයෝ අරූප ප්‍රතිසන්ධිකයෝ ය. සෙස්සෝ රූපාරූප ප්‍රතිසන්ධිකයෝ ය.

සුදුසු පරිදි-කුශල අකුශලයන්ට සුදුසු පරිදි-අකුශලයෙන් සතර අපායෙහි, කුශලයෙන් කාමස්වර්ග, රූප, අරූප, භූමින්හි

භවාන්තර සන්‍ධාන වශයෙන් උපදිමින් පවත්නේය-මෙයින් කිසිවක් අන්‍යභවයකට නො යන බව ද, ස්කන්‍ධසත්තතිය අවිච්ඡින්නවැ පවතින බව ද දැක්විණි.

සාමාන්‍යයෙන් ජවන් සිත සත්වරක් උපදින්නේ නමුදු මේ මරණාසන්න වීථියෙහිදී එය පස්වරක් පමණක් උපදින බව දත යුතුයි. කර්මය හෝ හෘදය වස්තුව දුර්බල බැවිනි. එසේ හෙයින් යම් විටෙක ආපාතගත වූ පච්චුප්පන්න නිමිති ධ්‍රියමාන කල්හි ම මරණය වේ ද එවිට ප්‍රතිසන්ධි භවඞ්ගයන්ට ද ප්‍රත්‍යුත්පන්නාරම්මණත්‍වය ලැබෙන්නේ ය.

කෙබඳු චුති චිත්තයකට අනතුරු වැ කෙබඳු ප්‍රතිසන්ධි චිත්තයෙක් වන්නේ ද හෙවත් කවර කවර ලෝකවලින් චුතවූවෝ කවර කවර ලෝකවල උපදිත් ද යනු මෙහි දක්වනු ලැබේ.

අරූපාවචර චුතිචිත්තයන්ට අනුතරු වැ මතු මතු අරූපාවචර ප්‍රතිසන්ධීහු ද කාමත්‍රිහේතුක ප්‍රතිසන්ධිහු ද වෙත්. හෙවත් අරූපාවචර ලෝකයෙන් චුතවන්නෝ යට යට අරූපාවචර ලෝකයන්හි නූපදිති. මතු මතු අරූපාවචර ලෝකයන්හි ම උපදිති. එසේ ම ඔව්හු රූපාවචර ලෝකයන්හි ද නූපදිති. කාමලෝකයන්හි උපදින්නෝ ත්‍රිහේතුකයෝවැ ම උපදිති. ද්විහේතුකයෝ වැ හෝ අහේතුකයෝ වැ නූපදිත්. උපචාර ධ්‍යාන චේතනායෙහි බලවත් බව මෙයින් දැක්වේ.

රූපාවචර චුතිචිත්තයන්ට අනතුරු වැ අහේතුක ප්‍රතිසන්ධි හැරැ සෙසු ප්‍රතිසන්ධීහු වෙත්-හෙවත් රූපාවචර ලෝකයෙන් චුතවන්නෝ සතර අපායෙහි නූපදිති. කාම සුගතියෙහි ද ජාත්‍යන්‍ධාදි වූ අහේතුකයෝ වැ නූපදිත්. මෙයින් ඔවුන්ට කාමසුගතියෙහි ද්විහේතුක ත්‍රිහේතුක වැ ද රූපී අරූපී බ්‍රහ්ම වැ ද උපදිය හැකි බව දැක්වේ.

කාමාවචර ත්‍රිහේතුක චුතිචිත්තයන්ට අනතුරු වැ සියලු ම ප්‍රතිසන්ධීහු වෙත්. මෙයින් කාමත්‍රිහේතුකයන්ම මරණයෙන් පසු අපාය කාමසුගති රූපී අරූපී බ්‍රහ්මලෝක යන සියලු තැන්හි උපදිය හැකි බව දැක්විණි.

ද්විහේතුක අහේතුක චුතිචිත්තයන්ට අනතුරු වැ කාම භූමීන්හි ම ත්‍රිහේතුක ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධීහු වෙත්. ද්විහේතුක අහේතුකයන්ට මරණයෙන් පසු බ්‍රහ්ම ලෝකයන්හි උපදිය නොහැකි බව මෙයින් දැක්වේ.

“ආරුප්පචුතියා හොන්තී හෙට්ඨිමාරුප්පවජ්ජිතා

පරමාරූප්පසන්ධි ච තථා කාමෙ තිහෙතුකා.

.

රූපාවචර වුතියා අහෙතුරහිතා සියුං

සබ්බා කාම තිහෙතුම්හා කාමෙස්වෙව පනෙතරා”

අදහස සුගමයි.

