ද්වාර නම්, ඇතුළුවීමට හා පිටවීමට අවකාශ ඇති තැන් ය. මනොද්වාරාවර්ජනාදී වූ චිත්තයන්ගේ පැවැත්මට අවකාශ ඇති තැන් මෙහි ද්වාර යයි කියනු ලැබේ. ද්වාර වනාහි චක්ඛුද්වාරය, සොතද්වාරය, ඝාණද්වාරය, ජිව්හාද්වාරය, කායද්වාරය, මනොද්වාරය යි සවැදෑරුම් වේ.
1. චක්ඛු නම්, චක්ෂුඃප්‍රසාදය-හෙවත් ඇස් ගඩුව නිසා පවත්නා රූප දර්ශනයෙහි ශක්ති ඇති ස්ථානය. චක්ඛුව ම ද්වාර වූයේ චක්ඛුද්වාර යි.
2. සොත නම්, ශ්‍රොත්‍ර ප්‍රසාදය-හෙවත් කන්බිල තුළ රෝම කූපයක් නිසා පවත්නා ශබ්ද ශ්‍රවණයෙහි ශක්ති ඇති ස්ථානය. සොතය ම ද්වාර වූයේ සොතද්වාර යි.
3. ඝාණ නම්, ඝ්‍රාණ ප්‍රසාදය-හෙවත් නාසිකාව තුළ එළුකුර සටහනක් බඳු වූ ගැන්මේ ශක්ති ඇති ස්ථානය. ඝාණය ම ද්වාර වූයේ ඝාණද්වාර යි.
4. ජිව්හා නම්, ජිව්හා ප්‍රසාදය හෙවත්-දිව ඇසුරු කොට පවත්නා රස විඳ ගැන්මේ ශක්ති ඇති ස්ථානය. ජිව්හා ම ද්වාර වූයේ ජිව්හාද්වාර යි.
5. කාය නම්, කායද්වාරය-හෙවත් කෙස් ලොම් නිය අග් හා වියලී ගිය සම් කැබලි ආදි තැන් හැර, මුළු ශරීරය ඇසුරු කොටැ පවත්නා ස්පර්ශ විඳ ගැන්මේ ශක්ති ඇති ස්ථානය. කාය ම ද්වාර වූයේ කායද්වාර යි.
6. මන නම්, මෙහි භවාඞ්ග චිත්තය යි. හෙ ද සාමාන්‍ය භවාඞ්ගය ම නොවැ ආවර්ජනයට නැමීගත් භවාඞ්ගය යි. “සාවජ්ජනං භවඞ්ගං තූ මනොද්වාරංති වුච්චති” යනු එහෙයින් කියන ලදි. මන ම ද්වාර වූයේ මනොද්වාර යි.
මේ එක් එක් ද්වාරයක් ඇසුරු කොටැ උපදනා සිත් මෙසේ දත යුතුයි.
7. පඤ්චද්වාරාවර්ජනය, චක්ඛු විඤ්ඤාණ ද්විකය, සම්පටිච්ඡන යුගලය, සන්තීරණ ත්‍රිකය, වොත්‍ථපනය, කාමාවචර ජවන එකුන්තිස (29) ය, තදාලම්බන අටය යන මේ සසාළිස් (46) සිත් චක්ඛුද්වාරයෙහි උපදනේ ය.
පඤ්චද්වාරාවර්ජන නම් චිත්තපාද 10 වන පාඩමේ දැක්වුණු පඤ්චද්වාරාවර්ජන සිතය. චක්ඛුවිඤ්ඤාණ ද්වික නම්, එහි 8 වන පාඩම්හි දැක්වුණු අකුශල විපාක හා කුශල අහේතුක විපාක චක්ඛු විඤ්ඤාණ සිත් දෙකය. සම්පටිච්ඡන යුගල නම්, එහි ම දැක්වුණු අකුශල විපාක හා කුශල අහේතුක විපාක සම්පටිච්ඡන යුවල ය. සන්තීරණත්‍රික නම්, එහි ම දැක්වුණු අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය හා කුසල අහේතුක විපාක සෝමනස්ස සහගත හා උපෙක්ඛා සහගත සන්තීරණ ද්විකය යන සන්තීරණ සිත් තුනය. වොත්‍ථපන නම්, අහේතුක ක්‍රියා සිතක් වූ මනොද්වාරාවර්ජනයයි. කාමාවචර ජවන් එකුන්තිස (29) නම්, අකුසල සිත් 12 ය. හසිතුප්පාදය, කාමාවචර කුසල් අට ය. එම සහේතුක ක්‍රියා අටය යන මොහු ය. තදාලම්බන (8) නම්, කාමාවචර සහේතුක විපාක සිත් අටය. සන්තීරණ ත්‍රිකය තදාලම්බන වතු දු එය සන්තීරණ වශයෙන් දැක්වුණු බැවින් මෙහි නොගන්නා ලදි. අගහිත ගහණ වශයෙන් ය. අගහිත ගහණ නම්, කලින් නොගත් දේ ම ගැන්ම යි. චක්ෂුඃ ප්‍රසාදයෙහි රූප ගැටුණු විට ඒ ඒ අවස්ථානුරූප වශයෙන් මේ සිත් සසාළිස (46) උපදින්නේ ය යි දත යුතු. වීථි පාදය උගත් කල ම ඒ බැව් පැහැදිලි වන්නේ යි.
