සිත වනාහි දුර්බල පුරුෂයකු වැනිය. දුර්බල පුරුෂයකුට යම් කිසිවක එල්බ මිස නො එල්බ සිටිය නො හැකි. සිතට ද යමක එල්බ මිස නො එල්බ සිටිය නො හැකි. සිත් විසින් එල්බ ගනු ලබන්නට ආලම්බනය යි කියනු ලැබේ. ඒ ආලම්බන ම චක්ඛුරාදියෙහි පවත්නා චිත්තයෝ මෙහි රමණය කරත්ය යන අර්ථයෙන් ආරම්මණය යි ද කියනු ලැබේ. ආලම්බන වනාහි රූපාලම්බනය, ශබ්දාලම්බනය, ගන්‍ධාලම්බනය, රසාලම්බනය, ඵොට්ඨබ්බාලම්බනය, ධර්මාලම්බනය යි සවැදෑරුමි.
1. මෙහි රූප නම්, අටවිසි රූප අතුරෙන් විෂය රූපයන්ට අයත් වර්ණායතනය හෙවත් පැහැය. රූපය ම ආලම්බන වූයේ රූපාලම්බන යි. රූපාලම්බනය හෙවත් වර්ණායතනය චක්ඛුද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේත් වර්තමාන රූපාලම්බන ම ය. අතීත හෝ අනාගත රූපාලම්බන චක්‍ෂුර්ද්වාරික සිත්වලට ගෝචර නොවේ. චක්‍ෂුර්ද්වාරික සිත් සසාළිස (46) යට දක්වන ලද්දේය. ඇසට පෙනෙන්නේ කොයි දෙයක වුවත් පැහැය පමණකි. එහි ආකාර සලකා ගැන්ම මනොද්වාරයෙන් කෙරෙන බව දත යුතු යි.
2. ශබ්ද නම්, අටවිසි රූප අතුරෙන් විෂය රූපයන්ට අයත් කනට ගෝචර වන දෙය ය. ශබ්ද ම ආලම්බන වූයේ ශබ්දාලම්බන යි. ශබ්දාලම්බන වනාහි සොතද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේත් වර්තමාන ශබ්දාලම්බනය යි. අතීත හෝ අනාගත ශබ්දාලම්බන සොත ද්වාරිකයන්ට ගෝචර නොවේ. සොතද්වාරික සිත් සසාළිස (46) යට දක්වන ලද්දේ ය.
3. ගන්‍ධ නම්, අටවිසි රූප අතුරෙන් විෂය රූපයන්ට අයත් නැහැයට ගෝචර වන ගඳ සුවඳ ය. ගන්‍ධ ම ආලම්බන වූයේ ගන්‍ධාලම්බනය යි. ගන්‍ධාලම්බන වනාහි ඝාණද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේත් වර්තමාන ගන්‍ධාලම්බනය යි. අතීත හෝ අනාගත ගන්‍ධාලම්බන ඝාණද්වාරික සිත්වලට ගෝචර නොවේ. ඝාණද්වාරික සිත් 46 යට දක්වන ලද්දේය.
4. රස නම්, අටවිසි රූප අතුරෙන් විෂය රූපයන්ට අයත් දිවට ගෝචර වන රස ය. රස ම ආලම්බන වූයේ රසාලම්බන යි. රසාලම්බන වනාහි ජිව්හාද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේත් වර්තමාන රසාලම්බනය යි. අතීත හෝ අනාගත රසාලම්බන ජිව්හාද්වාරික සිත්වලට ගෝචර නො වේ. ජිව්හාද්වාරික සිත් 46 යට දක්වන ලද්දේ ය.
5. ඵොට්ඨබ්බ නම්, අටවිසි රූප අතුරෙන් විෂයරූපයන්ට අයත් කයට ගෝචර වන ස්ප්‍රෂ්ටව්‍ය ය. හේ වනාහි පඨවි, තෙජ, වායු යනු භූත රූප තුන මැ යි. ආපොධාතුව ස්පර්ශය කළ හැකි නො වේ. ඵොට්ඨබ්බය ම ආලම්බන වූයේ ඵොට්ඨබ්බාලම්බන යි. ඵොට්ඨබ්බාලම්බන වනාහි කායද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේත් වර්තමාන ස්ප්‍රෂ්ටව්‍යාරම්මණය යි. අතීත හෝ අනාගත ස්ප්‍රෂ්ටව්‍ය කායද්වාරික සිත්වලට ගෝචර නොවේ. කායද්වාරික සිත් 46 ද යට දක්වන ලද්දේ ය.
6. ධර්ම වනාහි ප්‍රසාද රූප ය, සූක්‍ෂම රූප ය, චිත්තය, චෛතසික ය, නිර්වාණ ය, ප්‍රඥප්ති යයි ෂඩ්විධ වේ. ධර්ම ම ආලම්බන වූයේ ධර්මාලම්බන යි.
ප්‍රසාද රූප නම්, චක්ඛු සොත ඝාණ ජිව්හා කාය යන පඤ්ච ප්‍රසාදයෝ ය. සූක්‍ෂම රූප නම් ආපො ධාතු ය. ස්ත්‍රීභාව-පුරුෂ භාව යන භාව රූප දෙක ය, හෘදය වස්තු ය, ජීවිතෙන්‍ද්‍රිය, ආහාර හෙවත් ඔජා රූප ය, ආකාශ හෙවත් පරිච්ඡෙද රූප ය, කාය විඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති යන විඤ්ඤත්ති රූප දෙක ය, ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන විකාර රූප තුන ය, උපචය සන්තති අනිච්චතා ජරතා යන ලක්‍ෂණ රූප සතර ය යන මොහු යි. මොවුන්ගේ ආකාර රූපපාදයෙහි දැක්වේ. චිත්ත නම්, චිත්ත පාදයෙහි දැක්වුණු 89 ක් හෝ 121 ක් සිත් ය. චෛතසික නම්, චෛතසිකපාදයෙහි දැක්වුණු ඵස්සාදි දෙපණස් චෛතසිකයෝය. නිර්වාණ නම්, මාර්ග ඵලයන්ට අරමුණු වන අසංඛත ධාතු ය. පඤ්ඤත්ති නම්, ලොක ව්‍යවහාර වශයෙන් සම්මත වූ භූමි, පර්වත, රථ සකට කසිණාදිහු යි.
