8. කෘත්‍ය සංග්‍රහය. (පස්වන කොටස)

එකුන් අනූ (89) සිත් වලින් තුදුස් කෘත්‍ය කෙරෙන සැටි යට දක්වන ලදි. ඔවුන් අතුරෙන් ඇතැම් සිත්වලින්/කෘත්‍ය පසෙක් ද, ඇතැම් සිත්වලින් කෘත්‍ය සතරෙක් ද? ඇතැම් සිත් වලින් කෘත්‍ය තුනෙක් ද, ඇතැම් සිත්වලින් කෘත්‍ය දෙකෙක් ද, ඇතැම් සිත්වලින් එක එක කෘත්‍යය ද සිද්ධ වේ. ඒ බැව් යට දක්වන නමු දු පැහැදිලි වශයෙන් මෙහි දු දක්වනු ලැබේ.

1. උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙකින් ප්‍රතිසන්‍ධිය, භවාඞ්ගය, චුතිය, තදාරම්මණය, සන්තීරණය, යන කෘත්‍ය පසෙක් වන්නේ ය.

ඒ එසේ මැ යි. මේ සිත් දෙකින් අකුසල් වලට හා ද්විහේතුක ඔමක කුසල්වලට ප්‍රතිසන්‍ධි විපාක වහයෙන් පවත්නා කල්හි ප්‍රතිසන්‍ධි කෘත්‍යය ද, ඒ පිළිසිද ගත් තැන් පටන් සදොරින් අරමුණු නො ගෙන චිත්ත සන්තතියේ අවිච්ඡේද ප්‍රවෘත්ති වශයෙන් පවත්නා කල්හි භවාඞ්ග කෘත්‍ය ද, අවසානයෙහි මරණ වශයෙන් පවත්නා කල්හි ච්‍යුති කෘත්‍යය ද, ඇතැම් තැනෙක ජවන විසින් ගත් අරමුණ ගන්නා කල්හි තදාලම්බන කෘත්‍ය ද පඤ්චද්වාරයෙහි සම්පටිච්ඡනයට අනතුරු වැ අරමුණ තීරණය කිරීම් වශයෙන් පවත්නා කල්හි සන්තීරණ කෘත්‍ය ද සිද්ධවන්නේ ය. මෙහි විශේෂ විභාග මතු පළ වේ.

2. කාමාවචර සහේතුක විපාක සිත් අටෙන් ප්‍රතිසන්‍ධිය, භවාඞ්ගය, චුතිය, තදාරම්මණය යන කෘත්‍ය සතරෙක් වන්නේ ය.

ඒ එසේ මැයි. කාමාවචර ත්‍රිහේතුක උත්කෘෂ්ටවූද ත්‍රිහේතුක ඔමක හා ද්විහේතුක උත්කෘෂ්ට වූ ද කුශලයන්ට ප්‍රතිසන්‍ධි විපාක වශයෙන් පවත්නා කල්හි ප්‍රතිසන්‍ධි කෘත්‍ය ද, ඒ භවයෙහි සදොරින් අරමුණු නොගන්නා කල්හි භවාඞ්ග කෘත්‍ය ද, අවසානයෙහි මරණ වශයෙන් පවත්නා කල්හි ච්‍යුති කෘත්‍ය ද, ජවන විසින් ගත් අරමුණ ම ගෙන සිටින කල්හි තදාරම්මණ කෘත්‍ය ද වන්නේ යි.

3. මහග්ගත විපාක හෙවත් රූපාවචර අරූපාවචර විපාක සිත් නවයෙන් ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, චුති යන කෘත්‍ය තුනෙක් වන්නේ ය. ඒ එසේ මැයි. ඔවුන්ගෙන් ඒ ඒ රූපාවචර අරූපාවචර භවයන්හි ප්‍රතිසන්‍ධි වශයෙන් පවත්නා කල්හි ප්‍රතිසන්‍ධි කෘත්‍ය ද, ද්වාරවලින් අරමුණු නොගෙන චිත්ත සන්තතියේ අවිච්ඡේද ප්‍රවෘත්ති වශයෙන් පවත්නා කල්හි භවාඞ්ග කෘත්‍ය ද අවසානයෙහි ච්‍යුති කෘත්‍ය ද වන්නේ යි.

4. සෝමනස්ස සහගත සන්තීරණ චිත්තයෙන් සන්තීරණ, තදාලම්බන යන කෘත්‍ය දෙකෙක් වන්නේ ය.

ඒ එසේ මැ යි එයින් පඤ්චද්වාරය පිළිබඳ අති ඉෂ්ටාලම්බනයෙහි සම්පටිච්ඡනයට අනතුරු ව ඒ අරමුණ ම තීරණය කිරීම් වශයෙන් පවත්නා කල්හි සන්තීරණ කෘත්‍යය සිද්ධ වේ. ජවනාවසානයෙහි ජවන විසින් ගත් අරමුණ ගැනීම් වශයෙන් පවත්නා කල්හි තදාලම්බන කෘත්‍යය සිද්ධ වේ.

