4. කෘත්‍ය සංග්‍රහය (පළමුවන කොටස)

star_outline

චිත්ත පාදයෙහි දැක්වුණු සිත් එකුන් අනූ (89) වෙන් කෙරෙන කෘත්‍ය (වැඩ) තුදුසෙ (14) කි. එනම්, 1-ප්‍රතිසන්‍ධි කෘත්‍යය, 2-භවාඞ්ග කෘත්‍යය, 3-ආවර්ජන කෘත්‍යය, 4-දර්ශන කෘත්‍යය, 5-ශ්‍රවණ කෘත්‍යය, 6-ආඝ්‍රායණ කෘත්‍යය, 7-සායන කෘත්‍යය, 8-ඵුසන කෘත්‍යය, 9-සම්පටිච්ඡන කෘත්‍යය, 10-සන්තීරණ කෘත්‍යය, 11-වොත්‍ථපන කෘත්‍යය, 12-ජවන කෘත්‍යය, 13-තදාරම්මණ කෘත්‍යය, 14-වුති කෘත්‍යය යන මොහු යි.

කර්මාන්ත ශාලායෙක කම්කරුවන් 89 දෙනෙකුගෙන් කෙරෙන කර්මාන්ත 14 වන්නාක් මෙනි. කම්කරුවන් කීප දෙනෙකුගෙන් එක කර්මාන්තය කෙරෙත හැකි සේම සිත් කීපයකින් එක කෘත්‍යය ද කෙරෙත හැකිය. කරන කර්මාන්තයේ නම කම්කරුවාට ව්‍යවහාර කරන සේම කෙරෙන කෘත්‍යයේ නම ම ඇතැම් විට සිතට ද ව්‍යවහාර කරන්නේය. ප්‍රතිසන්‍ධිය කෙරෙන සිත්වලට ප්‍රතිසන්‍ධි සිත් යයි කියති. ප්‍රතිසන්‍ධි සිත් යයි සිත් කොටසෙක් චිත්ත පාදයෙහි නොදක්වන ලදී. එහි දැක්වුණු ඇතැම් සිත්වලින් ප්‍රතිසන්‍ධි කෘත්‍යය කෙරෙයි. ඔවුනට එබැවින් ප්‍රතිසන්‍ධි සිත් යයි කියත්. සෙස්ස ද මෙසේ යි.

1. භවයෙන් භවය ගැළපීම ප්‍රතිසන්‍ධි කෘත්‍යය. “භවතො භවස්ස පටිසන්‍ධානං පටිසන්‍ධි කිච්චං” යනු එහෙයින් කියන ලදි. එක් එක් සත්ත්‍වයකු පිළිබඳ වූ ම චිත්තසන්තතිය අනාදිමත් ය. එක් සිතක් ඉපිද-තිබී-නැති වීම සමග ම තවත් සිතක් ඉපිද-තිබී-නැතිවීම චිත්තසන්තතියේ ස්වභාව යි. සිත නැතිවීමේ හා ඉපදීමේ ක්‍රමය ඉතා සූක්‍ෂම බැවින් එහි වෙනස දත නොහැකි වේ. ගිණි පෙණෙල්ල වේගයෙන් භ්‍රමණය කරන විට අතර නො දත හැකි මෙනි. මෙසේ ක්‍ෂණ ක්‍ෂණයෙහි ඇති වැ නැති වැ යන චිත්තසන්තතිය එක් භවයෙක සම්බන්‍ධය සිඳී දෙවන භවයෙක සම්බන්‍ධය ගැන්ම විශේෂ වෙනසෙකි. එහි ලා දෙවන භවය පිළිබඳ වැ පළමුව ඇතිවන සිත ප්‍රතිසන්‍ධි සිත යි. එය ප්‍රථම භවය හා දෙවන භවය ගළපන හෙයින් එ නමින් ව්‍යවහාර කරනු ලැබේ. ඒ සිතෙන් කෙරෙන කෘත්‍යය ප්‍රතිසන්ධි කෘත්‍යය යි. ප්‍රතිසන්ධි කෘත්‍යය කෙරෙන සිත් එකුන් විස්සෙ (19) ක් ය. (ඒ හා අවශේෂ කෘත්‍ය කෙරෙන සිත් ද සවන පාඩමේ දක්වනු ලැබේ.)

