6. කෘත්‍ය සංග්‍රහය. (තෙවන කොටස)

ප්‍රතිසන්ධ්‍යාදි කෘත්‍යයන්ගේ ආකාර ද, මෙතෙක් මෙතෙක් සිත් ප්‍රතිසන්ධ්‍යාදි කෘත්‍ය කෙරෙතී ද යට දක්වන ලදී. ඒ ප්‍රතිසන්ධ්‍යාදි කෘත්‍ය කෙරෙන සිත් මේ මේ යයි චිත්තයන්ගේ නම් වශයෙන් ම මෙහි දක්වනු ලැබේ.

1. ප්‍රතිසන්ධි කෘත්‍යය කෙරෙන සිත් එකුන්විස්සෙ (19) කි. එ නම්, උපෙක්ඛා සහගත සන්තීරණ දෙකය, මහා විපාක අටය, රූපාවචර විපාක පසය. අරූපාවචර විපාක සතරය යන මොහු යි.

උපෙක්ඛා සහගත සන්තීරණ දෙක නම්, අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය (චිත්තපාද 8 වන පාඩමේ 7 බලනු.) හා කුසල අහේතුක විපාක උපෙක්ඛා සහගත සන්තීරණ ය යි. (චිත්තපාද 9 වන පාඩමේ 8 බලනු.)

2. දොළොස් අකුසල් සිත් අතුරෙන් උපෙක්ඛා සහගත උද්ධච්ච සිත හැර අවශේෂ අකුසල සිත් එකොළොසට ප්‍රතිසන්ධි විපාක ලැබේ. එසේ ප්‍රතිසන්ධි විපාක වශයෙන් නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපාය අතුරෙන් යම් අපායෙක ඒ භවයෙහි චුතියට අනතුරු වැ ලැබෙන්නේ මේ උපෙක්ඛා සහගත සන්තීරණ සිත යි. එයින් ප්‍රතිසන්ධි කෘත්‍ය කෙරේ යනු දු මේ මැයි. දෙවියෙකුගේ හෝ බ්‍රහ්මයෙකුගේ කිසි මෙහෙයීමක් නැති වැ හුදු අකුශල චිත්තශක්තියෙන් ම ඒ අකුශලය කළ පුද්ගලයා අපායට පැමිණේ යනු මෙහි නිශ්චය යි. සෙසු තන්හි දු මෙසේයි.

3. කාමාවචර කුසල් අට අතුරෙහි ද්විහේතුක ඔමක (=ලාමක) කුසල්වල ප්‍රතිසන්ධි විපාක නම්, කුශල විපාක උපෙක්ඛා සහගත සන්තීරණය යි. එය මනුෂ්‍ය ලෝකයෙහි ජාත්‍යන්ධ ජාතිබධිරාදීන්ගේ වශයෙන් පහළ වේ. ද්විහේතුක ඔමක කුසල් නම්, පූර්ව මුඤ්චන අපර එක සේ නො ලැබෙන සෝමනස්ස සහගත ඥානවිප්පයුත්ත අසංඛාර සසංකාර සිත් දෙක හා උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත අසංඛාර සසංඛාර සිත් දෙක ද යන කුසල සිත් සතර යි.

4. මහාවිපාක අට නම්, (චිත්තපාද 12 වන පාඩමේ දැක්වුණු) කාමාවචර සහේතුක විපාක සිත් අටය. ඔව්හු ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන ක්‍රමය සැකෙවින් මෙසේ දත යුතු ය. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලයන්ට ත්‍රිහේතුක විපාක සිත් සතර ප්‍රතිසන්ධි වශයෙන් දක්නට ලැබේ. ත්‍රිහේතුකවැ උත්කෘෂ්ට වීම නම්, ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල සිත් සතර පූර්ව මුඤ්චන අපර වශයෙන් එක සේ ලැබීම ය. ත්‍රිහේතුක විපාක සිත් සතර නම් යට කී ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර විපාක සතර යි.

5. ත්‍රිහේතුක ඔමක කුශලයන්ට හා ද්වි හේතුක උත්කෘෂ්ට කුශලයන්ට ද්වීහේතුක විපාක සිත් සතර ප්‍රතිසන්ධි වශයෙන් ලැබේ. ත්‍රිහේතුක වැ ඔමක වීම නම්, යට දැක්වුණු ඤාණ සම්ප්‍රයුක්ත කුසල සිත් සතර මුඤ්චන වශයෙන් පැවැත පූර්ව අපර වශයෙන් නො පැවැතීමයි. හෙවත් කුශලය කරන මොහෙතෙහි ඥාන සම්ප්‍රයුක්ත වැ පූර්ව අපරයෙහි ඥාන විප්‍රයුක්ත වීමයි. ද්විහේතුක විපාක නම්, යට දැක්වුණු විපාක අට අතුරෙන් ඤාණ විප්පයුත් විපාක සිත් සතර යි.

6. ද්විහේතුක ඔමක කුශලයන්ට අහේතුක විපාකය ලැබෙන සැටි යට දක්වන ලද්දේ යි.

7. රූපාවචර කුසල සිත් පසට රූපාවචර විපාක පස යථා ක්‍රමයෙන් විපාක වශයෙන් ලැබේ.

8. රූපාවචර කුසල සිත් සතරට අරූපාවචර විපාක සිත් සතර යථාක්‍රමයෙන් ලැබේ. මේ පිළිබඳ විශේෂ විස්තර මතු ප්‍රකාශ වන බැව් දත යුතු යි.

9. භවාඞ්ග කෘත්‍යය කෙරෙන සිත් ද එකුන් විස්සෙකි. යම් සිතකින් ප්‍රතිසන්ධි විණි නම් ඒ සිත ම සදොරින් අරමුණු නො ගන්නා ලද භවාඞ්ග වේ. එබැවින් ප්‍රතිසන්ධි කෘත්‍යය කෙරෙන සිත් එකුන් විස්සෙන් (19) ම භවාඞ්ග කෘත්‍යය ද කෙරෙන බැව් දත යුතු යි.

ප්‍රශ්න.

  1. ප්‍රතිසන්ධි කෘත්‍යය කෙරෙන සිත් 19 දක්වනු.
  2. භවාඞ්ග කෘත්‍යය කෙරෙන සිත් 19 දක්වනු.
  3. අසවල් අසවල් සිත්වලට අසවල් අසවල් සිත් ප්‍රතිසන්ධි වශයෙන් ලැබේ යයි පැහැදිලි කරනු.
  4. කුශල-ත්‍රිහේතුක උත්කෘෂ්ට හා ත්‍රිහේතුක ඔමක වන සැටි කෙසේ ද?
  5. ප්‍රතිසන්ධි, භවාඞ්ග කර්ම ද? විපාක ද? උත්තරයට හේතු දක්වා පැහැදිලි කරනු.