5. මනොද්වාරාවර්ජන චිත්තයෙන් වොත්‍ථපනය, ආවර්ජනය යන කෘත්‍ය දෙකෙක් වන්නේ ය.

පඤ්චද්වාරික වීථියෙහි සන්තීරණයට අනතුරු ව ඒ අරමුණ ම ව්‍යවස්ථා කිරීම් වශයෙන් වොත්‍ථපන කෘත්‍යය වේ. මනොද්වාරික වීථියෙහි භවාඞ්ග උපච්ඡේදයට අනතුරු වැ ආවර්ජන කෘත්‍ය වෙ යි.

6. සෙසු පස්පණස් (55) ජවන සිත්වලින් ද, මනොධාතුත්‍රික සඞ්ඛ්‍යාත වූ පඤ්චද්වාරාවර්ජන සම්පටිච්ඡන යුගල යන සිත් තුනින් ද, දෙපස් විඤ්ඤාණ සංඛ්‍යාත චක්ඛු විඤ්ඤාණ සිත් දෙකය, සොත විඤ්ඤාණ සිත් දෙකය, ඝාණ විඤ්ඤාණ සිත් දෙකය, ජිව්හා විඤ්ඤාණ සිත් දෙකය, කාය විඤ්ඤාණ සිත් දෙකය යන සිත් දසයෙන් ද එක එක කෘත්‍යය ම වන්නේ ය. ඒ එසේ මැ යි. ජවන සිත් පස් පණසින් ජවන කෘත්‍යය ම කෙරේ. පඤ්චද්වාරාවර්ජන චිත්තයෙන් ආවර්ජන කෘත්‍යය ම කෙරේ. සම්පටිච්ඡන සිත් දෙකින් සම්පටිච්ඡන කෘත්‍යය ම කෙරේ. චක්ඛු විඤ්ඤාණ සිත් දෙකින් දර්ශන කෘත්‍යය ම කෙරේ. සෝත විඤ්ඤාණ සිත් දෙකින් ශ්‍රවණ කෘත්‍යය ම කෙරේ. ඝාණ විඤ්ඤාණ සිත් දෙකින් ආඝ්‍රායන කෘත්‍යයම කෙරේ. ජිව්හා විඤ්ඤාණ සිත් දෙකින් ආස්වාදන කෘත්‍යය ම කෙරේ. කාය විඤ්ඤාණ සිත් දෙකින් ස්පර්ශ කෘත්‍යය ම කෙරේ.

[1] *“ පටිසන්‍ධාදයො නාම කිච්චභෙදෙන චුද්දස,

දසධා ඨාන භෙදෙන චිත්තුපාදා පකාසිතා.

අට්ඨසට්ඨි තථා ද්වෙ ච නවාට්ඨ ද්වෙ යථාක්කමං,

එක ද්වි ති චතු පඤ්ච කිච්චට්ඨානානි නිද්දිසෙ”.

ප්‍රතිසන්‍ධ්‍යාදි වූ චිත්තොත්පාදයෝ කෘත්‍ය භේදයෙන් තුදුස් (14) විධ වන්නාහ. ස්ථාන භේදයෙන් දස (10) විධ වන්නාහ. එහි දු එක කෘත්‍ය කෙරෙන සිත් අටසැටෙ (68) ක. ද්වි කෘත්‍ය කෙරෙන සිත් දෙකෙක. ත්‍රි කෘත්‍ය කෙරෙන සිත් නවයෙක. චතු කෘත්‍ය කෙරෙන සිත් අටෙක. පංච කෘත්‍ය කෙරෙන සිත් දෙකෙක. යට දැක්වුණු ලෙසින් ගණන් බලා ගත යුතු යි.

ප්‍රශ්න.

  1. එක කෘත්‍යය කෙරෙන සිත් කෙතෙක් ද? කවරහු ද?
  2. කෘත්‍ය දෙකක් කෙරෙන සිත් කෙතෙක් ද? කවරහු ද?
  3. කෘත්‍ය තුනක් කෙරෙන සිත් කෙතෙක් ද? කවරහු ද?
  4. කෘත්‍ය සතරක් කෙරෙන සිත් කෙතෙක් ද? කවරහු ද?
  5. කෘත්‍ය පසක් කෙරෙන සිත් කෙතෙක් ද? කවරහු ද?
  1. *පිළිසිඳ ඈ බෙයින් - තුදුස් විදි වේ සිත් කිසි,

    දස විදි බෙයින් එහි - ගණන් පිළිවෙල මෙලෙසේ.

    එක් කිසි අටසැට දෙ කිසි දෙ, තුන් කිසි නව,

    සිව් කිසි අටෙක, පස් කිසි, නවයෙකැ යි මුළු දන්නේ.