9. ලොකොත්තර සිත්හි යෙදෙන චෛතසික.

සංක්‍ෂේප වශයෙන් ලෝකෝත්තර සිත් අටක් ද විස්තර වශයෙන් 40 ක් ද ලැබෙන ක්‍රමය චිත්ත පාදයෙහි 20 වන 21 වන, 28 වන පාඩම්වලින් දක්වන ලද්දේය. එහි සංක්‍ෂිප්ත ක්‍රමය ශුෂ්ක විදර්ශකයාගේ ද විස්තර ක්‍රමය සමථයානිකයාගේ ද වශයෙන් ය. ශුෂ්ක විදර්ශකයාගේ වුවත් ලෝකෝත්තර සිත් ප්‍රථමධ්‍යානික ලෝකෝත්තර සිත් හා සමාන වැ මැ උපදනේ ය.

එබැවින් විස්තර ක්‍රමයේ සිත්වල චෛතසික දැක්වූ කල්හි සංක්‍ෂිප්ත ක්‍රමයේ සිත්වල ද චෛතසික දැක්වුණා නම් වේ. එබැවින් මෙහි විස්තර ක්‍රමයේ ම දක්වමු.

1. ප්‍රථමධ්‍යාන ලෝකෝත්තර සිත් අටෙකි. (චිත්ත පාද 23 වන පාඩම බලනු.) එහි අන්‍යසමාන චෛතසික 13 ද අප්පමඤ්ඤා දෙක හැරැ සෝභන 23 ද යන සතිස් (36) චෛතසික යෙදේ. මාර්ග සිතට අරමුණ නිර්වාණය. අප්පමඤ්ඤාවන්ට අරමුණ දුඃඛිත සුඛිත සත්ත්‍වයෝ ය. එබැවින් සත්ත්‍වාරම්මණික අප්පමඤ්ඤා දෙක නිර්වාණාරම්මණික මාර්ග සිත්හි නොයෙදෙන බව දත යුතු.

2. දුතියජ්ඣාන ලෝකෝත්තර සිත් අටෙකි. එහි විතර්කය හැරැ සෙසු අඤ්ඤසමාන 12 ද ප්‍රථමධ්‍යානයට කී සෝභන 23 ද වන පන්තිස් (35) චෛතසික යෙදේ. දුතියජ්ඣානයෙහි විතර්කය නො ලැබෙන පරිදි (චිත්තපාද 14 වන පාඩමේ) විස්තර කරන ලද්දේ ය.

3. තතියජ්ඣාන ලෝකෝත්තර සිත් අටෙකි. එහි විතර්ක විචාර හැරැ සෙසු අඤ්ඤසමාන 11 ද ප්‍රථම ධ්‍යානයට කී සෝභන 23 ද යන සතිස් (34) චෛතසික යෙදේ. තතියජ්ඣානයෙහි විතර්ක, විචාර නො යෙදෙන පරිදි ද යට දක්වන ලදි.

4. චතුත්‍ථජ්ඣාන ලෝකෝත්තර සිත් අටෙකි. එහි විතර්ක, විචාර, ප්‍රීති යන චෛතසික තුන හැරැ සෙසු අඤ්ඤසමාන 10 ද ප්‍රථමධ්‍යානයට කී සෝභන 23 ද යන තෙතිස් (33) චෛතසික යෙදේ. චතුත්‍ථජ්ඣානයෙහි විතර්ක, විචාර, ප්‍රීති නො යෙදෙන සැටි ද යට දක්වන ලදී.

පඤ්චමජ්ඣාන ලෝකෝත්තර සිත් ද අටෙකි. එය විතර්ක, විචාර, ප්‍රීති චෛතසික තුන හැරැ සුඛ වෙනුවට උපෙක්‍ෂාව ගෙනැ සෙසු අඤ්ඤසමාන 10 ද ප්‍රථමධ්‍යානයට කී සෝභන 23 දැයි චෛතසික තෙතිසක් (33) යෙදේ. සුඛ වෙනුවට උපෙක්‍ෂා ගැනුමේ හේතු ද යට දැක්විණි.

පඤ්චකනය, චතුෂ්කනය යයි ධ්‍යාන ක්‍රම දෙකෙකි. එයින් පඤ්චකනය මන්‍දප්‍රාඥයාගේ වශයෙන් ද චතුෂ්කනය තීක්‍ෂණ ප්‍රාඥයාගේ වශයෙන් ද වදාළේ ය. චිත්තපාදයේ හා මෙහි හා පඤ්චකනය දැක්විණි. විතර්ක, විචාර දෙකම එක විට දුරු කරන්නේ චතුෂ්කනයෙන් ධ්‍යානලාභී වේ. එවිට “විතක්ක විචාර පීති සුඛෙකග්ගතා සහිතං පඨමජ්ඣානං, පීති සුඛෙකග්ගතා සහිතං දුතියජ්ඣානං, සුඛෙකග්ගතා සහිතං තතියජ්ඣංනා උපෙක්ඛකග්ගතා සහිතං චතුත්‍ථජ්ඣානං”යි ගත යුතු යි. සූත්‍ර පිටකයෙහි මේ චතුෂ්කනය ආයේ යැ.

ඡත්තීංස පඤ්චතිංසා ච චතුත්තිංස යථාක්කමං

තෙත්තිංසද්වයමිච්චෙවං පඤ්චධානුත්තරෙඨිතා.

ප්‍රශ්න.

  1. ප්‍රථමධ්‍යාන ලෝකෝත්තර සිත් අටෙහි චෛතසික කෙතෙක් යෙදෙද් ද? ඔහු කවරහු ද?
  2. දුතියජ්ඣාන ලෝකෝත්තර සිත් අටෙහි කෙතෙක් යෙදෙද් ද? ඔහු කවරහු ද?
  3. තතියජ්ඣාන ලෝකෝත්තර සිත් අටෙහි කොතෙක් ද? කවරහු ද?
  4. චතුත්‍ථජ්ඣාන ලෝකෝත්තර සිත් අටෙහි කොතෙක් ද? කවරහු ද?
  5. පඤ්චමජ්ඣාන ලෝකෝත්තර සිත් අටෙහි කෙතෙක් ද? කවරහු ද?
  6. ධ්‍යාන සම්බන්ධ නව ලෝකෝත්තර සිත් අටෙහි චෛතසික කෙතෙක් යෙදෙද් ද? කවරහු ද?
  7. ධ්‍යාන චතුෂ්ක නය, පංචක නය විස්තර කරනු.