2. චිත්තසන්තතිය නො සිඳී පැවැත්මට හේතු වශයෙන් භවයට අඞ්ග වීම භවාඞ්ග කෘත්‍යය. “අවිච්ඡේදප්ප වත්තිහෙතු භාවෙන භවස්ස අඞ්ගභාවො භවඞ්ගකිච්චං” යනු එහයෙින් කියන ලදි. සිතට අරමුණු නගන ද්වාර සයෙකි. චක්‍ෂුරාදි ඒ ද්වාර සයෙන් සිත යම් විටෙක අරමුණු නොගෙන පවත්නේ ද එවිට සිත භවාඞ්ග කෘත්‍ය කෙරේ යයි කියනු ලැබේ. නොයකේ දිගට නූල් ඇදගෙන මකුළුවා මැදට වී නිසල වැ සිටින්නේ ය. නූලක සතකු රැඳුණු කල ඌ වහා ඒ කරා දුවයි. නූලක සතකු නො රැඳුන හොත් ඌ එහි මැ නිසල වැ සිටින්නේ ය. මෙ ද එබඳු යයි සැලකිය යුතු. භවාඞ්ග සිතට ද අරමුණු ඇත්තේ ය. එහෙත් ඒ ද්වාර විමුක්ත යි. භවාඞ්ග කෘත්‍යය කෙරෙන සිත් ද එකුන් විස්සෙ (19) කි.

3. ආවර්ජන කෘත්‍යය නම්, ආභොග කිරීම ය හෙවත් පරීක්‍ෂා කොට බැල්ම ය. නූලක සතකු රැඳුනු කල මකුළුවා සෙලවුම් කයි. එවිට ඌ මේ කවර දිගකින් වී දැයි පරීක්‍ෂා කොට බලයි. මේ එබඳු ය යි දතයුතු. ආවර්ජන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි.

4. දර්ශන කෘත්‍යය නම්, රූපාරම්මණය දැකීම ය. දර්ශන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි.

5. ශ්‍රවණ කෘත්‍යය නම්, ශබ්දාරම්මණය ඇසීම ය. ශ්‍රවණ කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි.

6. ඝායන කෘත්‍යය නම්, ගන්‍ධාරම්මණ ආඝ්‍රාණය කිරීම ය. ඝායන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි.

7. සායන කෘත්‍යය නම්, රසාරම්මණ ආස්වාදන කිරීම ය. සායන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි.

8. ඵුසන කෘත්‍යය නම්, ඵොට්ඨාරම්මණ ස්පර්ශ කිරීම ය. ඵුසන කෘත්‍යය කෙරෙන සිත් දෙකෙකි.

9. සම්පටිච්ඡන කෘත්‍යය නම්, රූපාරම්මණාදීන් පිළිගැන්ම ය. සම්පටිච්ඡන කෘත්‍යය කෙරෙන සිත් ද දෙකෙකි.

10. සන්තීරණ කෘත්‍යය නම්, රූපාරම්මණාදීන් තීරණය කිරීම ය. සන්තීරණ කෘත්‍යය කෙරෙන සිත් තුනෙකි.

11. වොත්‍ථපන කෘත්‍යය නම්, රූපාරම්මණාදීන් ව්‍යවස්ථා කිරීම ය. (මෙය ආවර්ජන විශේෂයකි.) වොත්‍ථපන කෘත්‍යය කෙරෙන සිත් එකෙකි.

12. ජවන කෘත්‍යය නම්, කුශලාකුශලාදී වූ ඒ ඒ කෘත්‍ය සිද්ධ කිරීම් වශයෙන් සිත ආරම්මණයෙහි නොයෙක් වර දිවැ දිවැ මෙන් පැවැත්ම ය. ජවන කෘත්‍යය කෙරෙන සිත් පස් පණසෙ (55) කි.

13. තදාරම්මණ කෘත්‍යය නම්, ජවන විසින් ගත් අරමුණ ම ගෙන සිටීමය. තදාරම්මණ කෘත්‍යය කෙරෙන සිත් එකොළොස (11) කි.

14. චුති කෘත්‍යය නම් එක් භවයක් සම්බන්‍ධ චිත්ත සන්තතිය ගිලිහී යාමය. චුති කෘත්‍යය කෙරෙන සිත් ද එකුන් විස්සෙ (19) කි.

ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, ච්‍යුති කෘත්‍ය කෙරෙන්නේ එක ම සිත් වලිනි. යම් සිතකින් ප්‍රතිසන්‍ධි විණි නම් එය ම සදොරින් අරමුණු නො ගන්නා කල භවාඞ්ග වශයෙන් පැවැත අවසන්හි ච්‍යුති වේ.

ප්‍රශ්න.

  1. සිත්වලින් කෙරෙන කෘත්‍ය කෙතෙක් ද? කවරහු ද?
  2. ප්‍රතිසන්‍ධි, භවාඞ්ග, ච්‍යුති පැහැදිලි කරනු. ඒ කෘත්‍ය කෙරෙන සිත් කෙතෙක් ද?
  3. ආවර්ජන, වොත්‍ථපන කෘත්‍ය ලක්‍ෂණ දක්වනු.
  4. දස්සන, සවණ, ඝායන, සායන, ඵුසන කෘත්‍ය පැහැදිලි කරනු.
  5. ජවන, තදාරම්මණ යනු කිම? ඒ කෘත්‍ය කෙරෙන සිත් කෙතෙක් ද?