8. පඤ්චද්වාරාවර්ජනය, සොතවිඤ්ඤාණ ද්විකය, සම්පටිච්ඡන යුගලය, සන්තීරණ ත්‍රිකය, වොත්‍ථපනය, කාමාවචර ජවන එකුන්තිස (29) ය, තදාලම්බන අටය යන සසාළිස් සිත් සොතද්වාරයෙහි උපදනේ ය. විශේෂය නම්, චක්ඛුවිඤ්ඤාණ ද්විකය වෙනුවට සොත විඤ්ඤාණ දෙසිත ඉපැද්ම පමණෙකි.
9. මෙසේ ම පඤ්චද්වාරාවර්ජනය, ඝාණවිඤ්ඤාණ ද්විකය, සම්පටිච්ඡන යුගලය, සන්තීරණ ත්‍රිකය, වොත්‍ථපනය, කාමාවචර ජවන එකුන්තිස (29) ය, තදාලම්බන අටය යන සසාළිස් සිත් ඝාණද්වාරයෙහි උපදනේ ය.
10. පඤ්චද්වාරාවර්ජනය, ජිව්හාවිඤ්ඤාණ ද්විකය, සම්පටිච්ඡන යුගලය, සන්තීරණ ත්‍රිකය, වොත්‍ථපනය, කාමාවචර ජවන එකුන්තිස (29) ය, තදාලම්බන අටය යන සසාළිස ජිව්හාද්වාරයෙහි උපදනේ ය.
11. පඤ්චද්වාරාවර්ජනය, කායවිඤ්ඤාණ ද්විකය. සම්පටිච්ඡන යුගලය, සන්තීරණ ත්‍රිකය, වොත්‍ථපනය, කාමාවචර ජවන එකුන්තිස (29) ය, තදාලම්බන අටය යන සසාළිස කායද්වාරයෙහි උපදනේ යි.
අගහිත ගහණ වශයෙන් ගත් කල පඤ්චද්වාරයෙහි උපදින සියලු සිත් සූපණසෙකැ (54) යි දත යුතුයි.
12. මනොද්වාරයෙහි වනාහි මනොද්වාරාවර්ජනය, පස් පණස් (55) ජවන් ය. තදාලම්බන එකොළොස (11) ය යන සිත් සත්සැට (67) උපදනේ ය. ජවන් පස්පණස (55) යට දක්වන ලදි. මෙහි සන්තීරණ ත්‍රිකය ද ලැබෙන බැවින් තදාලම්බන 11 ම ගැනිණි.
13. ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, ච්‍යුති සිත් එකුන්විස්ස (19) මේ එක ද්වාරයෙක ද නූපදනේ ය. එබැවින් ඔව්හු (ද්වාර) විමුක්ත නම් වෙත්. ප්‍රතිසන්‍ධි සිත් ම භවාඞ්ග ච්‍යුති වන සැටි යට දක්වන ලදී. මනොද්වාරය වන්නේ ආවර්ජනය නැමුණු භවාඞ්ගය යි. මොවුන් (ප්‍රතිසන්‍ධ්‍යාදි සිත්) චක්‍ෂුරාදිද්වාරයන්හි නූපදින බව යට දැක්වුණු ක්‍රමවලින් අවබෝධ කරගත හැකි යි.
ප්‍රශ්න.
- ද්වාර නම් කිම? ඔහු කී වැදෑරුම් ද? කවරහු ද?
- චක්‍ෂුද්වාරයෙහි උපදින සිත් කවරහු ද?
- පඤ්චද්වාරයෙහි උපදින සිත් අගහිත ගහණ වශයෙන් දක්වනු.
- මනොද්වාරයෙහි සිත් කෙතෙක් උපදිත් ද? කවරහු ද?
- ද්වාරවිමුක්ත සිත් කෙතෙක් ද? කවරහු ද? ද්වාරවිමුක්ත නම් කිම?