මේ ච්‍යුති ප්‍රතිසන්ධි ක්‍රමය යි.

මෙසේ පිළිසිඳැ ගත්තවුන්ගේ ඒ ප්‍රතිසන්ධි චිත්තය භඞ්ග වන්නා හා සමග මැ ඊට අනතුරු වැ භවඞ්ග චිත්තය උපදින්නේ ය. මේ භවඞ්ග චිත්තය ද ප්‍රතිසන්ධි චිත්තයමැ ය. එයට අරමුණත් ප්‍රතිසන්ධි චිත්තයේ අරමුණ මැ ය. වෙනස නමින් පමණෙකි. භවයාගේ අවිච්ඡේද ප්‍රවෘත්තියට අඞ්ග වන බැවින් මේ අවස්ථායෙහි එයට භවඞ්ගය යි කියනු ලැබේ. ඒ භවඞ්ග චිත්තයත් භඞ්ග වන්නා හා සමග මැ එබඳු වූ ම තවත් භවඞ්ග චිත්තයෙක් වන්නේය. මෙසේ චක්‍ෂුරාදි ද්වාරයන්ගෙන් ලැබෙන වීථිසිත් නොවන කල්හි මේ භවඞ්ග සන්තතිය නදී ශ්‍රොතයක් මෙන් අවිච්ඡින්න වැ පවත්නේ ය. අවසානයෙහි එය ම චුතිචිත්තය වැ ඉපිද භඞ්ග වන්නේ ය. එයට අනතුරු වැ නැවැත ප්‍රතිසන්ධි චිත්තාදිය වන්නේ ය, මෙසේ මේ චිත්ත සන්තතිය රථචක්‍රයක් මෙන් නිරතුරු වැ භ්‍රමණය වන්නේ ය. රහත්වීමෙන් පසු ලැබෙන චුතිචිත්තයෙන් (ස්කන්‍ධ පරිනිර්වාණයෙන්) ඒ භ්‍රමණය නවතින්නේ ය. එවිට ඔහුගේ සංසාරය සිඳුනේ වන්නේ ය. හෙතෙම නිර්වාණයට පැමිණියේ වන්නේ යි.

මේ ගාථා දෙක ද හෘද්ගත කරනු.

“පටිසන්ධි භවඞ්ග වීථියො චුතිචෙහ තථා භවන්තරෙ

පුනසන්ධි භවඞ්ගමිච්චයං පරිවත්තති චිත්තසන්තති

.

පටිසංඛාය පනෙතමද්ධුවං අධිගන්ත්වා පදමච්චුතං බුධා

සුසමුච්ඡිත්තසිනෙහ බන්ධනා සමමෙස්සන්ති චිරාය සුබ්බතා”

මේ භවයෙහි යම් සේ ප්‍රතිසන්ධි භවඞ්ග වීථි චුති වන්නේ ද එසේ ම භවාන්තරයෙහි නැවත ප්‍රතිසන්ධි භවඞ්ගාදිය වන්නේ ය. මෙසේ මේ චිත්තසන්තතිය පරිවර්තනය වෙයි.

ප්‍රාඥයෝ මේ වෘත්තයාගේ පැවැත්ම මෙසේ අස්ථිරය යි නුවණින් සලකා දැනැ බොහෝ කලක් සුන්දර ව්‍රත ඇත්තෝ වැ අමරණීය ස්වභාව වූ නිර්වාණය අවබෝධ කොටැ ගෙන මොනවට සිඳැ පියන ලද ස්නේහබන්‍ධන ඇති වැ නිරුපධිශේෂ නිර්වාණ ධාතුවට පැමිණෙත් යනු එහි සාමාන්‍ය අදහස යි.

ප්‍රශ්න.

  1. මරණය සිදුවිය හැකි සතර ආකාරය විස්තර කරනු.
  2. මරණාසන්නයෙහි අරමුණු වන කර්ම කර්මනිමිති ගතිනිමිති පැහැදිලි කරනු.
  3. කවර කවර සිත්වලට අනතුරු වැ චුතිචිත්තය වන්නේ ද? චුතිචිත්තයේ අරමුණ කුමක් ද?
  4. ච්‍යුති ප්‍රතිසන්ධි ක්‍රමය දක්වනු.
  5. කවර කවර චුතිචිත්තයන්ට අනතුරු වැ කවර කවර ප්‍රතිසන්ධීහු වෙත් ද?

පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්ථවිර ස්වාමීන් කළ අභිධර්මචන්‍ද්‍රිකාවේ වීථිමුක්තපාදය යි.