10. ද්වාර සංග්‍රහය. (දෙවන කොටස)

ෂඩ්ද්වාර ද, ෂඩ්ද්වාරික සිත් ද, ද්වාරවිමුක්ත සිත් ද යට දක්වන ලද්දේ ය. ඔවුන් අතුරෙන් එක් එක් ද්වාරයෙහි වෙන් වෙන් වැ උපදින සිත් ද, ද්වාර පසෙක උපදින සිත් ද, ද්වාර සයෙහි ම උපදින සිත් ද, වරෙක ද්වාර සයෙහි උපදිමින් වරෙක ද්වාර විමුක්ත වන සිත් ද මේ කොටසෙහි දක්වනු ලැබේ.

1. පඤ්චවිඤ්ඤාණ සිත් දසය ද, මහග්ගත ජවන අටළොස (18) ද, ලොකුත්තර ජවන අට ද යන සතිස් (36) සිත් එක් එක් ද්වාරයෙහි ම උපදනේ ය.

ඒ එසේ මැයි. චක්ඛු විඤ්ඤාණ සිත් දෙක චක්‍ෂුර්ද්වාරයෙහි උපදී. අන් කිසි ද්වාරයෙක නූපදී. සෝත විඤ්ඤාණ සිත් දෙක සොතද්වාරයෙහි උපදී, ඝාණ විඤ්ඤාණ සිත් දෙක ඝාණද්වාරයෙහි උපදී. ජිව්හා විඤ්ඤාණ සිත් දෙක ජිව්හාද්වාරයෙහි උපදී. කාය විඤ්ඤාණ සිත් දෙක කායද්වාරයෙහි උපදී. අන් කිසි ද්වාරයෙක නූපදී. මේ පඤ්ච විඤ්ඤාණ සිත් දසය එකද්වාරික වන ආකාර යි.

මහග්ගත ජවන අටළොස (18) නම්, රූපාවචර කුසල සිත් පසය, එම ක්‍රියා සිත් පසය, අරූපාවචර කුසල සිත් සතරය, එම ක්‍රියා සිත් සතරය යන මොහු යි. මොහු මනොද්වාරයෙහි ම උපදිති. චක්‍ෂුරාදි පඤ්චද්වාරයෙහි නූපදිත්.

ලොකුත්තර ජවන අට නම්, මාර්ග සිත් සතර හා ඵලසිත් සතර යි. මොහු මනොද්වාරයෙහි ම උපදිති. අන්‍යද්වාරයෙක නූපදිත්. මෙසේ මේ සිත් සතිස (36) එක් එක් ද්වාරයෙහි ම උපදින බැවින් එකද්වාරික චිත්තයෝ ය යි කියනු ලැබෙත්.

2. මනොධාතු ත්‍රිකය පඤ්චද්වාරයෙහි ම උපදනේ ය. මනොධාතු ත්‍රික නම් පඤ්චද්වාරාවර්ජනය හා සම්පටිච්ඡන යුගලය යි.

ඇසට රූපයක් ආපාථගත වූ කල්හි භවාඞ්ගසන්තතිය සැලී සිඳී පඤ්චද්වාරාවර්ජනය ඉපිද චක්ඛුවිඤ්ඤාණයට අනතුරු වැ සම්පටිච්ඡන සිත් දෙකින් එකක් ආරම්මණානු රූප වැ ඉපදිය යුතු. එහෙයින් මොව්හු චක්ඛුද්වාරයෙහි උපදිත්. එ සේ ම කනට ශබ්දයක් ඇසුණු කල්හි දු ඝාණයට ගඳ සුවඳක් ගැටුණු කල්හි දු දිවට රසයක් වැදුණු කල්හි දු ශරීරයට ස්ප්‍රෂ්ටව්‍යයක් හැපුණු කල්හි දු භවාඞ්ග සන්තතිය සැලී සිඳී පඤ්චද්වාරාවර්ජනය ඉපිද සොත විඤ්ඤාණාදීන්ට අනතුරු වැ ආරම්මණානු රූප වැ සම්පටිච්ඡන දෙකින් එකක් ඉපදිය යුතුය. එහෙයින් මොව්හු සොතද්වාරයෙහි ද, ඝාණද්වාරයෙහි ද, ජිව්හාද්වාරයෙහි ද, කායද්වාරයෙහි ද උපදිති. එබැවින් ම මේ සිත් තුන පඤ්චද්වාරිකයි.