7. මොවුන් අතුරෙන් නිර්වාණ හා ප්‍රඥප්ති කාල විමුක්ත ය. විනාශ නොවන බැවින් හා කාලභෙද නැති බැවිනි. සෙසු රූපාදිය ත්‍රෛකාලික යි. තුන් කාලයෙහි පවත්නා බැවිනි.
8. මනොද්වාරික චිත්තයන්ට වනාහි අතීත වූ හෝ වර්තමාන වූ හෝ අනාගත වූ හෝ රූපාදි පඤ්චාලම්බන ද, එසේ ම ප්‍රසාද රූප ද, සූක්‍ෂම රූප ද, චිත්ත චෛතසික ද, කාලවිමුක්ත වූ නිර්වාණය හා ප්‍රඥප්ති ද, සුදුසු පරිදි අරමුණු වේ. මනොද්වාරික සිත් සත්සැට (67) යට දක්වන ලදි. සුදුසු පරිදි නම්, කාමාවචර ජවන, අභිඥා ජවන, සෙසු මහග්ගතාදි ජවනයන්ට සුදුසු පරිදි යි. ඒ එසේ මැ යි. හසිතුප්පාදය හැරැ සෙසු කාමාවචර ජවනයන්ට ත්‍රෛකාලික වූ රූපාදි අරමුණු සය ද, කාලවිමුක්ත වූ නිර්වාණ හා ප්‍රඥප්ති ද අරමුණු වේ. හසිතුප්පාදයට වනාහි ත්‍රෛකාලික වූ රූපාදිය අරමුණු වේ. එය කාමාවචරාලම්බනික ම බැවිනි. දිව්‍ය චක්‍ෂුරාදි වශයෙන් පැවැති අභිඥා ජවනයන්ට ත්‍රෛකාලික වූ රූපාදිය ද, කාලවිමුක්ත වූ නිර්වාණ ප්‍රඥප්තිය ද සුදුසු පරිදි අරමුණු වේ. මෙහි සුදුසු පරිදි මෙසේ ය. දිව්‍ය චක්‍ෂුවට වර්තමාන රූපය ම අරමුණු ය. දිව්‍යශ්‍රෝතයට වර්තමාන ශබ්දය ම අරමුණු ය. සෘද්ධිවිධ ඥානයට ත්‍රෛකාලික රූපාදි ෂඩාලම්බන අරමුණු ය. චෙතොපරිය ඤාණයට අතීත හා අනාගත වූ ධර්මාරම්මණ අරමුණු ය. පූර්වෙනිවාසානුස්මෘති ඥානයට අතීත වූ ම රූපාදි ෂඩාලම්බන ද කාලවිමුක්ත ද අරමුණු යි.
9. ප්‍රතිසන්‍ධි භවාඞ්ග ච්‍යුති සංඛ්‍යාත ද්වාරවිමුක්ත සිත්වලට වනාහි රූපාදි සවැදෑරුම් වූ-ඒ ඒ භූමි ආදි වශයෙන් ලැබෙන ලැබෙන පරිදි බොහෝ සෙයින් ඉකුත් වූ භවයෙහි මරණාසන්න කාලයෙහි පැවැති ෂඩ්ද්වාරික ජවනයන් විසින් ගන්නා ලද වර්තමාන වූ හෝ අතීත වූ හෝ කසිණාදි ප්‍රඥප්ති වූ හෝ කර්ම කර්ම නිමිති ගති නිමිති යි සම්මත වූ එක්තරා එකක් අරමුණු වන්නේ ය.
මෙහි කර්ම නම්, ප්‍රතිසන්ධි උපදවන කුසලාකුසල චේතනා ය. කර්මනිමිත්ත නම්, කුශල පක්‍ෂයෙහි දානාදීන්ට උපකරණ වූ මල් වස්ත්‍රාදිය හා අකුශල පක්‍ෂයෙහි වධ ආදීන්ට උපකරණ වූ කඩු තුවක්කු ආදිය යි. ගතිනිමිත්ත නම්, උපදින භවය සුගතියක් නම් එහි පැනෙන කප්රුක් මල්මාලාදිය හා උපදින භවය දුර්ගතියක් නම් එහි පැනෙන යමපලු ගිනි ආදිය යි.
මේ ස්ථානය ද ගම්භීරය. මතු වීථිපාදයෙහි විස්තර කරනු ලැබේ.
ප්‍රශ්න.
- ආලම්බන කෙතෙක් ද? කවරහු ද? කුමක් හෙයින් ආලම්බන ය යි කියනු ලැබේ ද?
- රූපාදි පඤ්චාලම්බන හා විශේෂයෙන් ධර්මාලම්බනය පැහැදිලි කරනු.
- පඤ්චද්වාරික සිත්වලට ලැබෙන අරමුණු වෙන වෙන ම දක්වනු.
- මනොද්වාරික සිත්වලට අරමුණු දක්වනු.
- ද්වාරවිමුක්ත සිත්වලට කුමක් අරමුණු වේ ද?