5. කෘත්‍ය සංග්‍රහය (දෙවන කොටස)

ප්‍රතිසන්ධ්‍යාදි කෘත්‍යයන් ප්‍රකට වශයෙන් දැනගැන්ම සඳහා ඔවුන් පිළිබඳ ස්ථාන ද මෙවිට ම දක්වනු ලැබේ. දෙපස ඉම් දැක්වීමෙන් මධ්‍යය අවබෝධ කරගැන්ම පහසුය. ස්ථාන වනාහි 1-ප්‍රතිසන්ධි ස්ථානය, 2-භවාඞ්ග ස්ථානය, 3-ආවර්ජන ස්ථානය, 4-පඤ්චවිඤ්ඤාණස්ථානය, 5-සම්පටිච්ඡන ස්ථානය, 6-සන්තීරණ ස්ථානය, 7-වොත්‍ථපන ස්ථානය, 8-ජවන ස්ථානය, 9-තදාරම්මණ ස්ථානය, 10-චුති ස්ථානය යි දශවිධ වේ.

ස්ථාන නම්, ඒ ඒ සිත් පිහිටීමට තැන් ය. ස්ථානය යි කීමෙන් ඒ ඒ කෘත්‍ය කෙරෙන සිත් අනිකෙක, ස්ථාන අනිකෙකැ යි නො සිතිය යුතු ය. පෙතැල්ලේ බෝනික්කාගේ රූපය යි කී කල පෙතැල්ල අනිකෙක, රූපය අනිකෙකැ යි නොගන්නා මෙනි. අවබෝධයෙහි පහසුව සඳහා මෙසේ දක්වනු ලැබේ.

1. ප්‍රතිසන්ධි ස්ථාන නම්, ප්‍රතිසන්ධි වන සිත් පිහිටීමට තැන් ය. ඒ වනාහි චුතියට ද භවාඞ්ගයට ද අතර වේ. ප්‍රතිසන්‍ධියට මුලින් ඇත්තේ චුති ය. ප්‍රතිසන්ධියට අනතුරුව ඇත්තේ භවාඞ්ග ය. එබැවින් චුති භවාඞ්ග දෙකට අතර ප්‍රතිසන්ධි ස්ථාන යි. ප්‍රතිසන්ධියට අනතුරු වැ භවාඞ්ග සිත් කීපයක් ඇතිවීම ස්වභාවයෙකි.

2. භවාඞ්ග ස්ථාන නම්, භවාඞ්ග වන සිත් පිහිටීමට තැන් ය. ඒ වනාහි ප්‍රතිසන්ධි, ආවර්ජන දෙකට අතර ද, ජවන, ආවර්ජන දෙකට අතර ද, තදාරම්මණ, ආවර්ජන දෙකට අතර ද, වොත්‍ථපන, ආවර්ජන දෙකට අතර ද කිසි විටෙක ජවන, චුති දෙකට අතර ද තදාරම්මණ, චුති දෙකට අතර ද වේ. ප්‍රතිසන්ධියට අනතුරුවැ භවාඞ්ගය ද, භවාඞ්ගයට අනතුරු වැ ආවර්ජන දෙකින් එකක් ද වේ. එ බැවින් ප්‍රතිසන්‍ධි, ආවර්ජන දෙකට අතර භවාඞ්ගස්ථාන යි. සෙසු ස්ථාන වනාහි වීථි පාදයෙහි ද පැහැදිලි වන්නේ ය. මෙහි දැක්වුව ද දුර්බොධ යි.

3. ආවර්ජන ස්ථාන නම්, ආවර්ජන සිත් පිහිටීමට තැන් ය. ආවර්ජන සිත් පඤ්චද්වාරාවර්ජනය, මනොද්වාරා වර්ජනයයි විවිධ වේ. භවාඞ්ග පඤ්චවිඤ්ඤාණයන්ට අතර පඤ්ච ද්වාරාවර්ජන ස්ථාන ය. භවාං්ග ජවනයන්ට අතර මනෝද්වාරාවර්ජන ස්ථාන යි.

4. පඤ්ච විඤ්ඤාණ ස්ථාන නම්, චක්ඛුවිඤ්ඤාණ සිත් දෙක ද, සොතවිඤ්ඤාණ සිත් දෙක ද, ඝාණවිඤ්ඤාණ සිත් දෙක ද, ජිව්හාවිඤ්ඤාණ සිත් දෙක ද, කාය විඤ්ඤාණ සිත් දෙක ද පිහිටන තැන් ය. ඒ වනාහි ඒ ඒ චිත්ත වීථින්හි පඤ්චද්වාරාවර්ජන සම්පටිච්ඡන සිත් දෙකට අතර ද වේ.