3. සෝමනස්ස සහගත සන්තීරණය ද, වොත්‍ථපන සඞ්ඛ්‍යාත මනොද්වාරාවර්ජනය ද (අකුසල දොළොසය, හසිතුප්පාදය, කාමාවචර කුසල අටය, එම සහේතුක ක්‍රියා අටය යන) කාමාවචර ජවන එකුන්තිස (29) ද යන එක්තිස් (31) සිත් ෂඩ්ද්වාරයෙහි උපදනේ ය. ඒ එසේ මැයි.

සෝමනස්ස සහගත සන්තීරණය පඤ්චද්වාරයෙහි සන්තීරණ තදාලම්බන වශයෙන් ද, මනොද්වාරයෙහි තදාලම්බන වශයෙන් ද උපදී.

මනොද්වාරාවර්ජනය පඤ්චද්වාරයෙහි වොත්‍ථපන වශයෙන් ද, මනොද්වාරයෙහි මනොද්වාරාවර්ජන වශයෙන් ද උපදී.

කාමාවචර ජවන් එකුන්තිස (29) ඒ ඒ අවස්ථා පුද්ගලානුරූප වැ ෂඩ්ද්වාරයෙහි ම උපදී. එබැවින් මේ එක්තිස් චිත්තයෝ ෂඩ්ද්වාරිකයෝ යි.

4. උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙක හා මහා විපාක සිත් අට ෂඩ්ද්වාරයෙහි ද උපදනේ ය. ද්වාරවිමුක්ත ද වන්නේ යි. ඒ එසේ මැයි.

උපෙක්ඛා සහගතසන්තීරණ දෙක පඤ්චද්වාරයෙහි සන්තීරණ තදාලම්බන වශයෙන් ද මනොද්වාරයෙහි තදාලම්බන වශයෙන් ද පවත්නා කල ෂඩ්ද්වාරික වේ. ඔහු දෙදෙන පටිසන්‍ධි භවඞ්ග චුති වශයෙන් පවත්නා කල ද්වාර විමුක්ත වෙත්.

මහාවිපාක අට නම්, කාමාවචර සහේතුක විපාක සිත් අට ය. ඔව්හු තදාලම්බන වශයෙන් පවත්නා කල ෂඩ්ද්වාරික වෙති. ප්‍රතිසන්‍ධි භවඞ්ග ච්‍යුති වශයෙන් පවත්නා කල ද්වාර විමුක්ත වෙත්.

5. මහග්ගත විපාකයෝ ද්වාරවිමුක්ත ම වෙත්. මහග්ගත විපාක නම්, රූපාවචර අරූපාවචර විපාක සිත් නවය යි. ඔව්හු පටිසන්‍ධි භවඞ්ග චුති වශයෙන් ම පවතිති. තදාලම්බනාදි වශයෙන් නො පවතිත්. එහෙයින් ද්වාරවිමුක්ත මැයි.

[1]*එකද්වාරික විත්තානි පඤ්ච ඡද්වාරිකානි ච,

ඡද්වාරික විමුත්තානි විමුත්තානි ච සබ්බථා.

.

ඡත්තිංසති තථා තීණි එකතිංස යථාක්කමං,

දසධා නවධා චෙති පංචධා පරිදීපයෙ.”

එකද්වාරික සිත් සතිසෙ (36)කි. පඤ්චද්වාරික සිත් තුනෙකි. ෂඩ්ද්වාරික සිත් එක්තිසෙ (31) කි. ෂඩ්ද්වාරික හා ද්වාරවිමුක්ත සිත් දසයෙකි. ද්වාර විමුක්ත සිත් නවයෙකි. මෙසේ ද්වාර සංග්‍රහය පංචවිධ වශයෙන් දක්වන්නේ යි.

ප්‍රශ්න.

  1. එකද්වාරික සිත් කෙතෙක් ද? කවරහු ද? වෙන් වශයෙන් දක්වනු.
  2. පඤ්චද්වාරික සිත් කෙතෙක් ද? කවරහු ද?
  3. ෂඩ්ද්වාරික සිත් එක්තිස (31) දක්වනු.
  4. ෂඩ්ද්වාරික හා ද්වාරවිමුක්ත සිත් දක්වනු.
  5. ද්වාරවිමුක්ත සිත් කවරහු ද? ඔව්හු කුමක් හෙයින් ද්වාර විමුක්ත වූ ද?
  1. *එක් දොර සිත් සතිස්-පස්දොර සිත් තුනෙක් වේ.

    සදොර සිත් එක්තිස්-යළි සදොර දොරමුත් දස.

    වැළි දු දොරමුත් සිත්-නවයෙකි මෙලෙස සිත් මුළු,

    දොර සඟරා විසින් පස්-වැදෑරුම් බව දන්නේ.