5. සම්පටිච්ඡන ස්ථාන නම්, සම්පටිච්ඡන සිත් දෙක පිහිටීමට තැන් ය. ඒ වනාහි පඤ්චවිඤ්ඤාණ, සන්තීරණ සිත්වලට අතර වේ. පඤ්ච විඤ්ඤාණයන්ට අනතුරු වැ සම්පටිච්ඡනය ද, සම්පටිච්ඡනයට අනතුරු වැ සන්තීරණය ද උපදී. එබැවින් පඤ්ච විඤ්ඤාණ, සන්තීරණයන්ට අතර සම්පටිච්ඡන යි.

6. සන්තීරණ ස්ථාන නම්, සන්තීරණ සිත් පිහිටීමට තැන් ය. ඒ වනාහි සම්පටිච්ඡන, වොත්‍ථපන සිත්වලට අතර වේ. සම්පටිච්ඡනයට අනතුරු වැ සන්තීරණය ද සන්තීරණයට අනතුරු වැ වොත්‍ථපනය ද පඤ්චද්වාරික වීථින් හි උපදින බැවිනි.

7. වොත්‍ථපන ස්ථාන නම්, වොත්‍ථපන සිත පිහිටීමට තැන් ය (මනොද්වාරාවර්ජනය ම පඤ්චද්වාරයෙහි වොත්‍ථපන කෘත්‍යය සිද්ධ කරන බව දතයුතු.) ඒ වනාහි සන්තීරණ ජවනයන්ට ද, සන්තීරණ භවාඞ්ගයන්ට ද අතර වේ. වීථි පාදයෙහි දී සුබොධ වන්නේය.

8. ජවන ස්ථාන නම්, ජවන කෘත්‍යය කෙරෙන සිත් පස් පණස (55) පිහිටීමට තැන් ය. ඒ වනාහි වොත්‍ථපන තදාරම්මණයන්ට ද, වොත්‍ථපන භවාඞ්ගයන්ට ද, වොත්‍ථපන චුතීන්ට ද, මනොද්වාරාවර්ජන තදාරම්මණයන්ට ද, මනොද්වාරාවර්ජන භවාඞ්ගයන්ට ද, මනොද්වාරාවර්ජන චුතීන්ට ද අතර වේ. විස්තර වීථි පාදයෙහිය.

9. තදාරම්මණ ස්ථාන නම්, තදාරම්මණ කෘත්‍යය කෙරෙන සිත් එකොළොස පිහිටීමට තැන්ය. ඒ වනාහි ජවන භවාඞ්ගයන්ටද, ජවන චුතීන්ට ද අතර වේ. ජවනයන්ට අනතුරු වැ තදාරම්මණ ද, තදාරම්මණයන්ට අනතුරු වැ භවාඞ්ග ද වේ. එබැවින් ජවන භවාඞ්ග අතර තදාරම්මණ යි. එසේ ම ඇතැම් විට ජවනයන්ට අනතුරු වැ තදාරම්මණ ද තදාරම්මණයන්ට අනතුරු වැ චුති ද වේ. එවිට ජවන චුතීන්ට අතර තදාරම්මණ යි.

10. චුති ස්ථාන නම්, ච්‍යුති කෘත්‍යය කෙරෙන සිත් එකුන් විස්ස (19) පිහිටන තැන් ය. ඒ වනාහි ජවන ප්‍රතිසන්ධීන්ට ද, තදාරම්මණ ප්‍රතිසන්ධීන්ට ද, භවාඞ්ග ප්‍රතිසන්‍ධීන්ට ද අතර වේ. ඇතැම්විට ජවනයට අනතුරු වැ චුති වේ. ඇතැම් විට තදාරම්මණයන්ට අනතුරු වැ චුති වේ. ඇතැම් විට භවාඞ්ග ද වී චුති වේ. මේ ක්‍රම වීථි පාදයෙහි පැහැදිලි වන්නේයි.

ප්‍රශ්න.

  1. ස්ථාන කෙතෙක් ද? කවරහු ද?
  2. අසවල් අසවල් සිත් අසවල් අසවල් සිත්වලට අතර ය යි දක්වනු.
  3. ප්‍රතිසන්ධිචිත්තය, ප්‍රතිසන්ධි කෘත්‍යය, ප්‍රතිසන්ධිස්ථානය යන මොවුන්ගේ භේදය හෝ අභේදය දක්වනු.
  4. පඤ්චවිඤ්ඤාණ ස්ථාන නමින් කෙතෙක් ගැනෙත් ද? කවරහු ද?
  5. ස්ථාන පැහැදිලි වශයෙන් දතහැක්කේ කො තැන්හි ද?